POSTED ON Thursday, October 3, 2013| | Edit Post
මේ ගෙවී යමින් තිබෙන්නේ පූරාණ බෞද්ධ රාජ්‍යක් වූ වර්තමාන ඇෆ්ගනිස්ථානයේ විනාශ කර දැමුණු ලෝක උරුම බාමියන් බුද්ධ ප්‍රථිමාවන්ට නොදෙවෙනි 'මෙස් අයිනාක්' හි තවත් සුවිසල් බෞද්ධ උරුමයක ඉරණම තීන්දු කෙරෙන තීරණාත්මක වසර කිහිපයයි.

ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවර සිට සැතපුම් 20ක් පමණ දකුණු දෙසින් පිහිටි මෙම පෙදෙස සුවිශාල බුද්ධ ප්‍රථිමා, ඉතා පැරණි සිතුවම් සහිත ගොඩනැගිලි, ඉපැරණි ස්ථූප, රන් රිදී කෞතුක භාණ්ඩ සහිත වසර 2500 ක් වූ බුදුන් වහන්සේගේ සමකාලීන යුගය තෙක් දිවයන ඉපැරණි ඉතිහසයකට උරුමකම් කියන අක්කර 9800ක් පුරා විහිදුණු සුවිසල් පුරාණ බෞද්ධ නගරයකි.

එහෙත් දැනට හදුනාගෙන ඇති පරිදි ලෝකයේ දෙවන විශාලතම තඹ නිධිය ඇතැයි සැලකෙන මෙම ප්‍රදේශය ඩොලර් බිලියන 3ක මුදලකට තඹ පතලක් සදහා චීන සමාගමකට බදු දීමට ඇෆ්ගන් රජය මේ වනවිට ගිවිසුම් අත්සන් තබා තිබේ.

ඒ අනූව ඉදිරි වසර කිහිපය ඇතුළත තඹ පතලකට යටවී මෙම සුවිසල් බෞද්ධ උරුමයේ සියලු සළකුණු සහමුලින්ම මිහිමතින් මැකී යනු ඇත.

මෙම දැවැන්ත බෞද්ධ උරුමයෙහි වටිනාකම හදුනාගත් North Western විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිනමාවේදී Brent E. Huffman මහතා ඇතුලු පිරිසක් විසින් මෙම මහා විනාශයට එරෙහිව ලොව පුරා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන අතර ඔවුන් විසින් මෙකී කාර්‍ය උදෙසාම නිල ෆේස්බුක් පිටුවක් ද අරඹා තිබේ. ඔබටද මෙම ෆේස්බුක් පිටුවට කොට සිය කැමැත්ත ප්‍රකාශ කර ඔවුන්ව දිරිමත් කළ හැකිය.

එසේම ඔවුන් විසින් මෙයට එරෙහිව අන්තර්ජාල පෙත්සම් දෙකක් අරබා ඇති අතර ඉන් එකක් ඇෆ්ගන් ජනපති හමීඩ් කර්zආයි වෙතත් අනෙක් පෙත්සම යුනෙස්කෝව වෙතත් යොමු කිරීමට නියමිතය. මෙම අන්තර්ජාල පෙත්සම් දෙකට ඔබේ අත්සනත් එක් කර ඔබට ද මෙම ඉපැරණි බෞද්ධ උරුමය සුරැකීමේ ව්‍යාපාරයේ කොටස්කරුවකු විය හැකිය.

මෙම ලින්ක් එකෙන් මෙස් අයිනාක් සුරැකීමේ නිල ෆේස්බුක් පිටුවට පිවිස Like එකක් දමා ඔවුන්ව දිරිමත් කරන්න. Like කිරීමට ඔබේ මිතුරන්ටත් ආරාධනා කර මෙම පණිවිඩය ලොව පුරා විසුරුවා හැහීමට දායක වන්න.

https://www.facebook.com/buddhasofaynak

North Western විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Brent E. Huffman මහතා විසින් ආරම්භ කර ඇති ඇෆ්ගන් ජනපති Hamid Karzai වෙත යොමු කෙරෙන අත්සන් ලක්ෂයක දැවැන්ත අන්තර්ජාල පෙත්සමට ඔබේ අත්සන එක් කරන්න. පහත ලින්ක් එක ක්ලික් කරන්න..

http://chn.ge/Pux8Nr

'මෙස් අයිනාක්' ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝව වෙත යැවෙන අත්සන් ලක්ෂයක අන්තර්ජාල පෙත්සමට ඔබේ අත්සන එක් කරන්න. පහත Link එක Click කරන්න.

http://chn.ge/TstjEm

මෙස් අයිනාක් ගැන දැනගන්න..
http://www.firstpost.com/topic/organization/unesco-save-mes-aynak-sinhala-edition-video-1RcXf-Zb5CI-5612-1.html


....................................................................................................................................................................................................

තඹ ආකරයක ගිලීයන ගෝලීය බෞද්ධ උරුමය Mes Aynak
(චමිල ලියනගේ (හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලය-ඉන්දියාව) විසින් දිවයිනට යොමු කරන ලද ලිපියකි.. දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලදී..)


ඇෆ්ගනිස්තානය පිළිබඳ ව ශ්‍රී ලාංකික ජනතාවගේ, විශේෂයෙන්ම බෞද්ධයන්ගේ අවධානය ඉහළ ගියේ 2001 වසරේ දී බාමියන් බුදු පිළිම පුපුරුවා හැරීමේ අවාසනාවන්ත සිදුවීමත් සමඟය. බාමියන් බුදු පිළිම යනු , තවත් බුදු පිළිම දෙකක් පමණක් නොවන්නේ, ඒවා මානව ශිෂ්ඨාචාරය විසින් ඉදිකර තිබූ විශාලතම "හිටි පිළිම" නිසාම නොවේ. ඊට තවත් ඓතිහාසික කරුණු රාශියක් පදනම් විය. ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නගරයට වයඹ දිගින් කිලෝමීටර් 250 ක් පමණ ඈතින් මධ්‍යම ඇෆ්ගනිස්තානයේ හසාරාජන් ප්‍රාන්තයේ දැවැන්ත හිරිගල් බෑවුමක බුදු පිළිම දෙකක් නෙලා ජීවමානත්වයක් ආරෝපණය කිරීමේ අදහස පහළ වූයේ ඩයිනමයිට් ටොන් ගණනක බෝම්බ අටවා ඒවා සුන්නද්ධූලි කිරීමට ඉදිරිපත් වූවන්ගේ අත්තලා, මුත්තලා , කිරිකිත්තලාගේ සිත් සතන්වල නොවේ. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ සිට සත්වන සියවස දක්වා උතුරු බෞද්ධ භාරතයේ කුෂාන් රාජධානියේ පාලකයන් වූ කුෂාන රජවරුන්ගේ භක්තිමත් නිර්මාණයක් ලෙස හින්දු කුෂ් කඳුවැටියේ බාමියන් නිම්නයේ බාමියන් ප්‍රතිමා හැඳින්විය හැකිය. (බෞද්ධ භාරතය යනු වර්තමාන ඉන්දියාව ම නොවේ. එය ඊට හාත්පසින් ම දැවැන්ත භූමි භාගයකි.) ක්‍රි.ව. හයවන සියවසේ හිරිගල් බෑවුමක නෙලූ මෙම පිළිම දෙක අතින් විශාල පිළිමය අඩි 180 ක් උස් වූ අතර අනෙක් පිළිමය අඩි 121 ක් උස විය. ගාන්ධාර සම්ප්‍රදායේ නිමැවුම් වූ ඒවායේ මුද්‍රාවන් පරීක්ෂා කළ පුරාවිද්‍යාඥයෝ විටෙක ඒ මහා වෛරෝකන බුදුන් හා ශාක්‍යමුනි බුදුන් බව කීහ. තවත් විටෙක දීපංකර හා ගෞතම බුදුන් බව ද කීහ. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කර තිබූ එම සුවිසල් පුරාවිද්‍යා වස්තූන් සුනුවිසුනු කර දැමීමේ තීරණය ගත් ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලක මුල්ලා මොහොමඩ් ඕමාර් ඒවා විනාශ කිරීමේ පුරෝගාමියා නොවේ.

අද ඇෆ්ගනිස්තානය එදා බෞද්ධ භාරතයේ තවත් ප්‍රාන්තයකැයි කීවෙමු. ඒ ප්‍රාන්තය මුස්ලිම් ආක්‍රමණිකයන්ට නතු වන්නේ ක්‍රි.ව. 7 වන සියවසේ පමණ සිට ය. එවක් පටන් එහි පැලපදියම් වන මෝගල් ආක්‍රමණිකයන්ගේ ඇසට වහකදුරු වූ මේ වටිනා පිළිම විනාශ කිරීමට පළමුව උත්සාහ දරන්නේ ගෙන්ගීස් ඛාන් නම් වූ මූගල් අධිරාජ්‍යයා ය. ඒ ක්‍රි.ව. 1221 දී තරම් ඈතක දී ය. දෙවනුව විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් දමා ඒවා විනාශ කරන්නට උත්සාහ දරන්නේ ක්‍රි.ව. 1618-1707 කාලයේ ඇෆ්ගනිස්තානය පාලනය කළ අවුරන්ග්සෙබ් නම් මුස්ලිම් අධිරාජ්‍යයා ය. තෙවැනි උත්සාහය දරන්නේ නාඩ්ර්‍ අෆ්ෂාර්‍ නම් මුස්ලිම් පාලකයා ය. ඒ දහඅටවන සියවස තරම් මෑතකදී විශාල ගිනිගොඩවල් ගසා පර්වත පැලී යෑමට සැලැස්වීමෙනි. "බුදු පිළිම-ආසාත්මිකතාව" නම් ජානගත රෝගයෙන් පෙළෙන මේ මූලධර්මවාදී වංශයේ ඊළග පවුකාර පුත්‍රයා අබ්දුල් රහමන් ඛාන් ය. ක්‍රි.ව. 1830 පමණ වනවිට පැන නගින ෂිහා හසාරා කැරැල්ලට එරෙහි ප්‍රහාරවල දී එක් පිළිමයකට ප්‍රහාරයක් එල්ල කර එහි මුහුණ කඩාබිඳ දැමීමට ඔහු සමත් විය. 2001 වසරේ ඓතිහාසික විනාශය කළ ඕමාර්ගේ උත්සාහය පළමු උත්සාහය නොවන අප බව ඒ නයින් වටහා ගත යුතුය.

හෙට සිට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව අවි අමෝරා ගැනීමට, මුස්ලිම් රටවල තානාපති කාර්යාල වටකර ඒවායේ ජනෙල් වීදුරු කුඩුපට්ටම් කිරීමට මේ ලියූ කුඩා ඡේද දෙක හොදටම ප්‍රමාණවත් ය. බෞද්ධාගමේ ආරක්ෂාව සහ චිරස්තිය සදහා වඩාත් ක්‍රමෝපායික, විද්‍යාත්මක, දාර්ශනික පිළිවෙත්වලට ශීක්ෂණයෙන් යුක්තව අවතීර්ණ වී සැබෑ බෞද්ධ අනන්‍යතාව ප්‍රදර්ශනය කරනු වෙනුවට, අබෞද්ධ සමාජ, ආර්ථික, දේශපාලනික සන්දර්භයක ඉත්තන් හා ගැත්තන්ව සිට, උද්ඝෝෂණයකින් දෙකකින්, උපවාසයකින්, ප්‍රකෝපකාරී ආගම්වාදී කලකෝලාහලයකින් බෞද්ධාගමේ චිරස්තිය තහවුරු කරගැනීමේ 'ඔලමොට්ටල' විකල්ප තෝරන 'බෞද්ධ මූලධර්මවාදය' වටහා ගත යුතු කරුණක් තිබේ. 2001 වසරේදී කිරීමට තීරණය කෙරුණු බාමියන් බුදු පිළිම පුපුරුවා හැරීමේ තීරණය ඊට වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත්කෙරුණු දා පටන් එම තීරණයට එරෙහිව සියලුම මුස්ලිම් රටවල් එකාවන්ව හඬනැගූ බව අප දැන සිටියෙමුද? ලෝක ඉස්ලාම් රටවල සමුළුවේ විශේෂ සභාවාරයක් කැඳවන ලදුව, ඒ විරෝධතාව පළ කරන ලදී. ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගත්තේ සෞදි අරාබිය, පාකිස්තාන හා එක්සත් එමීර් රාජ්‍ය පමණි. එම රටවල් පවා එකහෙළා මේ තීරණය හෙළාදුටු අතර, මෙය ඉස්ලාම් ආගමට නිගාවක් බව ද ප්‍රකාශ කරන ලදී. ඉන්දියාව මෙම දැවැන්ත පිළිම ප්‍රවේශමෙන් ගලවා කෙසේ හෝ ඉන්දියානු භූමිය තුළට ප්‍රවාහනය කර ගැනීමට වියදම් දැරීමට ඉදිරිපත් විය. ජපානයද එම විකල්පයත්, විනාශ කිරීම වැළැක්වීමට වන්දි මුදලක් අවශ්‍ය නම් ඕනෑම මුදල් ප්‍රමාණයක් ලබාදීමටත්, එම පිළිම නෙත ගැටීම තලේබාන්වරුන්ගේ ආඅගමට 'අකැප' නම් ඒවා ආවරණය කිරීමටත් ඉදිරිපත් විය. නමුත් පලක් වූයේ නැත.

තරමක් දිගු නමුත් මෙම හැඳින්වීම කිරීමට තීරණය කළේ ප්‍රස්තූත කාරණය සදහා ප්‍රවේශ වීමට හොද ආරම්භයක් ලබාගනු පිණිසය. ඇෆ්ගනිස්තානයේ ම තවත් බෞද්ධ පුරාවිද්‍යා භූමියක ඉරණම මේ වනවිට ගෝලීය ජනමතය යළි කැළඹවීමට පටන් ගෙන තිබේ. ඉතා නුදුරු කාලයේදී ම ඊට අත්වන ඉරණම පිළිබඳව නිගමනයකට එළඹීම පාඨක ඔබට බාරකර පළමුව කතාව කීම යෝග්‍ය යැයි හැඟේ. ඇෆ්ගනිස්තාන දාර් (පර්සියන්) භාෂාවෙන් 'මෙස් අයිනාක්' (MES AYNAK) යනු 'කුඩා තඹ ආකරය'යන්නයි . මෙම තඹ ආකරය පිහිටා ඇත්තේ කාබුල් අගනුවර සිට කිලෝමීටර් 35 ක් තරම් දකුණු දිගින් වන ලෝගා ප්‍රාන්තයේ ය. ඒ 'කුඩා' තඹ ආකරයෙන් කැණිය හැකි යැයි ඇස්තමේන්තු කර ඇති තඹ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 552 ක් පමණ වන අතර එය ලෝකයේ දෙවැනි විශාලතම තඹ නිධිය ලෙස සැලකේ. 2007 වර්ෂයේ ඇෆ්ගනිස්තාන රජය චීනයේ සුප්‍රසිද්ධ (ශ්‍රී ලංකාවේද ආයෝජන ගණනාවක් කර ඇති) China Metallurgical Group Corporation (MCC) සමාගම සමඟ ගිවිසුමකට අවතීර්ණ වන්නේ අපේක්ෂා රාශියක් සිතැති ව ය. මෙම තිස් අවුරුදු ගිවිසුමෙන් ඇෆ්ගනිස්තානය වාර්ෂිකව අපේක්ෂා කරන පිරිවැටුම ඩොලර් බිලියන 1.2 කි. අනෙක් අතින් මෙය චීනය ඇෆ්ගනිස්තානය තුළ සිදු කළ පළමු ආයෝජනය වේ. ඛනිජ සම්පත් කැණීම හා උපයෝජනය ගැන ප්‍රවීණත්වයක් දරණ MCC සමාගමේ අරමුණු කෙටිකාලීන නොවේ. ඉදිරියේ දී ඇෆ්ගනිස්තාන රජය සමඟ එම රටෙහි මෙතෙක් 'අත නොගැසූ' යකඩ, රන් හා කොබෝල්ට් ආකර සඳහා ආයෝජනය කිරීම MCC ඊළඟ ප්‍රමුකතාවන් වී ඇත.


'මෙස් අයිනාක්' ගැන අප කතා කළ යුත්තේ ඇයි? ඊට හේතු වී ඇති කාරණය සමස්ත ලෝකවාසී බෞද්ධ හදවත් මොහොතකට සසල කරවනු නොඅනුමාන ය. යෝජිත තඹ ආකරය පිහිටා ඇත්තේ වර්ග සැතපුම් දෙකක වපසරියක් පුරා විහිදී ඇති, දැනට ලෝකයේ හමුවී ඇති පැරණිතම නටඹුන් සහිත, බෞද්ධ ආරාම , විහාර, ස්ථූප, පිළිම වලින් අනූන පුරාවිද්‍යා භූමියකට යටිනි. ' මෙස් අයිනාක්' පුරාවිද්‍යාත්මක සාක්ෂි අනූව මෙය ක්‍රි.පූ. 6 වන සියවස තරම් ඈතට දිවයන බව පුරාවිද්‍යාත්මක මතයයි. ඓතිහාසික සේද මාවතේ සුවිශේෂී මංසන්ධියක් ලෙස හඳුනාගෙන ඇති මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකම කිසිදු නිර්ණායකයක් මත මෙතෙක් තක්සේරු කර නොමැත. වර්ග සැතපුම් දෙකක වපසරිය තුළ ඇති බෞද්ධ ආරාම සංකීර්ණය අක්කර 100 ක් පමණ විශාල යැයි අනුමාන කර තිබේ. මෙය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් බව මිනිසුන් දැනගත්තේ අද ඊයේ නොවේ. ඊටම නොදෙවෙනි ව, මෙම පුරාවිද්‍යා භූමියට යටින් දැවැන්ත තඹ ආකරයක් පිහිටා ඇති බව විද්‍යාත්මක ව සොයා ගනු ලැබූයේ 1960 දී පමණ ය. වසර දහස් ගණනකට පෙර මේ බෞද්ධ ආරාම සංකීර්ණ, පිළිම ගෙවල් ඉදිකළ ශිල්පීය ඥාණය මේ භූමියේ යට වී ඇති තඹ ගැන දැන සිටි බවට සාක්ෂි තිබේ. කුඩා පරිමාණ වශයෙන් හාරන ලද ළිං වලින් තඹ කැණීම් සිදුකර එම තඹ බොහෝමයක් මෙම පිළිමවල ආලේප කර තිබෙනු දැකගත හැකි ය. නමුත් මෙහි ඇති පුරාවිද්‍යාත්මක, ඓතිහාසික කේන්ද්‍රීය වැදගත්කම ගැන කතිකාවක් ගොඩනැඟෙන්නේත්, සංරක්ෂණය සදහා උත්සුක වන්නේත් උක්ත ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එනම් 2008 වසරේ පටන් ය.MCC සමාගම වසර තුනක කාලයක් ඇෆ්ගනිස්තාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙන්නේ කැණීම්, ප්‍රතිස්තාපනයන් හා සංරක්ෂණය කිරීම සඳහා ය. එය ඉතා හොඳ ප්‍රවණතාවක් බව කිව යුත්තේ එම සමාගම තම සමාජමය වගකීම් ගැන සැලකිය යුතු බර තැබීමක් කර තිබෙන බැවිනි.

තත්වය එසේ වුවද මෙහි සේවයේ නියුතු පුරාවිද්‍යාඥයන් එකහෙළාම පවසන්නේ, යෝජිත කැණීම් වසර තුනකින් සිදුකිරීම සිතීමටත් අසීරු අභියෝගයක් බව ය. යෝජිත භූමිය එතරම් දැවැන්ත පුරාවිද්‍යා වස්තු සම්භාරයකින් යුත්, ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ පූජා භූමියකි. මෙහි ලහිලහියේ කැණීම් , ප්‍රතිස්ථාපනය කිරීම් හා සංරක්ෂණ කටයුතුවල නියැලෙන පුරාවිද්‍යාඥයන් ගණන පහළොවකි. ඔවුන්ගේ සහයට කම්කරුවන් 25 දෙනකු පමණ සිටී. මෙම කර්තව්‍යයේ නායකත්වය ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන පිලිප් මාක්‍යුස්, අමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන ආචාර්ය ලෝරා ටෙඩෙස්කෝ හා ඇෆ්ගන් පුරාවිද්‍යාඥ අබ්දුල් කදීර් ටිමෝරේ විසින් දරන අතර, ඔවුන්ගේ මතය වන්නේ මෙම දැවැන්ත භූමියේ පොළොවෙන් ඉහළට මතුව ඇති හෝ වැලි සහිත පසේ වැළලී ඇති පුරාවස්තූන්, විවිධ ප්‍රමාණවල බුදු පිළිම ආදිය ලැයිස්තුගත කිරීමට යටත් පිරිසෙයින් වසර තුනක් අවශ්‍ය බව ය. සමස්ත කැණීම් හා සංරක්ෂණය කිරීම් සදහා ඔවුන්ගේ ඇස්තමේන්තුගත කාලය වසර දහයකි. ඒ සදහා විශාල ධන්ස්කන්ධයක් මෙන්ම, අඩුම තරමින් ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන් තිස්දෙනෙකුගේ කණ්ඩායමක් යටතේ කම්කරුවන් සිය දෙනෙකුවත් වැඩ කළ යුතු යයි ගණන් බලා තිබේ.

කැණීම් කර ඇති ආරාම සංකීර්ණය කාමර, ශාලා, ෆ්‍රෙස්කෝ චිත්‍ර, මැටි ගල්, කාසි, වීදුරු බඳුන්, හිටි පිළිම, හිඳි පිළිම හා සැතපෙන පිළිම සිය ගණනකින් සමන්විත වන අතර ඒවා අඩි දහයකට වඩා උස ප්‍රමාණයෙන් යුතු ඒවා ය. එක් බිම්කඩක් අඩි 4-5 ක් උසැති ස්ථූප රාශියකින් යුත් අංගනයක් සේ දිස්වේ. දැනට විශාල පිළිම 150 ක් පමණ සොයාගෙන ඇති අතර , හිරිගලෙන් නිමවා, මැටි බදාමයකින් වාත්තු කර, තඹ හෝ වෙනත් වර්ණ භාවිතයෙන් වර්ණ ගන්වා ඇති එම පිළිම එහා මෙහා කිරීමේදී කැඩී බිඳී යාම ස්වාභාවික ය. ඒවා ආරක්ෂිත ව එහා මෙහා කිරීමට විශේෂ රසායන ද්‍රව්‍ය යෙදිය යුතුව ඇති නමුත් ඒ සදහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නැත, මෙම සංරක්ෂණ කටයුතු සදහා තවත් ඩොලර් මිලියන 5-10 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය ය. ඇෆ්ගන් නියෝජ්‍ය සංස්කෘතික අමාත්‍ය ඕමාර් සුල්තාන් විසින් ඇෆ්ගන් රජයේ වියදම් යටතේ ඩොලර් මිලියන දෙකක් මේ සදහා මූලික ව ආයෝජනය කර ඇත. අරමුදල් පරිත්‍යාග කිරීමට පොරොන්දු වූ රටවල් එම පොරොන්දු ඉෂ්ඨ කර නැති බව අමාත්‍ය සුල්තාන් පවසයි. 2010 වසරේ මැයි මස සිට 2011 වසරේ ජූලි මස වන විට ප්‍රතිමා හාරසියයක් හඳුනා ගනු ලැබිණි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ ඇෆ්ගනිස්තාන ජාතික කෞතුකාගාරයේ ඇති වස්තු සියල්ලට වඩා වැඩි ප්‍රමාණයක් 'මෙස් අයිනාක්' හි ඇති බවයි. වසර දෙදහසකට වඩා පැරණි බොහෝමයක් පුරාවස්තු බෞද්ධ භාරතයේ සැබෑ සීමා මායිම් ගැන ප්‍රබල සාක්ෂි සපයන අතර, කාලීනව සිදුවූ යුද්ධ, ආක්‍රමණ හා වාණිජ ගනුදෙණු ගැන ද විශාල පුරාවිද්‍යාත්මක සාක්ෂි ප්‍රමාණයක් සපයනු ඇතැයි යන්න පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. උදාහරණ වශයෙන් (මහා) ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයට අදාල බොහෝ තොරතුරු ඒ සාක්ෂිවල සටහන්ව තිබෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

අදාල MCC සමාගම රජය සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව තඹ කැණීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය අරඹා තිබේ. ඒ සඳහා දුම්රිය මාර්ග, විදුලිබල සැපයුම් රැහැන් පද්ධති, ආරක්ෂාව තහවුරු කිරීම ආදී කාර්යයන් මේ වනවිට අරඹා ඇත. MCC සමාගම කැණීම්, සංරක්ෂණයන් හා ප්‍රතිස්ථාපනය සඳහා අනුමැතිය පළ කර තිබුණ ද එය කඩිනමින් සිදුකළ යුතු බව අවධාරණය කරන සෙයක් පෙනෙන්නට තිබේ. සමාගමේ මේ බලපෑම් තමන් මත අනවශ්‍ය පීඩනයක් නිර්මාණය කර ඇති බව බහුතර පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. දැනට කැණීම් කිරීම සඳහා සැලසුම් කර ඇති ස්ථාන දොළහ ඉක්මවා නොයන ලෙසට අදාල සමාගම තමන් දැනුවත් කර ඇතැයි පුරාවිද්‍යාඥයෝ පවසති. කොතරම් බලපෑම් එල්ල වුවද පුරාවිද්‍යා මූලුධර්ම අභිබවා ක්‍රියා කළ නොහැකි බව ද ඔවුහු කියා සිටිති. එසේ නොමැති ව අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමෙන් තමන් ද මංකොල්ලකරුවන්ගේ, පුරාවස්තු සොරුන්ගේ ගණයට ඇද වැටෙන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. ඊට අමතරව පොදුවේ 'මෙස් අයිනාක්' ඉතා සුරක්ෂිත භූමියක් නොවේ. ඇෆ්ගනිස්තානයේ ලෝගා ප්‍රාන්තය පකිස්ථානයේ සිට පැමිණෙන සටන්කාමී කැරලිකරුවන්ගේ මංසන්ධියකි. මේ වන විට මෙම ස්ථානයේ ආරක්ෂාවට ඇෆ්ගනිස්ථාන රජය විසින් 1500 ක පොලිස් බල ඇණියක් යොදවා ඇත. ස්වාභාවිකව සිදුවී ඇති ඛාදනයන්ට අමතර ව, මෙස් අයිනාක් හි පොලව මතුපිට ඇති පුරාවස්තූන් විවිධ අවස්ථාවල මූලධර්මවාදී නොමිනිස් ප්‍රහාරයන්ට ලක්ව විනාශයට පත්ව ඇත.

මෙස් අයිනාක් පිළිබඳ කතාව එතෙකින් හමාර කළ නොහැක. මක්නිසා ද යත්, මෙස් අයිනාක් ඓතිහාසික සේද මාවතේ තවත් සංධිස්ථානයක් පමණක් නොවන අතර, එය මානව ශිෂ්ඨාචාරයේ සුන්දර, සරල, ස්වයංපෝෂිත අතීතයත්, පශ්චාත් නව්‍ය, නව ලිබරල්වාදී හා අධිරාජ්‍යවාදී වර්තමානයත් දෛවෝපගත ලෙස මුනගස්වනු ලබයි. බෞද්ධයන් ලෙස ලෝකයේ ඕනෑම රටක බෞද්ධ අනන්‍යතාවට පහර වදින විට අපට රිදේ. එහෙත්, ඇෆ්ගනිස්ථානය පීඩා විඳින ආන්තික දිළිඳුකම ඉදිරියේ, මෙම පුරාවස්තු නිසි පරිදි සංරක්ෂණය කර, තඹ කැණීම් සිදුකිරීම යුක්ති යුක්ත නොවේදැයි යමෙකුට තර්ක කිරීමට පුලුවන. ඒ සඳහා MCC සමාගමේ උනන්දුව නූතන වාණිජවාදී සංස්කෘතියේ තවත් පැතිකඩක් ප්‍රදර්ශනය කරයි. ලොව විශාලතම බුදු පිළිම ලෙස බාමියන් බුදු පිළිම සලකනු ලැබූව ද ක්‍රි.ව. 8 වන සියවසේ චීනයේ ඉදිකරන ලද සුප්‍රසිද්ධ ලෙෂාන් බුද්ධ ප්‍රතිමාව ලොව විශාලත ම බුදු පිළිමය වේ. එහෙත් එය හිදි පිළිමයකි. එහෙයින් බාමියන් පිළිම ලෝකයේ තිබූ උසැතිම හිටි පිළිම විය. බාමියන් පිළිම විනාශ කිරීම හෙළා දුටු චීනය ඊට ප්‍රතිචාර දැක්වූයේ ලොව විශාලතම හිටි පිළිමය චීනයේ SPRING TEMPLE හි ඉදිකිරීමෙනි. එය අඩි 420 ක් උසැති දැවැන්ත පිළිමයකි. එහෙත් අද මෙස් අයිනාක් හි තඹ කැණීම් සදහා සුප්‍රසිද්ධ චීන සමාගමක් ම ඉදිරිපත් වීම එක් අතකින් දෛවෝපගත ය.

මෙස් අයිනාක් පිළිබඳව ලෝක ජනමතය කැලඹීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් වූයේ චිකාගෝ හි NORTH WESTERN විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය, සිනමාවේදී බ්‍රෙන්ට් හොෆ්මන් මෙම සුවිශේෂී පුරාවිද්‍යාත්මක භූමිය ඉදිරියේ ඇති අභියෝග පිළිබදව වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමත් සමඟ ම ය. අද වන විට මෙම බෞද්ධ පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරගැනීම සඳහා අන්තර්ජාල ප්‍රජාවන් සාමාන්‍යයෙන් සිදුකරන ජනප්‍රිය අන්තර්ජාල පෙත්සමක් අත්සන්කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබේ. MCC සමාගම වසර තුනක කාලයක් ප්‍රදානය කර තිබියදීත්, යෝජිත තඹ ආකර කැණීම්වලට එරෙහි ජනමතයක් නිර්මාණය කිරීම, අමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර චීනය සමඟ නිරත සීතල යුද්ධයේ ප්‍රකාශනයක් බව ඇතමෙක් අර්ථකතනය කරති. එහෙයින් 'මෙස් අයිනාක්' ගෝලීය දේශපාලන බල අරගලය හා සම්බන්ධ වී තිබේ. මෙම සංවාදය පිළිබඳ අදහස් දක්වන ඇතැම් විද්වතෙක් ඉදිරි යෝජිත වසර තුන තුළ කැණීම්, ප්‍රතිස්ථාපනයන් හා සංරක්ෂණයන් අවසන් කළ නොහැක්කේ නම්, තඹ කැණීමේ ක්‍රියාවලිය හා ඒකාබද්ධව පුරාවිද්‍යා ගවේෂණ, කැණීම් සිදුකරමින් නව ආර්ථික, සංස්කෘතික ආකෘතියක් අත්හදා බැලීමට ඇති ඉඩකඩ පිළිබඳව වඩාත් සුබවාදීව විශ්වාසය පලකරති.

එහෙත් බෞද්ධ අනන්‍යතාව, නිරවද්‍ය ඉතිහාසය ගැන උනන්දු වන සීමිත පිරිසකගේ හෝ අවධානයට පාත්‍ර විය යුතු කාරණයක් තිබේ. මේ පුරාවිද්‍යා කැණීම් සිදුකරන කණ්ඩායම් හා සම්බන්ධ වී කටයුතු කිරීමට චීනය, ජපානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව හා තායිලන්තය ආදී බෞද්ධ රටවල එකදු නියෝජිතයකු හෝ පත්කර නැත. එහෙයින් මේ කැණීම් පදනම් කරගෙන මතු කරන්නා වූ ඉතිහාසයේ කතාන්දරය ලියනු ලබන්නේ දැනට ඊට සෘජුව ම සම්බන්ධ අමෙරිකාවත්, ප්‍රංශයත්, ඇෆ්ගන්ස්තානයත් විසිනි. මේ වන විටත් අපේ ඉතිහාසය, දේශීය තාක්ෂණය, දර්ශනය බටහිර න්‍යායචාරීන්ගේ වරනැගීම් අනූව අපට කියැවීමට සිදුව ඇති වාතාවරණයක් තුළ, මෙබඳු පුරාවිද්‍යාත්මක සාධක ආශ්‍රයෙන් අත්‍යන්තයෙන් ඔවුන් ගොඩනගන කතා පිළිබද අපි වෙසෙසින් සැලකිලිමත් විය යුතුය. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම සිද්ධාර්ථ කුමාරයා දේවත්වයෙන් පිදීමේ හා ඇදහීමේ සම්ප්‍රධායක් තිබූ බව තහවුරුවන පිළිම වැනි සාධක මෙම භූමියෙන් ලැබී ඇතැයි ඉදිරිපත් වී ඇති මතය ඊට උදාහරණයකි.

මෙම ලිපිය කෙටුම්පත් කරමින් සිටිය දී අප විශ්ව විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ විශේෂ ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වීමට ශ්‍රේෂ්ඨ ඉන්දීය ඉතිහාසඥවරිය වන මහාචාර්ය රොමිලා තාපර් පැමිණියා ය. මම ඇය මුණගැසුනෙමි. ඒ මෙස් අයිනාක් ගැන විමසීමට ය. ඇය ඉඳුරාම කියා සිටියේ, පුරාවිද්‍යාත්මක සාධක ආශ්‍රිත කැණීම්, ප්‍රතිස්ථාපනයන්, සංරක්ෂණයන් නිසි පරිදි විධිමත්ව සිදුකර අවසන් කිරීමෙන් අනතුරුව පමණක් තඹ ආකරයේ කැණීම් සිදුකළ යුතු බව ය. ඒ සදහා ඇෆ්ගනිස්තාන රජයට උපදේශාත්මක මග පෙන්වීමක් කරන සීමිත පිරිස අතරේ තමා ද සිටින බව ඇය කීවා ය. බෞද්ධ උරුමය, අනන්‍යතාව ගැන විද්වත් එහෙත් හෘදයාංගම විග්‍රහයන්හි අප නියැලෙන්නේ වෙනත් කිසිදු අපේක්ෂාවක් පෙරදැරි කරගෙන නොවේ. "සකල ලෝකවාසී බෞද්ධයනි අවදිවවු.." යන සටන්පාඨය හුදු හරසුන්, බොල් සටන්පාඨයක් ලෙස යෝජනා කරනු වෙනුවට එය හෘදයාංගම ශික්ෂාවක්, ගැඹුරු ප්‍රතිඥාවක් බවට පත්කරලීම සඳහා ය. ලොව විශාලතම ශෛලමය සමාධි බුදු පිළිමය නෙලීමේ ඓතිහාසික කටයුත්ත සඳහා දැනට දශකයක් තිස්සේ දිවි දෙවෙනි කොට වෙහෙස වෙන කුරුණෑගල, රම්බොඩගල්ල, මොනරාගල විහාරස්ථානයේ විහාරාධිපති අපේ අමරමෝලි නායක ස්වාමීන් වහන්සේ පසුගිය ජූලි මාසයේ ලංකාවේදී මට මුණගැසුණු විටෙක, ඒ දැවැන්ත පිළිමය නෙලීමේ කටයුත්තේ මූලාරම්භය, බාමියන් පිළිම විනාශ කිරීමේ කම්පනයෙන් පසු කුඩා දරුවකු තුළ උපන් අදහසක් බව කියා සිටි සේක. මෙම විවරණයේ අරමුණ එබඳු සැබෑ බෞද්ධ දරුවන්ගෙන් සමන්විත අනාගත පරපුරක් බිහිකර ගැනීම ය. එහෙත් මෙම ලිපිය කියවන තලේබාන්වරයෙකු හෝ වෙනත් ප්‍රති-විකල්ප මතධාරියකු, විදේශ වල බෞද්ධ උරුමයන් ගැන මෙතරම් කැක්කුමක් ඇති තමුන්නාන්සෙලාගේ රටේ ජාතික කෞතුකාගාරයක තැන්පත් කර ඇති කඩුවක්වත් රැකගත නොහැක්කේ ඇයි? සිංහල ජන විනය හා ශිෂ්ඨාචාරය පරිවර්තනයකට ලක් කල මහින්දාගමනය සිදු වූ මිහින්තලා පුදබිම ඉදිරියේ කොරවක් ගලත් ගලවාගෙන සෙල් ලිපියත් සුනුවිසුණු කර දැමීමට තරම් බොදු උරුමය ගැන ඇති ගෞරවය ප්‍රබල වෙලා නේ දැයි, අම්පාර, ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මොට්ටයාගල බෞද්ධ පුරාවිද්‍යාත්මක භූමියක් ඩෝසර් කිරීමට එරෙහිව එම ප්‍රදේශයේ දුප්පත් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා විරෝධතාව දැක්වීමට අමතරව, තමුන්නාන්සේලාගේ රටේ උත්තරීතර, ත්‍රෛනිකායික සංඝ නායකත්වය රටේ පාලකයන්ට ඒ ගැන යම් වැදගත් අවධාරණය කිරීමක් හෝ යටත් පිරිසෙයින් පුවත්පත් නිවේදනයක් හෝ නිකුත් කළාදැයි මගෙන් ප්‍රශ්න කලහොත් මට කට උත්තර නැතිවනු නොඅනුනමාන ය. එහෙත් අපේ රටේ ඇතැම් මාධ්‍ය ඉතාලියේ, එංගලන්තයේ පන්සල් වල කඨින පිංකම්, උපන්දින සාද, පිං පෙට්ටි සොරකම් කිරීම් ආදියේ ලස්සන ලස්සන ඡායාරූප හා ප්‍රවෘත්ති පළ කර ලෝකයේ බෞද්ධ අනන්‍යතාවේ චිරස්ථිතිය සඳහා කැප වී සිටින බව නම් කීමට මට පුලුවන් වනු ඇත.

-2012 නොවැම්බර් මස 21 වන බදාදා දිවයින පුවත්පතේ පළ වූ ලිපියකි.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews