රෝගියා පමණක් නොව ඔහු ආශ්‍රිත සමාජ වටපිටාවද දැඩි පීඩාවට ලක් කරන රෝගයක් ලෙස අංශභාගය හඳුන්වා දිය හැක. මිනිස් සිරුරේ පාලක මධ්‍යස්ථානය වන මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රයෙන් හට ගන්නා රුධිර කැටි සහ රුධිර නාලිකා අවරෝධයන් නිසා ඇතිවන අංශභාගයට හේතුවන කායික හා මානසික හේතු බොහෝයි.
වාර්ෂිකව ලෝ පුරා මිලියන 15ක් ජනයා අංශභාගයට ලක්වන අතර මිලියන පහක් පමණ ඉන් මිය යන බවද වාර්තා වෙයි. අංශභාගය නිසා ඔත්පලව
සිටිනා පිරිස නිසා තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බලවත් මානසික පීඩනයෙන් දිවි ගෙවයි. එබැවින් සැලකිය යුතු සමාජ ප්‍රශ්නයක් බවට අංශභාගය පත් වෙමින් තිබෙනා බව නොකිවමනාය.අංශභාග රෝගයට හේතු ඊට අවැසි ආයුර්වේද චිකිත්සක ක්‍රම පිළිබඳ විමසා බලනා මේ ලිපිය මහරගම නාවින්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ආයුර්වේද පර්යේෂණාගාරයේ වෛද්‍ය රුවිනි පී්‍රතිකා මෙන්ඩිස් මහත්මිය හා කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන් ලියවෙයි.ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අංශභාගය පක්ෂාගාතය යනුවෙන් හඳුන්වයි. ශරීරයේ අංශයක් අප්‍රාණික වීම මෙහි මූලික ලක්ෂණය වෙයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලධර්මයන්ට අනුව අංශභාගයේ ප්‍රභේද හතරක් දැක්වෙයි. ඒ ඒකාංගගාතය, (එක් අතක් හෝ කකුලක් පණ නැතිවීම) අර්ධාංගගාතය (මූණ, අත කකුල ඇතුළු අංශයක් අප්‍රාණික වීම) අධරාංගගාතය (දෙකකුල් පමණක් පණ නැති වීම) සර්වාංගගාතය (මුළු සිරුරම පණ නැති වීම) යනුවෙනි.
මේ සෑම ආකාරයකම අංශභාග තත්ත්වයටම මුල් වෙනුයේ මස්තිෂ්කය (මොළය) ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන්ය. මෙම රෝගී තත්ත්වයන් හිදී බොහෝ විට සිදුවනුයේ මොළය අභ්‍යන්තරයේ ඇති සියුම් රුධිර නාලවල ලේ කැටියක් සිරවීමය. ඒ ආකාරයෙන් ලේ කැටි සිරවීම නිසා ඇතිවන අවහිරයෙන් රුධිර ගමනා ගමනය අඩාල වී මොළයේ සියුම් ෙසෙල විනාශව යයි. තවද මොළයට රුධිරය ගෙන යන රුධිර නාල ආශ්‍රිතව ඇතිවන අවහිරතාවයන් සහ මොළයේ රුධිර පීඩනය ඉහළ ගොස් අභ්‍යන්තරයේ සියුම් රුධිර නාල පිපිරීමට ලක්වීමද අංශභාගයට හේතු වෙයි.
මොළයේ අභ්‍යන්තරයේ රුධිර කැටියක් ඇතිවීමට වාත කෝපකාරී බව ප්‍රධාන වෙයි. ඊට අමතරව මල මුත්‍ර කිවිසුම් ආදී වේග ධාරණය සහ ධාතුන් ක්ෂීන කර සෝතස් මාර්ග අවරෝධ වීමද අංශ භාගය ඇතිකිරීමට හේතු වෙයි. පිත් සහ කය දොස්ද අංශභාග රෝගයට ඇතැම් විට හේතු වෙයි. ඊට අමතරව කුසගිනි ඇති අවස්ථාවේ ආහාර නොගැනීම, අධික අව්වැසිවලට ලක්වීම, දැඩි මානසික ආතතිය, නිතර ශෝකවීම, රිය අනතුරු, යම් උසකින් ඇද වැටීම වැනි කරුණු කාරණා ගණනාවක් අංශභාගයට හේතු වෙයි.
අංශභාගය ඇතිවීමට හේතුවන වෙනත් රෝග ද ගණනාවක් දැකගත හැක. ඒ අතරින් අධික රුධිර පීඩනය මුල්තැනක් ගනී. විශේෂයෙන් මොළය ආශ්‍රිතව සිදුවන රුධිර නාල පිපිරීම්වලට ප්‍රධාන හේතුව වනුයේ අධික රුධිර පීඩනය වන බැවින් එම රෝග තත්ත්වයෙන් පෙළෙනා පුද්ගලයන් හට අංශභාගය වැළඳීමේ වැඩි අවධානයක් ඇත. කොලොස්ටරෝල් සහ දියවැඩියාවද ඔබ අංශභාග රෝගියෙකු කරන්නට ඉවහල් වෙයි.
අංශභාගය එකසැනින් වැළඳෙන රෝගයක් ලෙස හඳුන්වා දීම මුළුමනින්ම නිවැරදි නොවේ. බොහෝ අවස්ථාවලදී එහි පූර්ව ලක්ෂණ දැකගත හැක. එහෙත් කලබලකාරී දිවි පැවැත්ම නිසා බොහෝ දෙනෙකු එකී ලක්ෂණ නොතකා හරියි. එමෙන්ම නිශ්චිත සුදුසුකම් සපුරා නැති වෛද්‍යවරුන් වෙත යෑම නිසාද රෝග ලක්ෂණ හඳුනා ගැනීම පමාවීම නිසාද ඇතමුන් අංශභාගයට ලක්වෙයි.
නිතර හිසේ ඇතිවන කරකැවිල්ල, හිසේ බර ගතිය සහ ඇතිවී නැතිවී යන ක්ලාන්ත ගතිය ඇතැම් විට අංශභාගයේ මූලික ලක්ෂණ විය හැක. එමෙන්ම ඇස් රතුවීම, ඇස් කුඩාවී පෙනීම අඩුවීම, නිතර කන්වල හෝ ගානා ශබ්දය ඇතිවීම, මාංශ පේශීන්වල ඇතිවන ගැස්ම, අත්පා හිරි වැටීම, ශරීර වර්ණය වෙනස් වීම ශාරීරික දුබල බව, කල්පනාව අඩුවීම, ඇවිදින විට විසිවෙන ලක්ෂණ ඇතිවීම, නිතර නිදිමත වැනි රෝග ලක්ෂණ අංශභාගයේ පූර්ව ලක්ෂණ විය හැක. විශේෂයෙන්ම ඔබ අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝගයන් ගෙන් පෙළෙන්නේ නම් රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. මෙවැනි පූර්ව ලක්ෂණ පිළිබඳ විමසිලිමත්ව හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම මගින් රුධිර කැටි ඇතිවීමෙන් සිදුවන අංශභාග තත්ත්වය අවම කරගත හැක.
අංශභාග රෝගයට ලක්වූවන්ට තනිව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යෑමට නොහැක. එවැනි රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර ලැබිමට ගෙන යෑම පවුලේ සාමාජිකයන්ගේ වගකීම වෙයි. අන් ඕනෑම රෝගයකට මෙන් අංශභාග රෝගයක මුල් අවස්ථාවේදීම නිසි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දීම මගින් සිදුව කළ හැක. එහෙත් සමාජයේ මුල් බැස ඇති වැරදි මතය අනුව අංශභාග රෝගීන් ප්‍රථමව වෙනත් වෛද්‍ය ක්‍රම වෙත රැගෙන ගොස් සති කිහිපයක් එකී ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ආයුර්වේද ප්‍රතිකාර සඳහා රැගෙන ඒමට බොහෝ දෙනකු පුරුදුව ඇත.
මෙම ක්‍රමය රෝගියාට කරනා බලවත් වූ අසාධාරණයකි. රෝග ලක්ෂණ පහළ වූ පසු හැකි විගස (වෙනත් ප්‍රතිකාර ලබා නොදී) ආයුර්වේද ප්‍රතිකාර වෙත රෝගියා යොමුකිරීම මගින් කිසිදු සලකුණක් ඉතිරි නොවන පරිදි අංශභාගය සුවකළ හැක. අංශභාග රෝගියකු කල්ගතවී ප්‍රතිකාර කරා යොමුකිරීම නිසා මොළයේ අභ්‍යන්තර රුධිර වහනයන් සහ රුධිර කැටි සිරවීම් නිසා සිදුවන මස්තිෂ්ක ෙසෙල විනාශව යෑම වළකා ගත නොහැකි වෙයි. මෙනිසා අංශභාග රෝගය සුව වුවද යම් අප්‍රාණික බවක් (අවම වශයෙන් ඇඟිල්ලක හෝ) ඉතිරිවිය හැක. එහෙත් මුල් අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනා රෝගීන් සම්පූර්ණයෙන් සුව කළ හැක.
අංශභාග රෝගය සඳහා දේශීය වෛද්‍ය චිකිත්සාවේ ප්‍රතිකාර දෙආකාරයකින් ලබා දෙයි. ඒ බාහිර ප්‍රතිකාර සහ අභ්‍යන්තර ප්‍රතිකාර යනුවෙනි. අංශභාග රෝගියෙකුවූ මුල් අවස්ථාවේදීම ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියහොත් බොහෝ විට මහාදෂ අනුපානයෙන් චන්ද්‍ර කල්කය ලබාදීම සිදුකරයි. එය අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රමයට හොඳ උදාහරණයකි. බාහිර ප්‍රතිකාර ක්‍රම යටතේ තෙල් ගෑම, ඖෂධ පොට්ටනිවලින් තැවීම, ශිරොදරා, ශිරෝ වස්ති වැනි ක්‍රමද නිසි අවස්ථාවේදී සිදුකරන පංචකර්ම වැනි චිකිත්සක ක්‍රමද අංශභාග රෝගයට ප්‍රතිකාර ලෙස සිදුකරනු ලබයි.
අංශභාග රෝගයට ප්‍රතිකාර ලබාගැනීමේදී බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා දේශීය වෛද්‍ය ක්‍රමයට වැඩි නැඹුරුවක් දක්නට ලැබේ. මෙය හුදෙක් පාරම්පරික විශ්වාසය මත සිදුවන්නක් නොව දීර්ඝකාලීනව රෝගීන් දහස් ගණනක් නිට්ටාවට සුවපත් කිරීම නිසා ගොඩනැගුන සායනික විශ්වාසය මත පදනම් වූ කරුණකි. සැබැවින්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ අංශභාගය සඳහා ඇත්තේ ඉතා දියුණු ප්‍රතිකාර පන්තියකි. මෙහිදී කායිකව ලබා දෙන තෛල සම්බාහනය වැනි වෛද්‍ය ක්‍රම මගින් කායික සුවය මෙන්ම මානසික සුවයද රෝගීනට ලැබේ. බටහිර වෛද්‍ය විද්‍යාවට සම්බාහන චිකිත්සාව ඇතුල්වීමට පෙර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ එය අන්තර්ගතවී තිබුණි. එම නිසා අක්‍රිය අවයව යළිත් සක්‍රීය කිරීමට එකී සම්බාහන චිකිත්සාව ආයුර්වේදයේ යොදා ගන්නා ආකාරය අතිශයින් ප්‍රායෝගිකය.
අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙනා අංශභාග රෝගීන්හට එම රෝග සඳහාද ප්‍රතිකාර ලබාදීමට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට හැකියාව ඇත. නිසිලෙස සිදුකෙරෙනා ආයුර්වේද ප්‍රතිකාරයන්ට අංශභාග රෝගීන්ට ඇවැසි පුනරුත්ථාපන ක්‍රම පවා අඩංගුය. ඊට අමතරව අංශභාග රෝගියෙකු රැකබලාගන්නා ක්‍රම පිළිබඳ පවුලේ සාමාජිකයන් දැනුවත් කිරීමද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අඩංගු වෙයි. අංශභාග රෝගය කිසිදු ලක්ෂණයක් ඉතිරි නොකර මුළුමනින් සුවකිරීමට ඇති හැකියාවද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙත රෝගීන් එක් රැස් කිරීමට හේතු වෙයි.
බටහිර වෙදකමේ රුධිර කැටි ඉවත් කිරීමට මොළය තුළ සැත්කම් පවා සිදුකරයි. එහෙත් බොහෝ අවස්ථාවල මෙවැනි සැත්කම් මගින් අපේක්ෂිත සුවය නොලැබෙන අවස්ථා ඇත. එහෙත් ආයුර්වේද ක්‍රමයට අනුව ශරීරය මතු පිට ගල්වන ඔසු සහ ශරීර අභ්‍යන්තරයට ලබා දෙන අරිෂ්ට, ගුලි, කල්ක, කසාය වැනි දේ මගින් කිසිදු පසු ආබාධයකින් තොරව අංශභාගය සුවකළ හැක. මේ කරුණු පිළිබඳ සමාජයේ පැතිර ඇති පුළුල් විශ්වාසය පරම්පරා ගණනක් පුරා තහවුරු වීම නිසා අංශභාග චිකිත්සාවේදී බටහිර වෙදකමට වඩා වැඩි නැඹුරුවක් දේශීය වෛද්‍ය ක්‍රමයට ඇත.
රෝගියා පමණක් නොව මුළු පවුලම පීඩාවට පත්කරනා අංශභාග රෝගයෙන් මිදීමට ඔබේ දිවි පැවැත්ම සහ ආහාර රටාවට විශාල මෙහෙයක් කළ හැක. හැකි සෑමවිටම මානසික ආතතිතයෙන් තොරව දිවි ගෙවීම, නිසි පරිදි ශාරීරික ව්‍යායාම්වල යෙදීම, මළමුත්‍ර, කිවිසුම් වේග පාලනය නොකිරීම මෙම රෝගයෙන් ආරක්ෂාවීමට හේතු වෙයි. සීනි, ලුණු සහ තෙල් අඩංගු ආහාර අඩුකිරීම, ස්ථුලභාවයට හේතුවන පිටි සහිත ආහාරවලින් වැළකීම, කඩල, කොල්ලු, රතු සහල් වැනි ධාන්‍යද රතු තම්පලා, පුහුල්, තිබ්බටු වැනි එළවළු හැකිතාක් නැවුම්ව ආහාරයට ගැනීම ද, ගස්ලබු, උගුරැස්ස, නෙල්ලි වැනි පලතුරු ආහාරයට ගැනීමද රූක්ෂ ආහාර (වියළි ආහාර) පරිභෝජනය අවම කිරීම යන කරුණු ද ඔබ අංශභාග රෝගයෙන් ආරක්ෂා කරයි.
අංශභාග රෝගයේ මූලික ලක්ෂණ ඇතිවූ වහාම සුදුසුකම් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත රෝගියා ගෙනයෑම කඩිනම් සුවයට හේතු වනු ඇත.
උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙන්.