ලයිට් බිලයි, වතුර බිලයි ගෙව්වාම පඩියෙන් බාගයක් ඉවරයි.” එසේ කියන මාස් පඩිකාරයන් කොතෙකුත් ඔබට හමුවී ඇතුවාට සැක නැත. එසේ නැතිනම් ඔබත් එසේ ලයිට් බිලට මාස් පඩිය පූජා කරන සේවකයකු වන්නට පුළුවන. රට්ටුන් එසේ ලයිට් බිල ගැන සංවේදී වන්නේ විදුලිය ඔවුන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිසාය.
මේ නිසා ආණ්ඩුව කොපමණ මිල වැඩි කළද බදු අය කළද රට්ටුන්ට දැන් සිද්ධ වී ඇත්තේ පඩියෙන් භාගයක් නොව මුළු පඩියම ගෙවා හෝ විදුලි බිල ගෙවා දැමීමටය.
කෙසේ නමුදු විදුලි බිල ගැන ළතවෙන රට්ටුන්ට ගිය සතියේ කෑගල්‍ලේ ගලිගමුවෙන් අසන්නට ලැබුණේ සුබ ආරංචියකි. ඒ ගෙවත්තේ තිබෙන ළිඳෙන් ජල විදුලිය නිපදවා ගන්නා පුවතකි. මේ අපූරු නිර්මාණකරුවා රූපසිංහ මල්ලව. ඔහු ගලිගමුවේ හරිගල පදිංචිකරුවෙකි. ඔහුට මේ අපූරු අදහස හිතට ආවේ තම ගෙවත්තේ ඇති ළිඳේ ජලය නිවසේ ඇති ජල ටැංකියට රැස්කරගෙන එම ජලය විවිධ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවේදීය. විදුලි බලය එසේ නිපදවා ගත හැකි බව ඔහු කල්පනා කළේය. මල්ලවට අනුව නම් ළිඳෙන් පමණක් නොව ඇළකින් දොළකින් නොව අඟලක තරම් වන කුඩා දිය පාරකින් වුවද කිලෝ වොට් දෙක තුනක විදුලියක් හෝ ඊට වැඩි විදුලි බලයක් අඩු වියදමකින් මෙයින් නිපදවා ගැනීමට හැකිය. ඔහු මෙසේ ජලයෙන් විදුලිය නිපදවා ගත්තේ ඔහු විසින් සොයා ගන්නා ලද විශේෂ යන්ත්‍රයකිනි. එම නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රයද ඔහු ලබාගෙන ඇත.
රූපසිංහ මල්ලවගේ ජල විදුලි බලාගාරය ගැන ලියනකොට අපට මතක් වන්නේ ලක්ෂපාන, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ වැනි මහා ජල විදුලි බලාගාරය. ඒ ලංකාවේ විදුලිබල නිෂ්පාදනයේ වැඩි බරක් තබා ඇත්තේ ජල විදුලියට බැවිනි.

මේ පිළිබඳ අවධානය යොමු කළ එම්.පී. රූපසිංහ මල්ලව ද්‍රව තෙරපුම් විදුලි ජනකයක් නිර්මාණය කරන්නේ ලංකාවේ බලශක්ති අවශ්‍යතාව ජල බලයෙන්ම සපුරාගත හැකි බවට විශ්වාසය පළ කරමිනි.
සාමාන්‍යයෙන් ජලය මගින් විදුලිය ජනනය කිරීම්දී උස හා ජල ධාරාවේ ප්‍රමාණය සැලකිල්ලට ගනී. මෙගා වොට් එකක ජල විදුලියක් නිපදවා ගැනීම සඳහා අඩි 100ක් උසක සිට ඝන කියුබික් මීටර් 01ක ජල ධාරාවක් ලබාගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කර මධ්‍යම ප්‍රමාණයේ හා කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකර තිබුණත් ජලය අඩුවන විට ඒවා තාවකාලිකව වසා දැමීමට සිදුවේ. ඒ සියලු ජල විදුලි බලාගාර සඳහා ‘ජල පරිමාණය’ යන සාධකය මූලික වන බැවිනි.
රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engin)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි. එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්‍රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බව තහවුරු කර ඇත. ජලය පමණක් නොව තෙල්, ග්‍රීස් වැනි අර්ධ ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත්‍රික ශක්තියක් බවට පත්වන බවද මෙහිදී මල්ලව පෙන්වා දෙයි. දහනයක් නොවී පිස්ටන් දෙකක් ක්‍රියාත්මක වීම මෙහි වන විශේෂත්වයයි.
ද්‍රව තෙරපුමට යොදා ගන්නා ද්‍රව්‍යය නැවත නැවත චක්‍රීය ආකාරයෙන් භාවිතයට ගැනීමටද හැකියාව ඇත. එක්තරා ආකාරයකට මෙය ද්‍රව තෙරපුමක් නිසා බලගැන්වෙන පිස්ටන් දෙකේ එන්ජිමක්. එම එන්ජිමේ ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක වී විදුලිය ජනනය වේ.
දියසෙන් බලශක්ති ක්‍රමය (Diasen power system) නමින් හඳුන්වා ඇති මෙම නිර්මාණය පිළිබඳ තම හිතට අදහසක් ආ අවස්ථාව පිළිබඳ රූපසිංහ මල්ලව අප සමග ප්‍රකාශ කළේ මෙසේය.

මල්ලව තම නිවසේ ඉදිකර ඇති ද්‍රව තෙරපුම් විදුලි ජනකයේ ආකෘතිය මගින් කිලෝ වොට් දෙකක පමණ විදුලියක් නිෂ්පාදනය කරගනියි. එය නිවසේ ජල ටැංකියට සම්බන්ධ කර ඇත. මෙම ජල ටැංකිය සිලින්ඩරාකාර හැඩයක් සහිතව උඩ කොටස නිමවා ඇත. එහි පහළ කොටස නිමවා ඇත්තේ පුනීලාකාරවය. ඉන් නිකුත්වන ජලය වෑල්වයක ආධාරයෙන් දෙපසට බෙදී ගොස් විටින් විට පිස්ටන් දෙක මත පීඩනය යොදයි. ඉන් පිස්ටන් ක්‍රියාත්මක වේ. ඉන් නිකුත් කෙරෙන ජලය නිවසේ ජල අවශ්‍යතා සඳහා යොදා ගනී. මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම පොම්ප කෙරේ.
රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.

ඔහු පවසන්නේ ළිඳෙන් පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.
එසේම මේ ක්‍රමය උපයෝගි කරගෙන වික්ටෝරියා ජලාශයේ ඇති ජලයෙන් පමණක් මුළු රටටම විදුලිය දීමට තමන්ට හැකියාව ඇති බව, ඔහු පෙන්වා දේ.
නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.
මෙම බලශක්ති ක්‍රමය දායාද කළ රූපසිංහ මල්ලව කිසිදා විද්‍යා අංශයෙන් අධ්‍යාපනයක් නොලද්දකි. ඔහු කිනිගම, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක හා ඉද්දමල්පාන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇත. කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ මල්ලව කෑගල්ල මහින්දෝදය පිරිවෙන් විහාරයෙන් ද ටික කලක් අධ්‍යාපනය ලබා ඇත.
අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පී.බි.ජී. කලුගල්ලගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබිය. මේ වන විට දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන මල්ලවගේ බිරිඳ වන්නේ චම්පිකා ප්‍රියංගනීය.
ලෝකයේ නව සොයා ගැනීම් කළවුන් දිරිමත් කළ රටවල් ඉතා වේගයෙන් දියුණු විය. අපේද විවිධ නිර්මාණකරුවන් බිහිවී ඔවුන් පිළිබඳ හඬ නෑසී යයි. කුමාරතුංග මුණිදාසයන් පැවසූ ආකාරයට ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි’ යන්න මෙන්ම ‘අලුත් අලුත් දෑ ගැන නොතකන ජාතියද ලොව නොනගී’ යන්න මෙහිදී ප්‍රකාශ කළ යුතුය.
බන්දුල ධර්මතිලක