තමන්ගේ දේ රැක ගැනීම ලොව බොහෝ රටවල සිරිතය. ඉන්දියාවට ගියත්, ජපානයට ගියත්, චීනයට, කොරියාවට ගියත්, යුරෝපා රටවලට ගියත් එය එසේමය. මේ න්‍යාය කිසියම් රටකට පමණක් පොදු වුවක් නොවේ. පුද්ගලයන් ගත්තද, පවුලක් ගත්තද, තමන්ගේ දේ රැක නොගතහොත් වෙන්නෙ අනුන්ගෙන් එය ලබා ගැනීමටය. එය මිලට ගැනීමක් විය හැකිය. ණයට හෝ නොමිලයේ ලබා ගැනීමක් විය හැකිය.කෙසේ වෙතත් අනුන්ගෙන් යමක් යමක් ගැනීමට වඩා තමන්ගේ දේ රැක ගන්නේ නම්, එහි වටිනාකම්, වැදගත්කම්, තමන්ගේකම් බොහෝ රැඳී තිබේ.
ආරියශීල වික්‍රමනායක යනු ඒ උත්තරීතර අරමුණ කරා රට ගෙන යන දේශීය ආයතන ගණනාවක සභාපතිවරයෙකි. ඔහුගේ ඉලක්කය දේශීය ආයතන රැක ගෙන පිටරටින් ගෙන්වනදේ සීමා කරවීමය. අද ජීවන ගමනින් ඔහුගේ කතාවට සවන් දෙමු. පැලවත්ත සීනි සමාගමේ හිටපු සභාපතිවරයා වන වික්‍රමනායක මහතා දැනට මාස්ටර් ඩයිවර්ස් හා පැලවත්ත කිරි සමාගම්හි සභාපතිවරයා ද වෙයි. එසේම “සූර්ය සිංහ” (ගන්න අපේ දේ ) ලාංඡනය සහිත මව්බිම ලංකා පදනමේ සභාපතිවරයා හැටියට ද කටයුතු කරයි.
✰ ආරියශීල වික්‍රමනායක මහත්මා, කොහෙද ඔබේ ගම්පළාත්? පාසල් ගියේ කොහෙද? මුලින්ම ඒ ගැන කතා කරලා ඉමු නේද?
මගේ ගම ගාල්ලේ බද්දේගම. උපන්නේ 1949 සැප්තැම්බර් මාසේ 25 වෙනිදා. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. ඔහු එඩ්මන් වික්‍රමනායක. අම්මා ශීලා සේරසිංහ. මම ගාල්ලේ ශාන්ත ඇලවීෂියස් විදුහලේ ශිෂ්‍යයෙක්. උසස් පෙළ දක්වා ඒ පාසලේ ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි වෛද්‍ය විද්‍යාලයටත් පාස් වුණා.
✰ ඔබ වෛද්‍ය විද්‍යාලයට සමත් වුණා කිව්වට, වෛද්‍යවරයෙක් හැටියට ප්‍රසිද්ධ නෑනේ.....?
ඔව්. එකට හේතුවක් තියෙනවා. 1970 ඔක්තෝබර් මාසේ පළවැනිදා මට ආපු වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය පැත්තක දාලා මම කිමිදුම්කරුවෙක් උනා. උපන් ගම බද්දේගම. ආයේ අහන්න්න දෙයක් නෑ. මම පොඩි කාලේ ඉඳලම හරියට මාළුවා වගේ තමයි. කොළඹ වරාය කොමිෂන් සභාවේ කිමිදුම් නිලධාරියෙක් වීමට මම බැඳුණා. ආසාව නිසා ගෙදරින් ඉඩ දුන්නා. හැබැයි ෆාදර් ගෙදරට මේ ගැන පැහැදිලි කළා. එදා ලංකාවේ හිටපු තුන්වෙනි කිමිදුම් නිලධාරියත් මමයි. දැනට ලංකාවේ ඉන්න පැරණිම කිමිදුම් නිලධාරියත් මමයි.
✰ කිමිදුම් ශිල්පය දන්නා අය අඩු නිසා එතෙර රට වලින් ලොකු ඉල්ලුමක් තියෙන්නත් ඇතිනේ....?
ලංකාවේ පළවැනි කන්ටේනර් පර්යන්තය හැදුනේ කොළඹ රැජින පාලමේ. ඒකෙ ඉදිකිරීම් භාරව වැඩ කළේ මම. ඒක ඉක්මනින් කර ගෙන යද්දී පත්තරයකත් ලියලා තිබුණා. මේක දැකපු ලංකාවේ හිටපු ජර්මන් ජාතිකයෙක් මට කතා කළා. එයාල කිව්වා ලෝකේ විශාලතම කන්ටේනර් පර්යන්තය හදනවා අරාබියේ, ඒක කරන්නේ ජර්මන් කම්පැනියක්. එහෙ වැඩට එන්න පුළුවන්ද කියලා. ඒ කාලේ ආණ්ඩුවේ රස්සාවක් දාලා ගියාම ආයෙත් ආණ්ඩුවේ රස්සාවක් කරන්නත් බෑ. මා කළෙත් එදා රටේ තිබුණ ඉහළම වැටුප් ලබපු විධායක මට්ටමේ රැකියාවක්. මගේ වයසත් අවුරුදු 27ක් විතර. මා කිව්වා මට එන්න බෑ කියලා. ඊට පස්සේ මාත් එක්ක කතා කරන්න ජර්මන් ජාතිකයෙක් වේලාවක් ගත්තා. සාකාච්ඡාව තිබුණේ ගෝල්ෆේස් හෝටලේ. ඒ අය මගෙන් දැඩි ඉල්ලීමක් කළා.ඔබට මේක කරන්න පුළුවන් මේ වැඩේ භාර ගන්න කියලා. මම කිව්වා මම ආණ්ඩුවේ වැඩ කරලා විශ්‍රාම යනකම් ලැබෙන මුළු මුදල අරාබියේ කන්ටේනර් පර්යන්තයේ වැඩ කරන අවුරුදු දෙකෙන් දෙනවා නම් එන්නම් කියලා. එක ඉලන්දාරිකමට, නිකමට වගේ කිව්වේ. මට ඒ අය කිව්වා ගාණ හදලා කියන්න කියලා. ඒ කාලේ විධායක නිලධාරියෙකුගේ පඩිය රුපියල් 350යි. හැබැයි කිමිදුම් නිලධාරියෙකුගේ පඩිය ඊට වඩා ගොඩක් වැඩියි. රජයේ සේවකයන්ගෙන් වැඩිපුරම පඩි ගත්තේ අපි. මාසේ පඩිය ඩොලර් පන්දාහක්. ඒ කාලේ ඩොලර් එකක් රුපියල් අටයි. අවුරුදු 55 වෙනකම් මම ගාණ හදලා කිව්වා.ඒක ලංකාවේ කාටවත් හිතන්නවත් බැරි ගාණක්. ඒ අය කිව්වා අද හවසට තීරණය කරන්නම් කියලා. හවස ඒ අය මගේ ඉල්ලීම පිළිගත් බව ප්‍රකාශ කළා. දැන් මාව කරකවල අත ඇරියා වගේ. පිටරට ගිහින් මේවගේ ලොකු වගකීමක් ගන්න මං වගේ පොඩි එකෙකුට කරන්න පුළුවන්ද කියලා බයත් හිතුණා. ඔය විදිහට මා අරාබියට ගියා. මා අවුරුදු දෙකට ගිය වැඩේ මාස නමයෙන් ඉවර කළා. එයාලට සෑහෙන කාලයක් කරගන්න සැලසුම් වැඩේ.මම කිව්වා දැන් මට යන්න ඕනෑ කියලා.එයාලා කියනවා ඔබ යන්න එපා.අපි රැකියාව දිගටම දෙන්නම් කියලා.
✰ ඊට පස්සේ මොකද වුණේ....? ඔබ එහෙ හිටියද? ලංකාවට ආවද?
කොහොමහරි මගේ ඉල්ලීම වුණේ ආපසු ලංකාවට එන්න. ඒ අනුව ජර්මන් සමාගම මට පොරොන්දු වූ අවුරුදු දෙකේ මුදල ගෙව්වා. මම සල්ලි ටිකත් අරගෙන බෑග් එකක දාගෙන බහරේන් වලට ඇවිත් එතැනින් සිංගප්පූරුවට ආවා. සිංගප්පූරුවේ එළි වෙනකම් බයයි. සල්ලි ටික කොට්ටෙ යට තියාගෙන බුදියගෙන උදේ පාන්දරම රජයේ බැංකුවක් සොයා ගෙන ගිහින් සල්ලි ටික දැම්මා. ඊට පස්සේ ලංකාවට ආවා. ඇවිත් පුරුදු රස්සාව කරන්න මාර්ගයක් හෙව්වා. මම ලංකාවට එනකොට කිමිදුම් ශිල්පයට අවශ්‍ය කරන සියලුම උපකරණ අරගෙනයි ආවේ. මම ටෙලිවිෂන් එකකුත් ගෙනාවා.ඒ වෙනකොට ලංකාවට ටෙලිවිෂන් ඇවිල්ලත් නෑ. ලෝකේ තියෙන හොඳම දේවල් එදා මා හිටපු ගෙදර තිබුණා.
ලංකාවට ඇවිත් මා මුලින්ම කළ දෙයක් තමයි, කිමිදුම් සඳහා ආයතනයක් පටන් ගත්ත එක. ඒ මාස්ටර් ඩයිවර්ස් ආයතනය. ලංකාවේ පෞද්ගලික එකම කිමිදුම් ආයතනය. මුහුද යට ඕනෑම ඉංජිනේරු කර්මාන්තයක් කරන්න පුළුවන්. ඊට පෙර ඒක කළේ වරාය කොමිෂන් සභාව විතරයි. කිමිදුම් නිලධාරීන් හිටියෙත් එයාල ළඟ විතරයි.
✰ හම්බන්තොට වරාය ඉදිකිරීමට ඔබත් මූලික වුණා කියලා රාවයක් තියෙනවා. වරාය ඉදිවිය යුතු ස්ථානය වත්මන් ජනාධිපතිතුමා ඇමතිවරයෙකුව සිටියදී එහි කැඳවාගෙන ගොස් ඔබ පෙන්වුවයි කියන කතාව ඇත්තද?
කොළඹ තියෙන තදබදයත් එක්ක එතන ගැටළු ඇතිවන බව මා දැක්කා.රටට ලොකු වරායක් ඕනෑ. වරායකට සුදුසු ස්ථානය කොහෙද? මම සොයා බැලුවා. ඒක මගේ වගකීමක්. මම මීගමුව දිහාට ගිහින් බැලුවා.හරියන්නේ නෑ. ගාල්ල පැත්තට ගියා. දක්ෂිණ සංවර්ධන අධිකාරිය හැදුව කාලේ මම ඒකෙ අධ්‍යක්‍ෂක කෙනෙක් වෙලත් හිටියා.ඒ දවස්වල මම යනවා කිරින්ද ධීවර වරාය හදන වැඩ වලට. මේ අසූ ගණන්වල පාන්දර පිටත් වුණාම උදේ කෑම කන්නේ හම්බන්තොට රෙස්ට් හවුස් එකෙන්. මට එතැනදී පේනවා, නැව් සිය ගාණක් එහා මෙහා යනවා. මම කල්පනා කළා අපි මොනවද මේ කොළඹ ඉඳන් කරන්නේ කියලා. මම කියන්නේ හම්බන්තොට වරායට අයිතිකාරයෝ කව්රුවත් නෑ. මෙතන හොයල දුන්නෙත් මම. හදල දුන්නෙත් මම. මෙතන තාත්තත් මම. ඔතැන ගැන මම ප්‍රකාශ කරපු කාලේ සමහරු මට විහිලු කළා. තුම්පනේ වරායවල් ගැන කතා කරනවා කියලා. හම්බන්තොටට එහා මුහුදේ නැව් ගෙන්වා ගෙන විශාල ආදායමක් රටට ලැබිය හැකි බවට මුලින්ම හිතුවේ මමයි.ඒ කාලේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති වෙලා හිටියේ නවීන් ගුණරත්න කියලා මහත්තයෙක්. මම සැලසුම් ඇඳලා ගිහින් මේ යෝජනාව දැම්මා වරාය හදන්න ඕනෑ හම්බන්තොට කියලා.එත් කිසි කෙනෙක් ගාල්ල වරායෙන් එහාට යන්න කැමති නෑ. මහින්ද අමරවීර මහත්තයා රිචඩ් පතිරණ මහත්තයත් හිටියේ මෙහෙනෙ. කොටින්ම ඒ කාලේ කතරගම ගියත් හම්බන්තොට හරියේදී වාහන හොඳට පාගලා යනවා.ඇයි පාරට අලි එනවා කියලා. ඔන්න තත්ත්වේ. මම කිව්වා මමත් ගාල්ලේ. ඉස්කෝලේ ගියෙත් ගාල්ලේ. මේ වැඩේ ගාල්ලට දුන්නොත් මාත් කැමති කියලා. නමුත් ඇත්ත 1936 ගාල්ල වරාය පොඩි නිසයි කොළඹට ගියේ. ඒ ගැන වාර්තා අදත් මා ළඟ තියෙනවා. මම කිව්වා එදා කොළඹට ගියා නම් ආපහු අවුරුදු සීයකට ළං වෙලා මෙතනට එන්නේ ඇයි කියලා. මම හම්බන්තොට වරාය යෝජනාවේ ස්ථීරවම හිටියා. තාක්ෂණික වශයෙන් පවා එතැන සුදුසු බව තීරණය වුණා. ඊට පසුව දක්ෂිණ සංවර්ධන අධිකාරිය “හම්බන්තොට” කේන්ද්‍රස්ථානය කර ගන්න තීරණය කළා.මේ කියන්නේ 1996 අවුරුද්ද. මම එවකට හිටපු ජනාධිපතිනියට වරාය ගැන ගිහින් කිව්වා. කරන්න ඕනෑ කිය කියා හිටියා කළේ නෑ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලාවේ එතුමා එක්කගෙන ගිහින් පෙන්නුවා. ආණ්ඩුව නැති වුණා. ඊට පස්සේ වත්මන් ජනාධිපතිතුමා වරාය ඇමති වුණා. මම එතුමාව හම්බන්තොට එක්කගෙන ගිහින් පෙන්නුවා.අද දියකඩනය හදන තැන ඉඳලා මම එතුමාට පෙන්නුවා (එම ඡායාරූප පෙන්වයි). එතුමා ඒ දේ අද කරලා තියෙනවා. අද හම්බන්තොට වරාය ලෝකේ තියෙන ප්‍රධාන වරායන් වලින් එකක්. මේ වරාය හොඳටම දන්නේ මම.
✰ ආරියසීල මහත්මා, හම්බන්තොට වරාය යට ගලක් තියෙනවා, ලොකු නැව් එන්න බෑ කියලා සමහරු ලොකු ප්‍රචාරයක් කළා. ඊට ඔබේ පිළිතුර කුමක්ද?
වරායවල යට තියෙන ගල් ගැන අහන්න ඕනෑ මගෙන්. කොළඹ වරායේ ගැඹුර මීටර් අටයි සාමාන්‍යයෙන් ගැඹුර මීටර් 10ට වැඩි නැවක් නතර කරන්න පුළුවන් එක තැනයි තියෙන්නේ. මොකද හේතුව ගල් නිසා.ඊට පස්සේ මීටර් අටේ ගැඹුර මීටර් දොළහට ගැඹුරින් වැඩි කළා. මමයි ඩයනමයිට් දාලා ගල් කඩලා මීටර් දොළහට පහත් කළේ.මේ වැඩේ අපට ඒ තරම් සරලයි. කව්රුවත් දන්නෙවත් නෑනේ එහෙම කළා කියලා. එක දවසයි ගියේ. ඊට පස්සේ ආයෙත් අඩි 15ට කොළඹ වරාය පහත් කළා. එත් මම කළේ . හම්බන්තොට එහෙම නෑ. ජනාධිපතිතුමා විවෘත කරන වෙලාවේ වතුර පුරවලා තිබුණේ නෑනේ. එතකොට එකේ ගල් තිබුණද? එතන මීටර් 38ක් යනකම් ගැඹුරු කරන්න පුළුවන්. දැන් මීටර් 18යි නේ ගැඹුර. ලෝකේ තියෙන ලොකුම නැව මෙතනට එන්න පුළුවන්. ඊට වඩා නැව් තව ලෝකේ නෑ. එහෙම එනවා නම් වරාය තවත් ගැඹුරු කරන්න පුළුවන්.ගල් තිබුණත් ප්‍රශ්නයක් නෑ.
✰ ඔබ පසු ගිය කාලේ පැලවත්ත සීනි සමාගමේ හිමිකරුවා විදිහටත් හිටියනේ. ඇයි එක පාරටම සීනි සමාගම රජයට ගත්තේ....?
මම ඒ කතාව මෙහෙම කියන්නම්. මගේ මතය වුණේ අපි ආයෙත් රුහුණු මාගම් පුරට යා යුතුයි කියලයි. පැරණි රාජධනියක්නේ. යුදගනාව චෛත්‍යය රුවන්සැලි සෑයටත් වඩා ලොකුයි. නටඹුන් වුණාට ඇයි රාජධානියක් තිබුණා නම් අද අත ඇරලා දාලා තියෙන්නේ. මේ ප්‍රදේශ ගොඩ ගන්න රැකියා ඇති කළ යුතුයි. කර්මාන්ත ඇතිවිය යුතුයි. මම ඒ දේ දැක්කා. ඔහොම ඉන්නකොට පැලවත්ත සීනි සමාගම විකුණන්න දාලා තිබුණා ආණ්ඩුවට කර ගන්න බැරුව 2002 අවුරුද්දේදී. මට හිතුණා ලංකාවේ සීනි හදන්න ඕනෑ කියලා. මම ඒ වෙනකොට දන්නේ අපේ ගෙදර තිබුණු උක්පඳුර විතරයි. මම නිකන් ගිහින් මෙතන බැලුවා. මහා විශාල යන්ත්‍රාගාරයක් තියෙනවා. මම පළවැනියට මොණරාගල පැත්තට ගියෙත් එදයි. මට මැෂින් ටික දැක්ක ගමන් හිතුණා ‘අපරාදේ මේ මැෂින් ටික මේවයින් අපට නැව්වල කොච්චර වැඩ කරන්න පුළුවන්ද කියලා’. මට සීනි හදනවට වඩා ඒ අදහසයි තිබුණේ. මම ආයෙත් කොළඹ ආවා. හැමෝම හිතුවේ මම වැඩේ එවෙලේම අත ඇරියා කියලයි. මාත් එක්ක ගිය යාළුවත් ඒ බව කිව්වා. මම සද්ද නැතිව මගේ ලන්සුව දැම්මා. බැලුවම මම විතරයි දාලා තියෙන්නේ. මම ගිහින් ගත්තා. මම වැඩේ පටන් ගත්තා. 2002 ඉඳලා 2011 වෙනකම් පැලවත්ත සීනි සමාගමේ සභාපති මම. මම ඉන්න කාලේ තමයි ඔතැන වැඩිපුරම සීනි හැදුවේ. වාර්ෂිකව මෙට්‍රික් ටොන් පනස්දාහක්.
✰ ඔබ පැලවත්තේ දී උක් ගහෙන් තව ලොකු ලොකු වැඩවලට අත ගැහුවා නේද?
පිටරටින් ගේන මද්‍යසාර වලින් සීයට 76ක් මම පැලවත්තේ හැදුවා. මට බෝතල් කරන්න ලයිසන් එක දුන්නා. මම ගත්තේ නෑ. මම එකෙන් පෙට්‍රල් හදන්න ගියා. එතනෝල් හැදුවා. දැන් එන වාහන වලට එතනෝල් දාලා දුවන්න පුළුවන්. 2007 දී අපේ රටේ හදපු මයික්‍රෝ කාර් එකකට මගේ ආයතනයේ හදපු පෙට්‍රල් දාලා අයවැය කියන්න යන්න ජනාධිපතිතුමාට දුන්නා. අපේ රටේ හදපු කාර් එකක උක්ගස්වලින් හදපු පෙට්‍රල් වලින් අද ආවේ කියලා කියන්නත් එක්ක, එතුමා ඒ ගමන ගියා. නමුත් ඒක කියන්න බැරි වුණා මොකක්දෝ ප්‍රශ්නයක් නිසා. උක්ගස්වලින් පෙට්‍රල් හදනවා. උක්ගස්වල අහක දාන රොඩු වලින් මෙගා වොට් 4ක් විදුලිය නිපදවනවා. මට එකෙන් මෙගා වොට් 25ක් නිපදවන්න පුළුවන්. මම විදුලි බල මණ්ඩලේට ඒ ගැන කිව්වා.ඒ අය එක ප්‍රතික්ෂේප කළා. එච්චර එපා මෙගා වොට් 10ක් ගන්නම් කිව්වා. දෙයියනේ... අහක දාන රොඩු ටිකනේ. ඒ අය කියනවා මේ අපේ නීතියලු. ඉන්දියාවේ හැම සීනි කර්මාන්ත ශාලාවකින්ම මෙගා වොට් 25ක් දෙන්න ඕනේ. නැත්නම් එක ජාතික අපරාධයක්. පායන කාලෙටනේ මේ දේ කරන්න පුළුවන්. මම විදුලිය දෙන්නම් කිව්වේ වතුරත් අඩු කාලේ. මේවට අපි මොකද කරන්නේ?
✰ ඔබේ හැකියාවෙන් ඉදිරියේදී රටට කළ හැකි යයි ඔබ හිතන එක යෝජනාවක් කරන්න පුළුවන්ද?
පැලවත්ත, සෙවණගල, කන්තලේ, හිඟුරාන සීනි කර්මාන්ත ශාලා ලාභ සහිතව දුවලා දෙන්න කියලා හෙට කිව්වොත් මම ඒ වැඩේට අත ගහන්න ලෑස්තියි.
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿
දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...
ඡායාරූපය සදහා ස්තූතිය - Sandun M Mendis ( මව්බිම ලංකා පදනම)