ශ්‍රී ලංකාවේ ජනගහණය තුළ රෝගී වන ජනතාවගෙන් 60%ක් බෝ නොවෙන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බව සෞඛ්‍ය ඇමතිතුමා පසුගිය දිනක ප්‍රකාශ කළේය. රට තුළ පිළිකා රෝගය ඉතා ඉහළ අගයක් වාර්තා කරන අතර රුධිර නාල අවහිරතා සම්බන්ධ හෘද රෝග, අධිරුධිර පීඩනය හා මධුමේහය සෑම පුරවැසියෙකුගේම සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. එය ශීඝ්‍රයෙන් වැඩිහිටි පරපුර තුළ ඉහළ යන අතර ළමා පරපුරද මේ සඳහා ශීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. ශ්‍රී ලංකාව තුළ ළමා පිළිකා හා මධුමේහයද අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවතී. මීට අමතරව වකුගඩු රෝගයද රටේ සමහර ප්‍රදේශ ජනශූන්‍ය වීම දක්වා ඉහළ යන තත්ත්වයක පවතින බව වාර්තා වේ.
මේ සියල්ල සිදු වන්නේ වසර පනහකට අධික කාලයක් තුළ ආහාර සංස්කෘතිය සම්බන්ධව මෙරට කෘෂිකර්මාන්ත කටයුතුවලට හා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට බටහිර න්‍යාය අනුව ක්‍රියා කිරීමට බහුජාතික සමාගම්වලින් ලැබුණු ඍජු හා වක්‍ර බලපෑම් මත බව දැන් හෙළිවෙමින් ඇත. කෘෂිකර්මයේදී කෘතීම පොහොර හා කෘෂි රසායනද, ආහාර පරිභෝජන රටාවේදී කර්මාන්තශාලාවල සාදන ආහාරද ඒ සඳහා භාවිතා කරන අනේකවිධ වූ කෘතීම ආහාර අමුද්‍රව්‍ය හා රසකාරක ඇතුළු රසායනික සංඝටකද මේ සඳහා ඍජුව වගකිව යුතු බවට සාධක ඕනෑවටත් වඩා ඇත.
මේ ආහාර, බහුජාතික සමාගම් විසින් සපයන කෙටි ආහාර හා ලෝක ආහාර සංස්කෘතිය තුළ කල්තබා ගත හැකි කේක්, විස්කෝතු හා රසකැවිලි වල සිට ක්ෂණිකව සාදාගත හැකි ආහාර දක්වා අනේකවිධ ඊනියා ආහාරවලින් සමන්විත වන අතර අද වනවිට කඩ සාප්පුවල රාක්ක ඒවායින් පිරී පවතී.
මෙම ඊනියා ආහාර වැඩි මුදලක් දී සුපිරි වෙළඳසැලෙන් මිලදීගෙන උජාරුවෙන් එළියට එන මධ්‍යම පාන්තිකයා හෝ ඉහළ මධ්‍යම පාන්තිකයා අවසානයේ නවතින්නේ රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් කිරීටක ධමනි බද්ධ (Bypass) ශල්‍යකර්මයක් කිරීමෙනි.
මධුමේහයද හෘද රෝගද පෙරකල හඳුන්වන ලද්දේ පෝසතුන්ගේ රෝග ලෙසය. එයට හේතුව බොහෝවිට කිරි, මස්, බිත්තර හොඳ යැයි කියා අර්ථයෙන් ධර්මයෙන් සෞඛ්‍ය උපදේශන දෙන බටහිර වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අනුව හා සුද්දාගේ සංස්කෘතිය උතුම්කොට සැලකු බැරි බැරි ගානේ හැන්දෙන් ගෑරුප්පුවෙන් මස් ගාත් පිටින් බුදින, බටර් මාජරින් සමඟ පාන් කා කේක් පුඩිං කෑ අපේ කළු සුද්දන්ටය.
එහෙත් අද මධුමේහය, අධිරුධිර පීඩනය කොළඹ මුඩුක්කුවේ ජීවත් වන අය දක්වාත් රටේ මධ්‍යම පාන්තිකයාගේ සිට සියලු පහළ ස්තර දක්වාත් වසංගතයක් සේ ව්‍යාප්ත වී ඇත. රටේ කාර්යාලයක අවුරුදු 45ට වැඩි කීදෙනෙක් කිරීටක ධමනි බද්ධයට බඳුන්වී ඇත්ද? අවුරුදු 30ට වැඩි කීදෙනෙක් අධිරුධිර පීඩනයට හා මධුමේහයට බෙහෙත් ගන්නවාද? එමෙන්ම එම තත්ත්වයන් ක්‍රම ක්‍රමයෙන් වැඩිවනවා මිසක අඩු වී ඇත්ද?
මෙම තත්ත්වයට ඍජුවම වගකිව යුත්තේ පෙර කී ලෙස අපගේ ආහාර සංස්කෘතිය වේ. එහිදී පෙර කල අපට නොපුරුදු එදිනෙදා සාදා නොගන්නා වෙළඳපොලෙන් මිලදී ගන්නා ක්ෂණිකව ආහාරයක් ලෙස ගත හැකි හා කල්තබාගත හැකි ආහාර වර්ග මෙන්ම, එම ආහාර නිපදවීමේදී එක්කරන කෘතීම රසායනික ද්‍රව්‍ය හා නිෂ්පාදන ක්‍රමවේදවල අතුරුඵල මේ සඳහා ඍජුව වගකිව යුතු බවට විද්‍යාත්මකව ඔප්පු වී ඇත. කිරි හා තිරිඟු පිටි මූලික අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන මහා පරිමාණ වශයෙන් ආහාර නිෂ්පාදනය කර බෙදා හැරීමේදී එම ආහාරවල ප්‍රසන්න බව, කල්පැවැත්ම හා නැවුම් ආහාරයක ඇති ගුණාංග එලෙසම පවත්වා ගැනීම සඳහාත් රසකාරක ලෙසත් භාවිතා කරන අනේකවිධ කෘතීම රසායනික සංයෝග සියල්ලම අද වන විට මිනිසාගේ ජීවත්වීමේ අයිතිය උදුරාගන්නා තත්ත්වයට පත්වී ඇත.
මින් ඉහත වරින් වර මෙම ක්ෂේත්‍රයේ පාන්පිටි, මේද වර්ග හා කිරි ගැන කථා කළද මෙම කෙටි ලිපියෙන් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ඉතා භයානකම කෘතීම ආහාරයක් පිළිබඳවය. එනම් මාගරින් (margarine)හා ෂෝටෙනින් (shortening)ලෙස හඳුන්වන හයිඩ්‍රජනීකෘත එළවළු තෙල්වල විපාක පිළිබඳවය.
කිරි නිෂ්පාදනයේ අතිරික්තය කල්තබා ගැනීම සඳහා ඉතා ඈත අතීතයේ සිට භාවිතා කළ එක ප්‍රමුඛ ක්‍රමවේදයක් වන්නේ කිරිවල ඝන කොටසින් බටර් නිෂ්පාදනය කර ගැනීම විය. එය පෙරදිග මෙන්ම අපරදිග සංස්කෘතීන් සැමටම පොදු විය.
බටර් ඉතා ශක්තිජනක ආහාරයක් මෙන්ම සැලකිය යුතු කාලයක් කල්තබා ගත හැකි බැවින් බොහෝ අතීත යුද්ධවලදී සෙබලාගේ ආහාර සලාකයට බටර් අඩංගු විය. ඉතිහාසයේ සෑම මහා පරිමාණ යුද්ධයකදීම (බටහිර රටවල) බටර් සඳහා ඉල්ලුම ඉහළ ගිය අතර එය දුර්ලභ භාණ්ඩයක් බවට පත්විය. 1890 දශකයේදී ජර්මානු විද්‍යාඥයෙකු විසින් එළවළු තෙල් හයිඩ්‍රජනීකෘත කිරීමෙන් එම තෙල් කාමර උෂ්ණත්වයේදී බටර් වැනි ඝන ද්‍රව්‍යයක් බවට පත්කළ හැකි ක්‍රමවේදයක් සොයා ගත්තේය. මෙතැන් පටන් ලොව බොහෝ ආයතන මෙම හයිඩ්‍රජනීකෘත තෙල් කෘතීම බටර්වලට සමාන කිරීමට පර්යේෂණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එයට බටර්වලට සමාන ලෙස වර්ණ ගන්වා රසකාරකද ගල්වා බටර්වලට අනුකාරකයක් ලෙස මාගරින් නම් නව කෘතීම ආහාරයක් ලොවට හඳුන්වා දුනි. මෙම මාගරීන් බටර්වලට වඩා සෞඛ්‍යාරක්ෂිත යයි විද්‍යාඥයන් මගින්ම ප්‍රකාශ කරවා සමස්ත ලෝක බටර් වෙළඳපොලෙන් 80%කට වැඩි කොටසක් මාගරීන් මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට මේවා නිපදවූ බහුජාතික සමාගම් සමත් විය.
බටර්වල ඇති සංතෘප්ත මේද අම්ලවලින් ශරීරයේ මේදය තැන්පත් වීම වැඩිවීමත් ඒ මගින් ධමනි අවහිර වී කිරීටක ධමනි අවහිර වීමේ අවදානමත් බටර් පරිභෝජනයෙන් සිදුවන බවට ඊනියා පර්යේෂණ නිබන්ධන සිය දහස් ගණනින් බහුජාතික සමාගම්වල මුදල්වලින් යැපෙන ඊනියා විද්‍යාඥයන් මගින් ලොව පුරා ප්‍රචලිත කරන ලදී.
ඒ වන විටත් බහුජාතික සමාගම්වලින් නිපදවන තිරිඟු පිටි ආශ්‍රිත ආහාර Mcdonald, KFCහා වැනි ක්ෂණික ආහාරවලට හුරු වී ලෙඩ වී සිටි ජනතාවට මෙම මාගරීන් ගැන අසන්නට ලැබීම ඉමහත් අස්වැසිල්ලක් විය. එම තත්ත්වය තුළ මාගරීන් යනු බටහිර ආහාර ලැයිස්තුවේ නැතිවම බැරි සංඝටකයක් බවට පත්විණි. එමෙන්ම මාගරීන්වල ගුණාගුණ වශයෙන් එහි සංතෘප්ත මේද අම්ල හිඟ බවත් අසංතෘප්ත මේද අම්ල යම් තරමක් ඇති හෙයින් ඒවා සෞඛ්‍යාරක්ෂිත බවට 2000 වර්ෂය ආසන්න වන තෙක්ම බහුජාතික සමාගම් මත යැපෙන වෛද්‍යවරුන් හරහා තහවුරු කර සිටියේය. එහෙත් මාගරීන් භාවිතයෙන්ද ශීඝ්‍රයෙන් බෝ නොවන ලෙඩ රෝග ලොවම වසාගත් වසංගතයක් බවට පත්වී පැතිරෙනවා මිස අඩුවීමක් දක්නට නොවීය.
මෙම තත්ත්වය මත මෙම ප්‍රශ්නය දෙස වෙනත් කෝණයකින් බැලූ ජනහිතකාමී විද්‍යාඥයන් විසින් මාගරීන් යනු එහි සඳහන් ඊනියා ගුණයට වඩා බෙහෙවින්ම සෞඛ්‍යමය වශයෙන් අනතුරුදායක අංක එකේ කෘතීම ආහාරයක් බව සොයා ගත්තේය. අදවන විට එය ලොවේ බොහෝ විද්‍යාඥයන් විසින් තහවුරු කර ඇති අතර ඒ මත බොහෝ රටවල් මෙම ආහාර වර්ග තහනම් කිරීම හා පාලනය කිරීම සඳහා නීතී සම්පාදනය දක්වා ඉදිරියට ගොස් ඇත. එහෙත් සැමදාම කිර, මස්, බිත්තර ගුණදායක යැයි පැවසු අපේ බටහිර දොස්තරලා මේ ගැන දන්නේ නැත. ඔවුන් අදටත් ලෙඩකුට නිර්දේශ කරන්නේ ටෝස්ට් කරපු පාන් කෑල්ලකට මාගරීන් ටිකක් තවරා දීමටය. පොල් මිරිකා මිටිකිරි ඉවත් කර රොඩ්ඩ කෑමටය. බටර් ආහාර සලාකයෙන් අයින් කිරීමටය.
මාගරීන් හා මාරාන්තික ට්‍රාන්ස් ෆැට්.
අධිරුධිර පීඩනය හා ධමනිවල මේද තැන්පත් වීම (Atherosclerosis) ප්‍රධාන වශයෙන් Cholesterol තැන්පත් වීම යනුවෙන් හඳුන්වයි. එහිදී ප්‍රධාන වශයෙන් මෙම කොලෙස්ටරෝල් වර්ග දෙකකි.
1.ශරීරයට හිතකර කොලෙස්ටරෝල් (HDL - High Density Lipopprotein).
2.ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් (LDL - Low Density Lipoprotein).
යම් පුද්ගලයෙකුගේ රුධිරගත HDL අඩු වී LDL වැඩි නම් ඔහුට ධමනි සම්බන්ධ ගැටලුවන කිරීටක ධමනි අවහිරතාවයට බඳුන් විය හැකි බව ප්‍රබල මතය වේ. එම නිසා මෙම LDL ඉහළ දමන ආහාර ගැන වැඩිපුර සෙවීමටත් එසේ වීමට හේතුසාධකත් විද්‍යාඥයන් විසින් නිරන්තරවම පර්යේෂණවල යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ ආහාර වර්ග හිතකර හා අහිතකර ආහාර ලෙස වර්ග කෙරිණි. එහිදී ද මුලදී මේ පිළිබඳ අර්ථ දැක්වීම් බහුජාතික සමාගම් විසින් නිපදවන ආහාර ප්‍රචලිත කිරීම සඳහා යොදාගත් තර්ක වූහ. නමුත් අදවන විට මෙම ආහාර රටාවන් තුළ ඇති සෞඛ්‍යමය බලපෑමේ තීව්‍රතාවය මත සිදුකරන ලද ස්වාධීන පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම කෘතීම ආහාරවල සැබෑ තත්ත්වය එළිවෙමින් පවතී.
මේ තත්ත්වය තුළ නව අර්ථ දැක්වීම්වලින් පෙරකල ආහාරයට සුදුසු යැයි කී බොහෝ කෘතීම ආහාර නුසුදුසු ලෙස භාවිතයෙන් අයින්කළ ස්වාභාවික ආහාර හිතකර ලෙසද අර්ථ දැක්වීමට පටන්ගෙන ඇත. එමෙන්ම බටහිර තාක්ෂණයෙන් හෙම්බත් වූ බටහිර ජනයා ඔවුන්ගෙන් වියෝ වූ ආහාර රටාවන් නැවත ඇති කිරීම සඳහා වඩවඩා ස්වාභාවික ආහාර වෙත මාරු වීමට පෙළඹී ඇත.
මෙහිදී මේද වර්ගවල සංතෘප්ත මේද අම්ල අහිතකර යැයි පෙරකල සඳහන් කළද නව සොයාගැනීම්වලට අනුව කෙටි ද්‍රම සංතෘප්ත අම්ල අහිතකර නොවන බවට පර්යේෂණ මගින් ඔප්පුකොට ඇත. ඒ අනුව පොල්තෙල් කෙටි ද්‍රම සංතෘප්ත මේද අම්ල ඇති සෞඛ්‍යමය වශයෙන් ඉතා ගුණදායක ස්වාභාවික මේද වශයෙන් දැන් විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇත. මේද අම්ලවල හයිඩ්‍රජන් අණු කාබන් අණු සමග බද්ධ වීමේ ප්‍රධාන ක්‍රමවේද දෙකක් ඇත. එය ට්‍රාන්ස් (Trans) හා සිස් (Cis) යනුවෙනි. මෙය රසායනික වශයෙන් විස්තර කළහැකි වුවද මෙම පැහැදිලි කිරීමට එය එතරම් අවශ්‍ය නොවේ. සරල වශයෙන් Cis බන්ධන ඇත්තේ ස්වාභාවික ආහාරවල පමණි. Trans බන්ධන පිහිටන්නේ කෘතීම නිෂ්පාදනවල බව සොයාගෙන ඇත. ඒ හැරුණුකොට කෘතීම ආහාර තබා මස් පිණිස ඇතිකරන හරකුන්ගේ මාංශවලද යම් තරමක් Trans Fat තිබිය හැකිය.
Cis බන්ධන ඇති තෙල් හා මේද සෞඛ්‍යයට හිතකරය. එනම් අප මිනිස් ශරීරයේ මේදයන් තුළ ඇත්තේද මෙයට සමාන මේද බැවිනි. එහෙත් කෘතිමව නිෂ්පාදනය කරන ලද තෙල් හා මේදවල ඇති Trans බන්ධන සහිත තෙල් හා මේද ශරීරයට අහිතකර වේ.
මේවා Trans Fat යනුවෙන් කෙටි යෙදුමකින් හඳුන්වනු ලබයි. මෙම Trans Fat ධමනි බිත්තිවල ප්‍රදාහය ඇති කරන ද්‍රව්‍යයක් වේ. එම නිසා එම ප්‍රදාහය ඇති තැන්වල ඉතා කුඩා ලේ ගැලීම්ද එම තුවාල මත මේදය තැන්පත් වීමද ඉක්මන් කරයි. එම නිසා අවසානයේ ඇතරොස් ක්ලේරෝසිස් නොහොත් ධමනි අවහිරතාවය ඇති වීමට මූලික හේතුව බවට පත්වේ.
බොහෝ අසංතෘප්ත මේද අම්ල රත් කිරීමේදී එම තෙල් හා මේදවල ඇති, මේද අම්ලවල අඩංගු Cis බන්ධන Trans බන්ධන බවට පත්වේ. එම නිසා සෞඛ්‍යමය අවවාදය වන්නේ එක්වරක් බදින ලද තෙල් නැවත භාවිතයට නොගන්නා ලෙසටය. එහෙත් කෙටිද්‍රම සංතෘප්ත අම්ල සහිත පොල්තෙල් එසේ වන්නේ නැත. පොල්තෙල් නැවත නැවත බැදීම සඳහා භාවිතා කළ හැකි සෞඛ්‍යාරක්ෂිත මේදමය ආහාරයකි. මාගරීන් යනු කර්මාන්ත තුළ හයිඩ්‍රජනීකරණය කිරීමේදී සෑදෙන හයිඩ්‍රජන් බන්ධන සෞඛ්‍යයට අහිතකර Trans බන්ධන වේ. එමෙන්ම හයිඩ්‍රජනීකෘත මාගරීන් හා Shortening වැනි ද්‍රව්‍යවලින් බැදීමේදී හා රත් කිරීමේදී ඒ තුළ තව තවත් Trans Fat සෑදීමේ සම්භාවිතාවක් ඇති බව ඔප්පු වී ඇත.
එම නිසා ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල මෙන්ම බටහිර බොහෝ රටවල Trans Fat අඩංගුව 0.5ක වඩා අඩුවෙන් තිබිය යුතු බවට නීතී පනවා ඇත. එමෙන්ම සියලු නිමි ආහාරවල Trans Fat අඩංගු ප්‍රමාණය දවටනයේ පෙන්නුම් කළ යුතු බවට නීතී පනවා තිබේ. Trans Fat වල සෞඛ්‍යමය අවදානම 1996 සිට කථා කරන්නට පටන්ගෙන තිබුණද එය භාවිතය අඩු කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වුයේ 2006න් පසුව විය. එහෙත් ශ්‍රී ලංකාවේ අදවන තෙක් එය සාකච්ඡාවට ගෙන නැත. නමුත් හැන්ද ඩබල්කර ඉනිම ගහන්නට මාගරීන් දැමූ බත් කන කුඩා දරුවනුත් ක්‍රිකට් මැච් එක දිනන්නට විදුලි වේගයෙන් පන්දු යැවීමට හැකිවන්නට මාගරීන් ගෑ පාන් කෑ දරුවනුත් සහිත ඉතා ආකර්ශනීය වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ දී ඇත. ශ්‍රී ලංකාවේ අනාගත දරුවන් හෘද රෝගීන් වීමේ අවදානම අප සෞඛ්‍ය බලධාරීන්ට පේන්නේ නැත. නැතහොත් ඒවා ගැන සොයන්නට යොදන කාලය චැනල් පාරට උදැල්ල දමා ගැනීමක් යයි සිතනවාද විය හැක.
මාගරීන් හා Shortening අමුද්‍රව්‍ය ලෙස උපයෝගී කරගෙන සාදන සියලුම ආහාරවල මෙම Trans Fat අවදානම ඇත. උදාහරණ වශයෙන් පාන්, බනිස්, ඩෝනට්, ෆ්‍රෙන්ච් ෆ්‍රයි, කේක් වර්ග, කුකීස් වර්ග, බිස්කට් වර්ග, කිරි නොවන කිරි ආහාර (Nondairy Ice Cream), විප් ක්‍රීම්, Pie වර්ග හා මාගරීන් (Partially hydrogenated oil) වර්ග භාවිතා කර සාදන Fried Rice, Noodles වර්ග ප්‍රධාන වේ.
එම නිසා අනාගත පරපුර මෙම උවදුරෙන් බේරා ගැනීමට නම් වෙළඳපොළේ ඇති මේ ආහාරවලින් ඈත්වීමට ජනතාව දැනුවත් කළ යුතුය. කඩෙන් ගන්නා කේක් වර්ග වෙනුවට කේක් අවශ්‍ය නම් බටර් දමා කේක් සෑදීමට නැවත යා යුතුය. අද වෙළඳපොලේ කේක් කිලෝ එක රුපියල් 450කට පමණ ගත හැක. එහෙත් එම කේක් කෑ හැක්කේ මිනිස්සුන්ට පමණි. ඒවා බොහෝ බල්ලෝද නොකති. මා පෞද්ගලිකව දන්නා ගෙදරක ඇති කරන හාවකු කේක් කෑමට ඉතා ප්‍රිය කරයි. එහෙත් එය බටර් දමා ගෙදර සාදන ඒවා විය යුතුය. නැතහොත් දන්නා හෝටලයකින් ගන්නා බටර් දැමූ විශේෂ කේක් වර්ගයක් විය යුතුය. අනෙක් සියලුම වෙළඳපොළේ කේක් ගිහින් දුන්නද එම සතා ඒවා ප්‍රතික්ෂේප කරයි. කරුමයක මහත සතුන්ට ඉව තිබුණද හොඳ නරක තේරීමට නොදියුණු මිනිසාට ඒ වරම නැත. බිස්කට් වර්ග, මෘදු කේක් වර්ග, ඩෝනට් වැනි ආහාර භාවිතයෙන් ඈත් කළ යුතුය. භාවිතය ගන්නේ නම් එහි ඇති Trans Fat ප්‍රමාණය ගැන සැළකිලිමත් විය යුතුය. වසංගතයක් බවට පත්වී ඇති Fried Rice අනුභවයෙන් ඈත් විය යුතුය. අද සමාජයේ පාන් හා බනිස් වැනි ආහාර නිපදවීමේදී ගන්නා “Beehive”, “Hico” නැමැති මාගරීන් වැනි Shortening වර්ගය ඉතා අධික Trans Fat සහිත ද්‍රව්‍යයකි. පාන්වල මෙලෙක්බව හා කල්තබා ගැනීමට මේවා භාවිතා කරයි. එම නිසා පාන් බනිස් වලින් හැකිතාක් ඈත්වී සිටිය යුතුය.
Fried Rice මෙන්ම මෙම තෙල්වර්ග යොදා රත්කර සාදන කොත්තුරොටි ද මේ අර්ථයෙන් ගත්කල Trans Fat සහිත සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර වේ. පොල්තෙල් හැරුනුකොට අද වෙළඳපොළේ භාවිතා කරන සියලුම ආනයනික තෙල් භාවිතාකර ගැඹුරු තෙලේ බදින ලද සියලු ආහාරවල Trans Fat ඉතා ඉහළ අගයක් තිබිය හැක. එම නිසා සියලු ආහාර බැදීමේදී ආනයනික එළවළු තෙල්, ෆාම් තෙල්, සෝයා තෙල්, කැනෝලා තෙල්, සන්ෆලවර් තෙල් වෙනුවට පොල්තෙල් භාවිතයට ජනතාව දැනුවත් කළ යුතුය. ඉහත ලැයිස්තුව කියන විට අද දවසේ ජීවත් වන අයෙකුට මේවා නැතිව මොනවා කන්නද යයි සිතිය හැක. එසේ සිතිය හැක්කේ සමාගම් සාදා දෙන ආහාර හා ආහාර වට්ටෝරු මත යැපෙන පුද්ගලයෙකුට පමණි. එහෙත් ආහාර විවිධත්වයෙන් අනූන වූ මේ දිවයින තුළ සෞඛ්‍යාරක්ෂිතව කෑමට යමක් සොයා ගැනීමට නොහැකි යයි යමෙකු කියන්නේ නම් ඔහු මෙරට කරුමක්කරුවෙකු මිස උරුමක්කරුවෙකු නොවේ.
එම නිසා හැකිතාක් දුරට නිවසේ සාදන ස්වාභාවික ආහාර වෙත යොමු විය යුතුය.Factory Food, මාගරීන් වැනි කෘතීම ආහාරවලින් ඈත්වී තම ආහාර රටාව හා සංස්කෘතිය නැවතත් පෙරකල ලොව දිග්විජය කළ හෙළයාගේ ආහාර සංස්කෘතිය වෙත ගෙන යාමට කටයුතු කළ යුතුමය. එසේ කළහොත් පමණක් අපට ආරෝග්‍යා පරමා ලාභා හා සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා යැයි කිව හැකිය.
උපුටා ගැනීම් මුරගල සඟරාවෙනි....
දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...
Wednesday, August 27, 2014