සංචාරක ව්‍යාපාරය හරහා 2016 වන විට සංචාරකයින් 25ලක්ෂයක් මෙරටට අද්දවා ගැනීමට මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් ඉලක්ක ගතකර ඇත. විශේෂයෙන් සංචාරකයන්ගේ ආකර්ශනය සිදුවී ඇති, ආසියාවේ අනෙකුත් රටවල් වන තායිලන්තය, මැලේසියාව, සිංගපූරුව, ඉංදියාව වැනි රටවල් සමඟ මේ වෙනුවෙන් තරඟ වැදීමට අප රටට සිදුවී ඇත. එහිදී නාගරික සංවර්ධනය සහ නගර අලංකරණය ඉතා වැදගත් වන අතර ඒ අතුරින් රටේ අගනගරය සංවර්ධනය කිරීම අතිශය වැදගත් වේ.
ශ්‍රී ලාංකීය අග නගරය කොළඹයි. කොළඹට ‘කොළඹ‘ යන නම ලබා දෙන්නේ පැරණි මත අනුව, පෘතුගීසීන් විසිනි. ඒ 1505 දීය. කොළඹ යන නම සෑදීමට මෙම ප්‍රදේශයේ තිබූ අඹගස් හේතු වන්නට ඇතැයිද ඇතැම් මතධාරීන්ගේ මතයයි. කොළ+අඹ කොළඹ බවට පත්වූ බව එයින් පැහැදිලි වන කරුණයි. ලන්දේසි යුගයේදී නිර්මාණය වූ කොළඹ ලාංඡනයේද දක්නට ඇත්තේ ගෙඩි රහිත වූ අඹ ගසකි. ඉහත මතයේ යම් සත්‍යතාවක් මේ සාධකය මඟින් ඔප්පු වේ. සම්ප්‍රධායික සිංහල වදනක් වූ “කැළණි ගඟේ තොටුපල“ යන්න අරුත් ගැන්වෙන කොළොම් තොට යන්නෙන් කොළඹ යන වදන බිදිණු බව තවත් මතයකි.
ඔක්කොම කුණු බේරුවල් බොක්කට කියන්නා වාගෙ අනූව දශකයේ අගභාගයේ සහ 20වෙනි ශතවර්ෂයේ මුල් අවුරුදු කිහිපය වන විට කොළඹ නගරය ඉතාමත් අපිරිසිදු, පාරිසරික තත්වය දූෂණය වූ නගරයක් වී තිබිණි. මේ තත්වය ලාංකීය ජන ජීවිතයට මෙන්ම රටේ සංවර්ධනයටත් රටේ සංචාරක ව්‍යාපාරයටත් ඝෘජුවම හා වක්‍රාකාරව බලපාන ලදි. නාගරික සංවර්ධන අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යංශයට සම්බන්ධ කර ගැනීමෙන් පසුව ලාංකීය නාගරික සංවර්ධන ක්ෂේත්‍රයට පෙර නොවූ විරූ පුනර්ජීවනයක් ලැබෙන්නට විය.
වසර කිහිපයකට පෙර කොළඹ දක්නට ලැබුණේ වැඩි ප්‍රමාණයක් තාප්ප වලින් වටවූ ගොඩනැගිලි සමූහයකි. නමුත් මේවන විට එම තාප්ප සංස්කෘතිය වෙනුවට නිදහසේ ඇවිදිය හැකි මං තීරු සමග ඉතා අලංකාර තෘණ තීරු දක්නට ලැබෙයි. කුඩා කුඩා කොන්ක්‍රීට් කැටවලින්, අලංකාර මෝස්තර යොදා සැකසූ පදික වේදිකා අද කොළොම් තොට සෑම මාවතකම දෙපැත්තේ දක්නට වෙයි. විශේෂයෙන් පැරණි යුගයන්ට අයත් ගොඩනැගිලි නවීකරණය කර ඒ සඳහා නියම වටිනාකමක් ලඟාකර දීමට මෙම රජය යටතේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය කටයුතු කර ඇත. ඒ අතුරින් ලන්දේසී යුගයේදී ඉදි කළ ඔවුන් විසින් ඉතිරි කොට තබා ගොස් ඇති ලෝක උරුමයක් බවට පත්වූ පසු කාලයේදී ගාලු කච්චේරිය ලෙස පවත්වා ගෙන ගිය ඉපැරණි ඕලන්ද රෝහල විශේෂිත තැනක් හිමි කරගන්නේ සංචාරක ව්‍යාපාරය සඳහා මින් සිදුවන පිටුවහල අති මහත් නිසාය. ලෝක වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පිහිටා ඇති මෙම ඉපැරණි රෝහල් ගොඩනැගිල්ල මේවන විට සුපිරි වෙළඳ සංකීර්ණයක් ලෙස නවීකරණය වී ඇත. ඉපැරණි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලට කිසිදු හානියක් නොවන ලෙස ප්‍රතිසංස්කරණය වී ඇති මෙම වෙළඳ සංකීර්ණයේ උඩු මහලේ කඩ කාමර 8කින්ද බිම් මහලේ කඩ කාමර 10ක්ද වෙයි. සුපිරි අවන්හලකින්ද සමන්විත මෙහි ස්වර්‍ණාභරණ, මැණික් ආභරණ සහ රෙදි පිළි සාප්පු දක්නට වෙයි. ලැබූ සාමය භුක්ති විඳිමින් නිදහසේ සතුටු සාමීචියේ යෙදීමට වටපිටාවක් නිර්මාණය කර තිබේ.
නවීකරණයවූ කළම්බු ගෝල්ඩ් සෙන්ටර් වෙළඳ සංකිර්ණයද කොළඹ සිරිය රනින් සංකේතවත් කර ඇත. රන් ආභරණ වෙළඳසැල් 83ක් මෙම වෙළඳ සංකීර්ණය තුළ ඇති අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ රන්අභරණ ගැනුම් කරුවන්ගේ ආකර්ශනය මේව විටත් මෙම වෙළඳ සංකීර්ණය වෙත් යොමුවී ඇත. පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිවූ දියමත පාවෙන වෙළඳ සංකීර්ණය ද වර්තමානයේ දෙස් විදෙස් සංචාරක කර්මාන්තයේ ආකර්ශනය දිනා ගැනීමට සමත්විය. නවීන වෙළඳ සැල් 95කින් සමන්විත මෙම වෙළඳ සංකීර්ණය කොළඹ නගරය විධිමත් හා සංවර්ධන නගරයක් බවට පත්කිරීමේ තවත් මල් ඵල ගැන්වූ ප්‍රයත්නයකි.
නිදහස් චතුරශ්‍ර පරිශ්‍රමයම දැන් නිදහස් බිම් කඩකි. ශරීර සුවතා ඇවිදින මංතීරු, පාපැදි මං තීරු, ශරීර සුවතා මධ්‍යස්ථාන, සතුටු සාමීචියේ යෙදිය හැකි ස්ථාන මෙන්ම සුපිරි ආපන ශාලා වලින්ද මෙම ප්‍රදේශය දැන් සමන්විතය. මෙම පරිශ්‍රයේ ඉදිවූ “ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ්“ වෙළඳ සංකීර්ණය දෙස් විදෙස් සංචාරකයන්ගේ මන දොල සනසාලීමට සමත් වී ඇති බව ටිකකට හෝ ගොඩවූවානම් පසක් වනු ඇත. 1977දි ඉදිවූ මෙම ගොඩනැගිල්ල නැවත් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉපැරණි වාස්තු විද්‍යාවට හානි නොවන ලෙස නිර්මාණය වූ මෙහි වෙළඳ කුටි 40ක් දක්නට ඇත.
ලොව අග්‍රගණ්‍ය කලාගාර 70 අතරට මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහල අයත් වේ. සුන්දරත්වයෙන් අනූන, නගර සංවර්ධනයේ අපූර්ව නිර්මාණයක් වන, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ‘දියත උයන’ දෙස්, විදෙස් සංචාරකයන් රැසක ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන තවත් ස්ථානයකි. වෙළඳ ප්‍රදර්ශන මෙන්ම දේශීය විසිතුරු අත්කම්, තෑගි භාණ්ඩ, රෙදිපිළි, ආහාර පාන, අලුත් එළවළු,පලතුරු වලින් පිරි වෙළෙඳ කුටි පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරන්නට සමත් වී තිබේ. දේශීය ජන ජීවිතය දෙස් විදෙස් සංචාරකයන්ට පැවසීමට නිර්මාණය වූ තවත් මෙවැනිම ස්ථානයක් වන්නේ බත්තරමුල්ලේ පිහිටි ‘අපේ ගම’ පරිශ්‍රයයි.
සංචාරක කර්මාන්තයේ පරතෙර සොයා යන්නට, එහි පුළුල් බව ලොවට කියන්නට, කොළොම්තොටේ ලොව නොදුටු පැත්ත හඬගා කියන්නට, මේවන විට ඊබට් සිල්වා සමාගම මගින් කළම්බු සිටි ටුවර් බස් සේවාව ආරම්භ කර ඇති අතර එමගින් කොළඹට වැඩි සංචාරක ආකර්ශනයක් ලබා ගැනීමටත් රටේ සංවර්ධනයට එය දායක කරගැනීමටත් හැකිවනු ඇත.
– සංජීව පෙත්තාවඩු විසිනි