මේ තරම් සියුමැලි ද කළුගල්....
සිතන්නටවත් බැරි නිසා....
මම ගියා අවුකන බුදුන්ටත්....
දෑස් දුන් මිනිසා සොයා....
මියුරස ගීතයක උපත....
අපි කාටත් ජීවිතේ කලින් කලට දුක් කම්කටොළු විඳින්න සිද්ධ වෙනවා. එක තමයි ජීවිතේ හැටි. 90 දශකයේ මුල් භාගයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් හිටපු රජීටත් එහෙම කාලයක් ආවා. ඒ අත්දැකීමට මුහුණ දෙමින් ඉන්න අතරේ දවසක් රජීගේ කවි සිත අවදි වුණා. ඔහු කොළ කැබැල්ලක් අරගෙන ඒ අදහස් වචනවලට පෙරළුවා.
මොන විදියේ දුකක් දරාගෙන හිටියත්, අද අපට අහන්න සිදු වෙලා තියෙන විදියේ සින්දු විලාප, බයිලා අඳෝනා බවට පත් කරන්නේ නැතුව, ඉතා උසස් නිර්මාණයක් හැටියට ඒ වචන ටික පෙළගස්වන්න රජී සමත් වුණා. සංවේදී සිතක් තිබුණු නිසා, පොදුවේ කලාකරුවා මුහුණ දෙමින් සිටින ජීවන අත්දැකීමක් විදියට ඒ වේදනාව විඳ ගන්නත් රජීට පුළුවන්කම ලැබුනා.
ඊටපස්සේ මේ පද පෙළ රජරට විශ්ව විද්‍යාලයේ දී සම්මානයට පාත්‍ර වුණා. ඒ ජයග්‍රහණයත් එක්ක තවත් තරුණ නිර්මාණකරුවෙකු ගේ අවධානයටත් ලක් වුණා. දර්ශන රුවන් දිසානායක නම් වූ අති දක්ෂ තරුණ සංගීතවේදියා නිසා ගීතයක් බවට පත්වී, රජරට ප්‍රදේශයේ රස වින්දන වැඩසටහන්වලදී ජනප්‍රියත්වයට පත්වුණු "මේ තරම් සියුමැලිද කළු ගල්" ගීතය, පසුව සුනිල් එදිරිසිංහයන් ගේ කටහඬින් තවත් අරුත්බර වුණා.
අපේ රටේ ඉපැරණි කලාව වෙනුවෙන් මුළු මහත් ජීවිතයම කැප කළ නිර්ව්‍යාජ කලාකරුවා පිළිබඳව දාර්ශනික ආකල්පයකින් මේ ගේය පද රචනා වෙලා තිබෙන බව කාගේත් පිළිගැනීමයි. පෙරදිග කලාකරුවාගේ අධ්‍යාත්මය ගීතයෙන් කදිමට නිරූපණය වෙලා තිබෙන බව ඇත්තක්.
නමුත් දර්ශනට මේ පද පෙළ දැනෙන්නට ඇත්තේ වෙනත් කරුණක් නිසා බවයි මට හිතෙන්නේ. ඔහු කුඩා කාලයේ සිට සංගීතය හැදෑරුවේ ජේ.එන්. දයාපාල ගුරුතුමාණන්ගේ පාද මූලයේ ඉඳගෙනයි.
"නෙත් අඳ මුත් නෙත් දහසක් ඇති සේ ලෝකය දකින්නෙමි" කියල ගීතයකින් කිව්වත්, දයාපාල ගුරුතුමාම තමන්ගේ හොඳම ශිෂ්‍යයා විදියට පිළිගන්නා දර්ශන ගේ මුහුණ ඔහු අදටත් දැකලා නැහැ. ඒ නිසා "දෑස් දුන් මිනිසා" කියන්නේ දර්ශනගේ යටි සිත ප්‍රාර්ථනා කරන "දෑස් දෙන මිනිසා" වෙන්න බැරිද? ගීතය අවසානයේ දී "දෑස් දුන් මිනිසා සොයා" යනුවෙන් නැවත, නැවත ගැයෙන්නේ ඒ නිසා වෙන්න බැරිද?
මේ තරම් සියුමැලි ද කළුගල්....
සිතන්නටවත් බැරි නිසා....
මම ගියා අවුකන බුදුන්ටත්....
දෑස් දුන් මිනිසා සොයා....
කලාවැව ළඟ ඉලුක් හෙවණක....
මැටි පිලක පැදුරක් එලා....
රිදුම් පිරි මදිමින් බලයි ඔහු....
මැරෙන ඉපදෙන රල දිහා....
ඉසුරුමුණියේ නුඹ තැනූ....
පෙම්බරිය කොතැනද කියා....
මා ඇසු විට හිනැහුනා ඔහු....
තවම තනිකඩ යැයි කියා....
ගායනය - සුනිල් එදිරිසිංහ.
ගේය පද - රජී වසන්ත වෙල්ගම.
සංගීත නිර්මාණය - දර්ශන රුවන් දිසානායක.
© මව්බිම ලංකා පදනම - ගන්න අපේ දේ 2013
දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...
Tuesday, November 5, 2013