POSTED ON Saturday, July 20, 2013| | Edit Post
ශ‍්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය තුළ වර්ධිත තාක්ෂණික අංගයක් වශයෙන් පෙදරේරු තාක්‍ෂණය දැකගත හැකිය. එහි දී ශිලා හා ගඩොළු පෙදෙරේරු තාක්ෂණයේ වර්ධනීය තත්ත්වයක් දැකගත හැක. මධ්‍ය ඓතිහාසික අවධියේ (ක්‍රි.ව. 100-600) ශිලා තාක්‍ෂණය ආශ‍්‍රිත පෙදරේරු තාක්‍ෂණයේ වර්ධනය දැකගත හැක. ගොඩනැගිලි ඇතුළු නිර්මිත පරිසරයේ අංග සඳහා පෙදරේරු තාක්‍ෂණයේ භාවිතය අංශ කිහිපයකින් භාවිත වූ ආකාරය හඳුනාගත හැක.



සිරස් ඉදිකිරීම

kuttam pond

සිරස් ඉදිකිරීමේ තාක්‍ෂණය සඳහා පෙදරේරු තාක්‍ෂණය තුළ භාවිත කර ඇත්තේ පාෂාණ කුට්ටි හා පාෂාණ පුවරු වේ. මෙම තාක්‍ෂණික ක‍්‍රමවේදය පොකුණු සහ ළිං

ඉදිකිරීම සඳහා මධ්‍ය ඓතිහාසික අවධියේ බහුල වශයෙන් භාවිත කිරීම කැපී පෙනේ. සිරස් ඉදිකිරීමේ තාක්‍ෂණයේ දී පාෂාණ කුට්ටි සහ පාෂාණ පුවරු ඉහළට බැඳීමේ දී පිටතට පැන්නුමකින් යුතු ව ඉදිකිරීම සිදුකිර ඇත. කුට්ටම් පොකුණ, ඇත් පොකුණ, ජේතවනාරාමයේ විශාල පොකුණු ආදිය මේ තාක්‍ෂණ ක‍්‍රමයට අනුව නිර්මාණය කොට තිබේ. මෙම තාක්‍ෂණයට ඉදිකිරීම මගින් ඉහළ සිට කඩා වැටීම් අවම වීම විශේෂ ලක්‍ෂණයකි.

එසවුම් තාක්‍ෂණය
ancient tecnology අධික බරක් ඉහළට එසවීමේ පුරාණ ක්‍රමවේද

ශ‍්‍රී ලංකාවේ විශාල නිර්මාණ එනම් කිලෝ දසදහස් ගණනාවක් බර ඇති අභයගිරි හා මිරිසවැටි ස්තූපයන්ගේ යූපගල් සඳහා භාවිත කොට ඇති විශාල ශිලා කොටස් දෙස බැලීමේ දී ඒවායේ එසවුම් තාක්‍ෂණය කෙසේ සිදුවූවා දැයි ප‍්‍රශ්නාර්ථයක් නැගේ. මෙම ශිලා ස්තම්භ ස්තූප මුදුනට රැගෙන යනු ලැබුවේ කෙසේදැයි ප‍්‍රශ්න පැන නැගේ. අධික බරක් ඉහළට එසවීමේ දී කෙළින් ම එය ඉහළට එසවීමට වඩා ආනත තලයක් මගින් එසවීම පහසු කරුණකි. එසේ නොවන්නේ නම් ලී මැස්සක් බඳිමින් එය මාරුවෙන් මාරුවට පැති මාරුකොට ඉහළට එසවීම අනෙක් ක‍්‍රමය වේ. එසේත් නොවන්නේ නම් ගඩොළු වරියෙන්වරිය ඉහළට බඳින විට මෙවැනි අධික බර සහිත ද්‍රව්‍යයක් ඉහළට එසවීම පියවරෙන්පියවර සිදුකළ හැක. එවැනි ක‍්‍රමවේද ඔස්සේ පුරාණ ලංකාවේ මෙම දැවැන්ත නිර්මාණ කරන්නට ඇතැයි උපකල්පනය කළ හැක්කේ ජේතවන ස්තූපය ආදී තැන්වලින් හමුවන පලංචි තැනීමට භාවිත කර ඇති කණු වළවල් මගිනි.

පීඩනය සහ ගිලා බැසීම පාලනය

ancient tecnology පැරණි පෙදෙරේරුවන් විශාල ශිලා කොටස් උපයෝගී කොටගත් නිර්මාණකරණයේ දී එම ශිලා ස්තම්භ කිඳා බැසීම පාලනය සඳහා විවිධ ක‍්‍රමවේද අනුගමනය කරන ලදී. ඒ අතුරින් විශාල ගල් පුවරු සිටුවීමේ දී ගල් කණුවේ ක්‍ෂේත‍්‍රඵලයට වඩා වැඩි ප‍්‍රමාණයක ක්‍ෂේත‍්‍රඵලයක් ඇති පාෂාණ පුවරුවක් ගල් කණුවේ පාදම වශයෙන් භාවිත කිරීමෙන් කිඳාබැසීම හා පීඩනය පාලනය කර තිබීම පැරණි ගොඩනැගිලි ආශ‍්‍රිත ව දැකගත හැකි සුලභ තත්ත්වයකි. එසේ ම ශිලා පුවරු එකිනෙක බද්ධ කොට පාදම් ගල වශයෙන් භාවිතා කිරීමෙන් කිදාබැසීම පාලනය කිරීම ද සිදුකොට ඇත.

විසිර යාම පාලනය

විසීරී යෑම පාලනය කර ඇති ආකාරය

පැරණි පෙදරේරු තාක්‍ෂණයේ විශිෂ්ට නිර්මාණ වන්නේ විසිර යාම පාලනය හා ශිලා පුවරු ඒකාබද්ධ කිරීමට යෙදූ තාක්‍ෂණයයි. මෙය කුඩුම්බි තාක්‍ෂණය වශයෙන් අර්ථ දක්වා ඇත. කුඩුම්බි තාක්‍ෂණය මගින් එකිනෙක ගල් පුවරු ඒකාබද්ධ කොට විසිර යාම පාලනය සිදු කරනු ලැබී ය. මෙයට ඇති හොඳ ම නිදසුන ජේතවනාරාමයේ දැකගත හැකි ගල් ගරාදි වැට හා ජේතවනයේ ගෙඩිගේ සම්ප‍්‍රදායේ පිළිම ගෙය සඳහා යොදා ඇති ගල් උළුවස්ස වේ. එසේ ම ථූපාරාමයේ වටාදාගෙයිහි කුළුණු හිස් හා පංචාවාසවල කුළුණු හිස් දෙස බැලීමේ දී මෙම නිර්මාණ දිස් වන්නේ තනි ගලින් කරන ලද නිර්මාණ ලෙස ය. නමුත් මෙහි විශිෂ්ටත්‍වය වන්නේ ඒවා මාහැඟි ලෙස එකිනෙකට බද්ධ කරන ලද ගල් පුවරු සමූහයකින් යුක්ත වීමයි. මේ සඳහා ගල්වඩුවන් ඉතා සූක්‍ෂ්ම ලෙස කුඩුම්බි තාක්‍ෂණය භාවිත කොට ඇත.

පෙදරේරු කර්මාන්තය සඳහා ගඩොළු වැඩ තාක්‍ෂණයේ උපයෝගීතාව

අනුරාධපුරයේ සහ පොළොන්නරු යුගයේ දී ශ‍්‍රී ලංකාවේ ගඩොළු වැඩ තාක්‍ෂණයේ වර්ධනය දැකගත හැක. මුල් ඓතිහාසික යුගයේ දී ගඩොළු වැඩ නිර්මාණ තාක්‍ෂණය දියුණු ආකාරයෙන් හඳුන්වා දී ඇති අතර ඉන්පසු මධ්‍ය ඉතිහාසය තුළ දී එහි සංවර්ධනාත්මක අවධිය කළඑළි බැසීම සිදු වේ. මේ යුගයේ දී ගඩොළු තාක්‍ෂණය උපයෝගී කොටගෙන ස්තූප සහ ගොඩනැගිලි ඉදිකිරීම කැපී පෙනේ.

පැරණි පිළිස්සූ ගඩොළු පරිමාණයෙන් වර්තමාන ඉංජිනේරු ගඩොලකට වඩා දිග පළලින් යුක්ත වේ. නමුත් එහි උස සෙ. මී. 5ක් තරම් වන අතර ගඩොළු බැඳීමේ තාක්‍ෂණයේ දී පැරැන්නන් විසින් මේවා ගඩොලක් මත ගඩොලක් තැබීමේ ක‍්‍රමවේදය අනුගමනය කොට වරි බැඳ තිබේ. විශේෂයෙන් ම ජේතවන ස්තූපය වැනි ස්ථානවල දී සිදුකරනු ලැබූ පර්යේෂණවල දී ගඩොළු බැඳීමේ තාක්‍ෂණය හඳුනාගෙන ඇත. එහි දී ගඩොළු වරි දෙකක් අතර කුස්තුර ඝණකම අවම කර මැලියම් මිශ‍්‍රිත ද්‍රාවණයක් සියුම් මැටි සමඟ මිශ‍්‍ර කොට අලවා තිබෙන ආකාරයට නිර්මාණය කර තිබේ. මහාවංසයේ රුවන්වැලිසෑ ඉදිකිරීම් කතා ප‍්‍රවෘත්තියේ නවනීත මැටි වශයෙන් හඳුන්වන්නේ මෙවැනි මැටි විය යුතු ය. විශේෂයෙන් ම අනුරාධපුරයේ දී ගඩොළු සහ මැටි මාධ්‍ය භාවිතයෙන් දැවැන්ත ගොඩනැගිලි ඉදිකොට අවසන් වශයෙන් හුණු කපරාරුවෙන් නිමවා තිබෙනුයේ අභ්‍යන්තරයේ පවතින මැටි නිර්මාණවලට හානි නොවන අයුරිනි.

පොළොන්නරු අවධියේ දී මේ තත්ත්වයෙහි වෙනසක් දැකගත හැකි අතර එහි දී ගඩොළු සහ හුණු බදාම එකතු වීම මෙන් ම ඝණ බිත්ති නිර්මාණය ද කැපී පෙනේ. පරාක‍්‍රමබාහු මාළිගය, තිවංක පිළිම ගෙය, ලංකාතිලකය ආදී තැන්වලින් මේ තත්ත්වය දැකගත හැක.

ඩි. තුසිත මැන්දිස්
ප‍්‍රධාන පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි,
ජේතවන පුරාවිද්‍යා ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.

උපුටා ගෑනීම -  http://si.archaeology.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews