වෙළෙඳසලකට ගොස් භාණ්ඩයක් මිලදී ගත් පසු ඇතැම්විට ඔබට රුපියල් 2.00ත් 5.00ත් වැනි මුදලක් ඉතිරි වශයෙන් ලැබිය යුතු යැයි සිතමු. නමුත් මුදල් අයකැමි (කැෂියර්) ඒ වෙනුවට ඔබට දෙන්නේ ටොෆියක්,චොක්ලට්පෙත්තක් විය හැකිය. වෙළෙඳපොළට යන ඔබ මේ අත්දැකීම ලබා ඇති බවට සැකයක් නැත. ඇතැම් විට ඔබ සීනි අගුණ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙකු විය හැකිය. නමුත් ඔබට අනවශ්‍ය දෙයක් නොපැතූ දෙයක් ලබා ගැනීමට සිදුවී තිබේ.
කොන්දොස්තර කොලුවානම් රුපියල් 2, 4 ඉතිරි දෙන්නේම නැත. බහිනකොට දෙනවා කිව්වත් එසේ දෙන කොන්දොස්තර මහත්වරු සිටින්නේ අතළොස්සක් පමණි. මෙහි දෙපැත්තක් තිබේ. වෙළෙඳසලකින් මාරුකාසි නොලැබෙන්නේ සත්‍ය වශයෙන්ම ඒවා නොමැති නිසා විය හැකිය. කොන්දොස්තර කොලුවා මාරුකාසි නොදෙන්නේ එක්කෝ ඔහු ළඟ සත්‍ය වශයෙන්ම මාරුකාසි නැති නිසා හෝ නැතිනම් තම වාසිය තකා හෝ විය හැකිය. ඒ කුමක් වුවද මේ දෙඅංශයටම මූල භූතය වී ඇත්තේ රටේ සංසරණය වන කාසි ප්‍රමාණය සීමාවීමය. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරමේ කාසි තිබුණද ඒවායින් බොහොමයක් තිබෙන්නේ සංසරණයට එකතු නොවී සැඟවෙලාබවය.
මේ වන විට රුපියල, දෙක, පහ සහ දහය වශයෙන් වූ කාසි කෝටි 430ක් පමණ සංසරණයේ පවතී. (කාසි ප්‍රමාණය විනා වටිනාකම නොවේ) ඊට අමතරව සෑම වර්ෂයකම තවත් කාසි මිලියන 125ක් පමණ (ප්‍රමාණය) සංසරණයට එකතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ කාසි අවුරුදු 25ත් 30ත් කිසිදු ආපදාවකින් තොරව හොඳ මට්ටමින් පවත්වාගෙන යාමේ හැකියාවක්ද පවතී.
රටේ කාසි හිඟයක් නොමැති වුවද සංසරණය සඳහා කාසිවල හිඟයක් තිබෙන බව හඳුනාගෙන තිබේ. සැඟවී තිබෙන කාසි එළියට දැමීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව පියවරගෙන තිබේ. ඒ යටතේ රුපියල, දෙක, පහ, දහය (1,2,5,10) ඕනෑම ප්‍රමාණයක කාසි 100ක් මහ බැංකුවට ගෙන එන පුද්ගලයෙකුට අදාළ මුදල් ප්‍රමාණයට අමතරව රුපියල් 20ක් වැඩිපුර හිමිවන්නේය. කාසි 1000 ගෙන ආ පුද්ගලයෙකුට අමතරව රුපියල් 200ක් මේ අනුව හිමිවන්නේය.
රටේ කාසි සංසරණය අඩුවී තිබේ නම් මේ කාසි සැඟවී තිබෙන්නේ කොහේද? ඔබට එකවරම මතකයට හැඟෙනු ඇත්තේ මහනුවර දළදා මාලිගාව, කළුතර බෝධිය, කතරගම, ගැටඹේ පන්සල ආදී චිරප්‍රකට ආගමික ස්ථාන ඉදිරියේ තබා ඇති පිං කැට හා ඒවාට දිනපතා එකතු වන කාසි කන්දරාව පිළිබඳවය.
නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව වෙන්නට කියන්නේ රටේ කාසි සංසරණය අඩුවී තිබෙන්නේ මතුකී චිරප්‍රසිද්ධ ආගමික සිද්ධස්ථාන ඉදිරියේ ඇති පිංකැටවල දිනපතා එකතුවන කාසි නිසා නොවන බවයි. එම පිංකැටවල එකතු වන මුදල් සතිපතා, මාස්පතා හෝ ෙතේරමාසිකව බැංකු පද්ධතියට එකතු කිරීමට ඒ ඒ ආගමික සිද්ධස්ථානවල මුදල් කමිටු හෝ මණ්ඩල කටයුතු කරනු ලබයි. උදාහරණයක් ලෙස ශ්‍රී පාද සමය අවසන් වූ පසු පඬුරු වශයෙන් එකතුවන දැවැන්ත කාසි තොගය මලු වශයෙන් රත්නපුර මහජන බැංකු ශාඛාවට ගෙනවිත් සතිඅන්ත කිහිපයක්ගෙන බැංකු නිලධාරීන් විසින් ගණනය කොට ශ්‍රී පාදස්ථාන ගිණුමේ තැන්පත් කරන්නේය.
එසේ නම් කාසි සැඟවී තිබෙන්නේ කොහේද? මහ බැංකුව කියන විදිහටනම් කුඩා ආගමික සිද්ධස්ථානවල ඇති පිං පෙට්ටි, මහජනතාව සතුව ඇති කැට ආදියෙහි බහුල වශයෙන් කාසි රැඳී තිබේ. වාණිජ බැංකු හා සංවර්ධන බැංකු ජනතාවගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම අරමුණු කොටගෙන විවිධ ප්‍රමාණයේ කැට (ප්ලාස්ටික් හෝ මැටි) කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට ලබාදෙයි. මේ කැට තුළ එකතුවන කාසි බොහෝ කාලයක් එකතැන රැඳී තිබෙනවා විනා සංසරණයට එකතු නොවන බව මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව පවසයි.
භාවිතයට ගත නොහැකි අන්දමට විනාශ වූ මුදල් නෝට්ටු යළි මහ බැංකුවට පැමිණියද, මහ බැංකුව නිකුත් කරන කාසි නැවත මහ බැංකුව කරා නොපැමිණෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. කාසි නිපදවීම හඳුන්වන්නේ ටංකනය කිරීම යනුවෙනි. කාසි ටංකනය කිරීම සඳහා විශාල මුදලක් වැය වෙයි. ශ්‍රී ලංකාවට අවැසි කාසි ටංකනය කරනු ලබන්නේ විදේශීය වශයෙනි. ඒ සඳහා විශාල විදේශ විනිමයක් වැයවෙන බව ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා සංසරණයට යොදවා ඇති කෝටි 430ක් පමණ වන කාසි යළි හුවමාරුව සඳහා ගෙන්වා ගැනීම වඩාත් ඵලදායී වන බව මහ බැංකුවේ අදහස වී තිබේ.
කාසි ටංකනය ඕනෑම අයෙකුට කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා නීතිමය බලයක් තිබිය යුතුය. රටක පාලනාධිකාරිය විසින් හෝ අධිකාරය පැවැරුණු ආයතන විසින් හෝ පමණක් කාසි ටංකනය කරනු ලැබේ.
ක්‍රිස්තු පූර්ව 620 සිට 600 දක්වා කාලය තුළදී බටහිර ආසියාවේ ඇනටෝලියානු අර්ධදීපයේ පිහිටි ලිසියාවේ වැසියෝ කනක රජත නම් රන් හා රිදීවලින් සෑදුණු ස්වාභාවික ලෝහයක් මුදල් ලෙසින් හැඩ ගැන්වීමට පටන් ගත්හ. ඒ කාසි ටංකනයේ ආරම්භයයි.
වර්තමානයේ බොහෝ කාසි සාදා ඇත්තේ කියුප්‍රෝ-නිකල් (තඹ සියයට 80ක් හා නිකල් සියයට 20 හා රිදී පැහැයෙන්) නිකල් පිත්තල (තඹ සියයට 75 නිකල් සියයට 5 හා තුත්තනාගම් සියයට 20ක් රන් පැහැයෙන්) මැංගනීස්-පිත්තල (තඹ, තුන්තනාගම්, මැංගනිස් සහ නිකල්) ලෝකඩ හෝ ආලේපිත වානේවලිනි. කාසි ටංකනය කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති හෙයින් භාවිතයට යොදවා ඇති කාසි එළියට ඇදීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය බැංකු හා ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත්කොට ඇති අතර පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහාද පියවරගෙන ඇත.
කෙසේ වෙතත් මේ වන විට ශත 5, ශත 10 වැනි කාසි භාවිතයෙන් ඉවත්ව තිබේ. ශත 25 හා 50 කාසිවලටද දැන් ඒ තත්ත්වයම උදාවී තිබේ. කෙසේ වෙතත් ශත 25 හා 50 කාසි වාණිජ බැංකුවලට හෝ මහ බැංකුවලට කිසියම් පුද්ගලයෙකු ගෙන ආවොත් ඒ මුදල් බාරගන්නවාද යන ගැටලුව අපටද මතුවිණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙන් විමසූවිට ඔහු දුන් පිළිතුර වූයේ ශත 25, 50 කාසි ගෙනආවොත් ඒවාද බාරගන්න බවයි.
මහජනතාව, වෙළෙඳසල් හිමියන් හා බස් කොන්දොස්තරවරුන් රටේ මාරුකාසි හිඟයක් තිබෙනවා යැයි පැවසුවද ශ්‍රී ලංකා මහ බැංකුව නම් කියන්නේ රටේ කාසිවල හිඟයක් නොමැති බවත්, සංසරණය සඳහා පැමිණෙන කාසිවල අඩුවක් තිබෙන බවයි. මහ බැංකුව දැන් උත්සාහ කරනුයේ අලුතින් කාසි ටංකනය කරනවා වෙනුවට ජනතාව අතර සැඟවී තිබෙන කාසි යළි ගෙන්වා ගැනීමට කටයුතු කිරීමය. ඒ සඳහා ප්‍රසාද ගෙවීම් ලබාදීමටද සූදානම්ය. ඒ කාසි 1000කට රුපියල් 200ක් වශයෙනි.
උපුටා ගෑනීම - lolelolpage