උපුල් රාජනායක නමින් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයේ උපත ලබා, උපතින් යාන්තමින් මාස දෙක හමාරක් ගත වෙද්දීම හදා වඩා ගැනීම පිණිස නෙදර්ලන්ත ජාතික යුවලක් විසින් නෙදර්ලන්තයට රැගෙන ගිය මේ දරුවා තරුණ වියට එළඹෙන තුරුම සිය මවු භාෂාව දැන සිටියේ නැහැ.
එහෙත් ඔහු අද සිංහල භාෂාව හොඳින් හසුරුවනවා පමණක් නොව නෙදර්ලන්තයේ වෙසෙන තමා වැනි ලාංකීය සම්භවයක් සහිත තරුණ පිරිසට සිංහල භාෂාව උගන්වන ගුරුවරයෙක්.
නෙදර්ලන්ත ජාතික මේ තරුණයා පසුගියදා මට මුණගැසුනේ මා ඇම්ස්ටර්ඩෑම් අගනුවර සංචාරයක නිරත වූ අවස්ථාවේ.
නෝනා පදනම
දූෂණයට සහ ලිංගික අතවරයට ලක් වූ ශ්‍රී ලාංකික දැරියන්ට දිරි දීම සඳහා කැපවුන නෝනා පදනමේ අටවැනි වාර්ෂික උත්සවයට සහභාගී වීමයි, මගේ ඇම්ස්ටර්ඩෑම් සංචාරයේ අරමුණ වූයේ.
නෙදර්ලන්ත ජාතික මේ තරුණයා පසුගියදා මට මුණගැසුනේ මා ඇම්ස්ටර්ඩෑම් අගනුවර සංචාරයක නිරත වූ අවස්ථාවේ
තමා වෙනත් දෙමාපියන්ගෙන් හදා ගත් දරුවෙකු බව ළමා වියේ පටන්ම දැන සිටි බව පවසන සනුල් විල්මර්, එබැවින් සිය සැබෑ මව සහ පියා සොයා යාමේ කුතුහලයකින් බාල වියේ පටන්ම තමා පෙලුන බවද බීබීසී සංදේශයට පැවසීය.
නෙදර්ලන්තවාසී දෙමාපියන් විසින් හදා වඩා ගන්නා ලද ලාංකීය තරුණ තරුණියන් විශාල පිරිසක් අතරින් මට හමුවුණු සිංහල භාෂාව කථා කළ එකම තරුණයා ඔහුයි.
සනුල් විල්මර් හවත් උපුල් රාජනායකට පළමු වතාවට සිය මව හමු වූයේ ඔහු දහසය වැනි වියේ පසුවෙද්දී. බාල වියේ පටන්ම සිය මවගේ ඡායාරූපයක් ළඟ තබාගෙන සිටි බැවින්, එක්වරම ඇය හඳුනාගැනීම කිසිසේත් දුෂ්කර නොවූ බව ද ඔහු පවසයි.
සැබෑ මව සොයා යාම
සැබෑ මව සොයා යාම සඳහා ඔහු දැරූ උත්සාහයට නෙදර්ලන්ත දෙමාපියන්ගෙන් ද ලැබුනේ ප්‍රබල රුකුලක්.
තමන්ගෙන් අනතුරුව සිය මව සහ පියාට දාව තවත් සොහොයුරියක් සහ සොහොයුරෙකු උපත ලබා සිටින බව දැනගැනීමට ලැබීමත්, නෙදර්ලන්ත මවුපියන් විසින් තමන්ට අනතුරුව තවත් සිංහල දැරියක හදා වඩා ගැනීමත් නිසා තමා ඉතා වාසනාවන්තයකු බව සනුල් විල්මර්ගේ අදහසයි.
තමා දුරු රටකට යැවීම ගැන දෙමාපියන් කෙරෙහි කිසිදු අමනාපයක් නැති නමුත්, සිය සැබෑ අනන්‍යතාවය කවරක් දැයි උභතෝකෝටික ගැටලුවකට මැදි වී සිටින බවයි, ඔහු පවසන්නේ.

තමා පෙනුමෙන් ලාකිකයකු වුවත්, හැදියාවෙන් නෙදර්ලන්ත වැසියකු බව පවසන ඔහු, ඒ කෙසේ වුවත් දෙරටින් එක් රටක් තෝරා ගන්නා මෙන් පවසන්නේ නම් සිය තෝරාගැනීම ශ්‍රී ලංකාව බව ද සංදේශයට පැවසීය. - බීබීසී සිංහල සේවය