ඔළගම විසූ රංහාමි දසනායක නිළමෙතුමන් මෙම විහාරස්ථානයේ ආදි කර්තෘවරයා ලෙස දැක්වේ. මොණරාගල පර්වත මුදුනේ මොණර සලකුණකි. එම සලකුණ නිසා මොණරාගල විහාරය වී යැයි කියති.
මොණරාගල ගල් පර්වතය මත වූ පැරණි බෝධීන් වහන්සේ කේන්ද්‍ර කරගනිමින් ඔළගම රංහාමි දසනායක උපාසකතුමා පොදු මහජන ආධාර ලබා ගෙන මනරම් විහාර මන්දිරයක් ඉදි කළේය. මේ ක්‍රි.ව. 1910 දී පමණය. රජයට අයත් මෙම ගල් පර්වතයේ මෙබඳු විහාරයක් ඉදිකිරීම නීති විරෝධි ය. මේ පිළිබඳව කුරුණෑගල සුදු ඒජන්ත තැන වෙත යම් පිරිසක් විසින් පැමිණිලි කෙරිණ. පරීක්ෂණ කටයුතු සඳහා සුදු ඒජන්ත තැන අසුපිටින් පැමිණියේය.
විහාරයේ ප්‍රතිමා සිතුවම් ආදිය නිමවුණු ආසන්න කාලයේදීය. මේ බෝධිසත්ව ගුණෝපේත රංහාමි උපාසකතුමා විහාරය ඉදිරිපස බිම වැතිර විහාරයට අනතුරක් නොකළයුතු බවත්, තමා වරදකරු නම් තමාට දඬුවම් කරන ලෙසත් ආයාචනාත්මකව පැවසීය. සුදු ඒජන්ත තැන විහාරයට ඇතුළු වී චිත්‍ර මූර්ති ආදිය නරඹා සොම්නසට පත්විය.
අනතුරුව මේ සඳහා තමාගෙන් කුමක් වුවමනාදැයි විමසීය. ඒ අනුව රජයට අයත්ව තිබූ භූමිය ලබාදිය හැකි වෙතොත් මැනවැයි දැනුම් දෙන ලදි.
ඒ අනුව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිත භාර ලේකම් තැන මගින් පස්වැනි ජෝර්ජ් මහරජුගේ විශේෂ අවසරය පරිදි රංහාමි උපාසක තුමාගේ පුද්ගලික නමට විහාර භූමිය පවරා දෙනු ලැබිණ. රංහාමි දසනායක උපාසක තුමා අංකුඹුරේ ශ්‍රී සෝමානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත එම විහාර භූමිය පූජා කළේය. අනතුරුව 1959 -12- 16 වැනි දින අංකුඹුරේ ශ්‍රී සෝමානන්ද නාහිමිපාණෝ මොණරාගල විහාරාධිපතිව වැඩ විසූ කිරිමැටියාවේ පඤ්ඤාසාගර හිමිපාණන් වහන්සේ වෙත විහාරස්ථානය පිළිබඳ හිමිකම් පැවරූහ.
මූර්ති ශිල්පීන් කන්ඩායම ඡායා හිරියාල සමූහ
මොණරාගල විහාරස්ථානයට කිරිමැටියාවේ පඤ්ඤාසාගර මාහිමිපාණෝ වැඩම කළෝ 1953 වසරේදීය. ගල් පර්වතය මත අරලිය තුරු සෙවණේ ළමුන් 12 දෙනෙකුගෙන් ඇරඹුණු දහම් පාසල ප්‍රදේශවාසී දරුවන්ගේ දහම් පවස නිවාලන්නක් විය. චතුර ලෙස ධර්මදේශනයෙහි සමත්කම් පෑ උන්වහන්සේ ප්‍රදේශය පුරා ජනප්‍රිය ධර්මදේශකයන් වහන්සේ නමක් ලෙසින් ප්‍රකට වූහ.
එමෙන්ම පොදු ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනාගෙන සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජ සේවාවන්ද ලබා දීමෙහි නිරන්තර ව්‍යායාමයක නිරත වූහ. ළදරුවන් වෙත අධ්‍යාපනය ලබා දෙමින් ආරම්භ කළ සේවාව සර්වෝදය ශ්‍රමදාන සේවාව හා ඒකාබද්ධ වෙමින් ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතා සමඟ ව්‍යාප්ත කරමින් 1967 සිට සර්වෝදය සේවා මධ්‍යස්ථානයක් ලෙස වයඹ පළාතේ පුළුල් ක්ෂේත්‍රයක ළදරු පාසල් පිහිටුවන ලදි.
යාපහුව, හිරියාල, මාවතගම, පොල්ගහවෙල හා වාරියපොල කොට්ඨාසවල ද ළදරු පාසල් පිහිටුවීමෙහි ලා උන්වහන්සේ ක්‍රියාකාරි වූහ. භික්ෂු අධ්‍යාපනය පිළිබඳව සිත යොමු කරමින් 1966 දී ‘විද්‍යාසාගර’ පිරිවෙන ආරම්භ කළහ. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මොණරාගල විහාරස්ථානයෙහි ඉරටු කර්මාන්ත මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී. 1986 දී ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙරිණ.
මේ අතර, 1985 වර්ෂයේ දී ලෝවටා සංචාරයක නිරත වූ උන්වහන්සේ අපරදිග බෞද්ධ ධර්ම ව්‍යාප්තිය සියැසින් දුටහ. බුරුම දේශයට වැඩම කර භාවනා ප්‍රගුණ කළ අතරම, 1988 වර්ෂයේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ලෝක සාම සංඝ සම්මේලනයට සහභාගි වෙමින් සිටිය දී රිය අනතුරකින් අපවත්වීමෙන් එම සේවාවන් පවත්වා ගෙන යාම පිළිබඳ බරපතළ හිඩැසක් ඇති විය.
පඤ්ඤාසාගර මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි හිමියෝ විහාරාධිපති ධූරයෙහි කටයුතු භාර ගත්හ. මොණරාගල පර්වතය මත ‘පධානඝර’ නම් වූ භාවනා ශාලාව ඉදිකිරීමෙහි කැපවීමෙන් ක්‍රියාකළ උන්වහන්සේ සිය ගුරුහිමියන් අපවත්ව දසවසර පිරුණු 1998 වර්ෂයේ දී “පැණසයුරු ගුණසමර දසවසර” පින්කම් සමයෙහි විවෘත කළ දෙමහල් සංඝාවාසය විහාරස්ථානයේ බරපතළ අඩුපාඩුවක් සපුරාලන්නක් වී තිබේ.
2001 වසරේ ඇෆ්ගනිස්ථානයේ ‘බාමියන්’ ප්‍රතිමා සංහාරය කරණ කොට ගෙන ප්‍රදේශවාසි ජනතාවගේ අදහස පරිදි ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවක් නෙලීමට යොමුවීම දේශීය, ජාතික හා ආගමික ප්‍රබෝධයට ඉවහල්වන අසහාය පුණ්‍ය ක්‍රියාවකි.
ඉන්දියානු ශිල්පි පද්ම ශ්‍රී සම්මානලාභී ඇම්.ඇම්.ස්තපතිතුමන් මේ නිර්මාණ කාර්යය භාරගැනීමම ඒ පිළිබඳ සාර්ථකත්වයේ සලකුණකි. 2002-09-13 දින නියම ලෙසින්ම ගල් පර්වතයේ කටයුතුවලට අතගැසීමෙන් ඇරඹුණු මේ උදාරතර පුණ්‍යක්‍රියාව මේ වනවිට වසර හතර ඉක්මවා ක්‍රියාත්මක වෙමින් පවතී. දකුණු ඉන්දියානු ශිල්පීන් 08 දෙනා බැගින් වසර තුනක් වැඩවල යෙදුණු අතර, හතරවැනි ශිල්පී පිරිස 2006.06.14 වැනි දින සිට නිර්මාණ කටයුතු වල යෙදී සිටිති.
මෙතෙක් මෙම කාර්යය සඳහා පොදු මහජනතාව අප වෙත ලබා දී ඇත්තේ පුදුම සහයෝගයකි.
අතීත නර විරුවන්, රජ දරුවන් සිදු කළ අමරණීය කලා නිර්මාණ ගණයට වැටෙන, වසර 800 කින් පමණ මේ රටේ සිදු කොට නොමැති ශෛලමය ප්‍රතිමා නිර්මාණයක් සපුරා ලමින්, අප අනාගත දරු මුණුබුරන් වෙත වත්මන් පරපුරේ අමිල දායාදය ලෙසින් තිළිණ කරන්නට හැකි වීම විසිඑක්වැනි සියවසේ ඔබත් මාත් ලබන මහඟු වරප්‍රසාදයකි.
උපුටා ගැනීම - www.dinamina.lk