පිරිසුදු ජලය අපවිත්‍ර කරන අපිරිසුදු අත්
කැලණි ගංගාව ඉතා පිරිසුදුව ජල උල්පත්වලින් ඇරැඹුණද කොළඹින් මුහුදට එක්වන්නේ දිවයිනේ අතිශය අපිරිසුදුම ජල ප්‍රවාහයක් ලෙසිනි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යා අංශය මෑතකදී කළ සමීක්‍ෂණයකදී ඒ බව යළිත් තහවුරු කර ඇත. කැලණි ගඟේ ජලය පමණක් නොව ගඟ ආශි්‍රත භූගත ජලයද අපවිත්‍ර වී ඇතැයි එම සමීක්‍ෂණයෙන් අනාවරණය වී තිබේ. මේ භූගත ජලයේ රෝගකාරක විසබීජ අඩංගු බවද අදාළ පර්යේෂණයෙන් අනාවරණය කරගෙන ඇත.
කැලණි ගංගාව ඉතා පිරිසුදුව ජල උල්පත්වලින් ඇරැඹුණද කොළඹින් මුහුදට එක්වන්නේ දිවයිනේ අතිශය අපිරිසුදුම ජල ප්‍රවාහයක් ලෙසිනි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යා අංශය මෑතකදී කළ සමීක්‍ෂණයකදී ඒ බව යළිත් තහවුරු කර ඇත. කැලණි ගඟේ ජලය පමණක් නොව ගඟ ආශි්‍රත භූගත ජලයද අපවිත්‍ර වී ඇතැයි එම සමීක්‍ෂණයෙන් අනාවරණය වී තිබේ. මේ භූගත ජලයේ රෝගකාරක විසබීජ අඩංගු බවද අදාළ පර්යේෂණයෙන් අනාවරණය කරගෙන ඇත.
දිවයිනේ තිබෙන ගංගා 103ක් අතරින් විශාලත්වයෙන් දෙවැනිතැන ගන්නා ගංගාව වන කැලණි ගඟ දිවයිනේ අපිරිසුදුම ගංගාව වී ඇත්තේ මූලාශ්‍ර කිහිපයකින් එහි ජලය අපවිත්‍ර කරනු ලැබීම නිසාය. "සප්ත කන්‍යා" කඳුවැටියේ සිට ගලා එන මස්කෙළිය ඔය හා කෙහෙල්ගමු ඔය අතරමඟදී කැලණි ගඟට එක්වන්නේ කඳුකරයේ පාවිච්චි කරන කෘෂි රසායනද මුසු කරගෙනය. මේ අපවිත්‍ර ජලය ගඟ දෙපස භූගත ජලයටද එකතු වීම වැළැක්විය නොහැකිය. කැලණි ගඟේ ඉහළ කොටසේ කුඩා විදුලි බලාගාර 16ක් පමණ පිහිටුවා ඇති අතර මේ බලාගාරවල විදුලිජනක යන්ත්‍රවලට යොදන "තෙල්" කැලණි ගංගාවට එකතුවේ. ඉන් අනතුරුව ගඟේ ජලය අපිරිසුදු කරන්නේ හෝටල්, කර්මාන්තශාලා ඇතුළු විවිධ ආයතනවලිනි. ප්‍රධාන පෙළේ දේශීය හා විදේශීය සමාගම් කිහිපයක කර්මාන්තශාලා ගඟ දෙපස පිහිටුවා ඇති අතර මෑතකදී බියගම පිහිටි "සිසිල් බීම" සමාගමක තෙල් නළයක් කැඩී කැලණි ගංගාවට එම තෙල් මුසුවීම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. අදාළ සමාගමේ පරිසර ආරක්‍ෂක බලපත්‍රය තාවකාලිකව තහනම් කළ අතර සිදුවූ හානියට වන්දි ලබාදීමේ පොරොන්දුව මත බලපත්‍රය යළි ලබාදීමට බලධාරීන් කටයුතු කෙළේය.
කෙසේ වුවද කැලණි ගඟේ ජලය අපිරිසුදු වන්නේ මේ සමාගම නිසාම බව කීම දෝෂසහගතය. අපද්‍රව්‍ය බැහැර කරන කානු හා නළ සිය ගණනක් කැලණි ගඟට විවෘත වී ඇත. මෙහි ඇති භයානකකම වන්නේ කැලණි ගඟේ ජලය කොළඹ ජීවත් වන මිලියන 4ක පමණ පිරිසක් "පානය" කරන නිසාය. පරිසර සංවිධාන වරින්වර කර ඇති සමීක්‍ෂණවලදී කැලණි ගඟේ ජලයේ බැරලෝහ ඉතා සැලකිය යුතු මාත්‍රාවලින් ඇති බවත්, මල ද්‍රව්‍ය නිසා පැතිරෙන කෝලිෆෝම් බැක්ටීරියාවද අධික ලෙස අන්තර්ගත ව බවතින බවත් සනාථ වී ඇත. ඉන් කියැවෙන්නේ "සිසිල් බීම" සමාගමේ නළය කැඩුණද, නොකැඩුණද මේ ජලය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක පවතින බවය. පාරිසරිකව ගත් කලද කැලණි ගඟේ ජෛව විවිධත්වය ශීඝ්‍රයෙන් විනාශ මුඛයට යමින් පවතී.
විපතක් වනතුරු විපතකට ඇති ඉඩකඩ වැළැක්වීමට පියවර නොගැනීම මෙරට ජාතික සිරිතකි. සිසිල් බීම සමාගමේ නළය කැඩී විශාල හානියක් සිදුවූ පසු පරිසර බලධාරීන් නින්දෙන් අවදි වූවන් සේ කැලණි ගඟේ ජලය අපිරිසුදු කරන්නන් සොයා මෙහෙයුමක් අරඹා ඇත. කැලණි ගඟට විස අපද්‍රව්‍ය මුදාහරින්නන් ගැන සොයා බැලීම සඳහා ගඟ දෙපස ඇති සියලු කර්මාන්තශාලා පරීක්‍ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.
පළමු අදියරේදී අඹතලේ ජල පවිත්‍රාගාරය ඉහළින් අවිස්සාවේල්ල දක්වා පිහිටි කර්මාන්තශාලා 76ක් පරීක්‍ෂාවට ලක්කෙරේ. "වැරැදිකරුවන්" අසු වුවහොත් නීතිමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර ඇත.
මිල මුදලට, බල පුළුවන්කාරකමට යටනොවී කැලණි ගඟේ ජලය අපිරිසුදු කරන්නන්ට දඬුවම් කළ යුතුය. කැලණි ගඟේ පමණක් නොව දිවයිනේ සියලුම ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් මේ අවධානය යොමු කළ යුතුය. රට තුළ පවතින තත්ත්වය අතිශයින් භයානකය. තවදුරටත් ජල මූලාශ්‍ර අවදානමේ හෙළන්නේ නම් "පානීය ජල" ප්‍රශ්නයට පමණක් නොව ජෛව විවිධත්වය විනාශ වී යෑමටද නුදුරේම මුහුණදීමට සිදුවනු නියතය.
පරිසරය වෙනුවෙන් ඇමැතිවරු රැසක් සිටිති. තිරසාර සංවර්ධනය හා වනජීවී ඇමැතිවරයා ගාමිණී ජයවික්‍රම පෙරේරාය. අනුරාධ ජයරත්න පරිසර නියෝජ්‍ය ඇමැතිවරයාය. පළාත් පරිසර ඇමැතිවරුන් 9 දෙනෙකි. මධ්‍යම ආණ්ඩුවේ පරිසර ඇමැති අන් කවුරුවත් නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. යහපාලනයකට ප්‍රතිඥා දුන් විධායක ජනාධිපතිවරයකු පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී පරිසර බලධාරීන් යකෙකුටවත් බිය විය යුතු නැත. බියවිය යුත්තේ ජනාධිපතිවරයාට පමණි.
කිසිදු ජගතකුට හිස නොනමා, කොන්ද නොනමා, පරිසරයේ ආරක්‍ෂාව වෙනුවෙන් ඍජු තීරණ ගැනීමට මින් මතුවට කිසිදු බාධාවක් නැත. ජල පෝෂක ප්‍රදේශ හා ගංගා පද්ධතිය පාරිසරික දූෂණයට ලක්කරන "නරුමයන්"ට එරෙහිව නීතියේ අවිය පාවිච්චි කිරීමට තිබුණේ මීට පෙරය. එය පමා කිරීම අපරාධයකි. පරිසර බලධාරීන් පෙරට තැබූ පය ආපසු ගත යුතු නැත. ඔවුන්ගේ කකුලෙන් අදින්නන් ගැන සොයා බැලීමේ වගකීම පැවැරී ඇත්තේ අන් කිසිවකුට නොව ජනාධිපතිවරයාටය.
උපුටා ගැනීම - http://mawbima.lk/80-94802-news-detail.html