දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (15) පස්වරුවේ විවෘත කෙරුණා. පින්නදූව පිවිසුමේ පැවති සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් අධිවේගී මාර්ගය විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපතිවරයා අධිවේගී මාර්ගය විවෘත කරමින් මෝටර් රථයක නැගී පින්නදූව පිවිසුමේ සිට මාතර - ගොඩගම දෙසට ගමන් කළා. ගාල්ල - පින්නදූව සිට මාතර - ගොඩගම දක්වා ඉදිකරන ලද මෙම අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර් 30 ක් වන අතර, වැය කර ඇති මුදල රුපියල් බිලියන 18 ක්. මෙම අධිවේගී මාර්ගය මංතීරු 4 කින් සහ පිවිසුම් 3 කින් සමන්විතයි. එසේම, අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ සිට ගාල්ල වරාය දක්වා කිලෝමීටර් 4 කින් යුත් විශේෂ මාර්ගයක් ද ඉදිකර තිබෙනවා. මෙම අධිවේගී මාර්ගය තුළින් මාතර සිට කඩුවෙල දක්වා පැය එකහමාරකින් ළඟාවීමට හැකිවන අතර උපරිම වේග සීමාව දක්වා ඇත්තේ පැයට කිලෝමීටර් 100 ක් ලෙසයි. මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටසෙහි වැඩකටයුතු ලබන ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.







