තවත් සතය කතාවක්
අපි තනුජාගේ ගෙදරින් එළියට ඇවිත් පුංචි කඳු ගැටිත්තක් තරණය කරනවා.
“තනුජා මහ පුදුම ගෑනු ළමයෙක්... ඒ නිසාම තමයි අපි එකතුවෙලා ඇයව ගොඩදාන්න හදන්නේ.”
තනුජාගේ ගෙදරට අපව එක්කර ගෙනගිය දිනේෂි කිව්වා.
දිනේෂි කියන කතාව ඇත්ත. තනුජා ඇත්තටම පුදුම කෙනෙක්. කොටින්ම ඇය මේ සමාජයට ආදර්ශමත් තැනැත්තියක්.
ශාරීරික අඩුපාඩුවක් සහිතව ජීවත්වන අයට තමයි ඇය ඇත්තටම කදිම ආදර්ශයක්. ඒ නිසාම තමයි මේ කතාව අපි ඔබට කියන්න හදන්නේ.
තනුජා උපන්නේ නිරෝගී දරුවෙක් විදිහට. ඒ මීට දශක තුනකට විතර කලින්. ඒත් ඇය ඩිංගෙන් ඩිංග ලොකු කෙනෙක් වෙද්දී කන් දෙක ඇහෙන එක අඩුවුණා. එතකොට ඇගේ වයස අවුරුදු 8ක් විතර ඇති.
මේ වෙද්දී තනුජා අධ්‍යාපනය ලැබුවේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ. ඒ වෙද්දිත් ඇය ඉගෙනුමට හපන් දැරියක්.
“ඊට පස්සේ මට ගුරුවරු කියාදෙන හඬත් ඇහෙන්නේ නැතිව ගියා. මේක තේරුම්ගත් ගුරු මෑණිවරු මාව ඉස්සරහට අරන් වාඩිකරවා ගත්තා. ඒත් මට ගැටලු මතුවුණා.” තනුජා අපි එක්ක කිව්වා.
මේ වෙද්දී තනුජාගේ අම්මා තාත්තා දෙන්නා ඇයව උගුර, කන, නාසය සම්බන්ධව ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් කීපදෙනෙකුට පෙන්නුවා. ඒත් වැඩක් වුණේ නැහැ. ඇගේ ශ්‍රවණ තත්ත්වය එන්න එන්නම අවුල් වුණා.
“ඊට පස්සේ මම පුරුදු වුණා ගුරුවරුන් කට සොලවන විදිහ අනුව කියන දේ තේරුම් ගන්න. ඒ වගේම යාළුවන්ගේ පොත් පත් ඉල්ලගෙන ඇවිත් ඉස්කෝලේ වැඩපිළිවෙළට කරන්නත් පුරුදු වුණා.”
තනුජාට මේ විදිහට පුරුදුවෙන්න ලෙහෙසි වුණේ නැහැ. ඇය හුඟාක් දුක් වින්දා. සමහර වෙලාවට වරු ගණන් ඇඬුවා. රෑ නිදිවරාගෙන ඉස්කෝලේ වැඩ කරපු ඇය බාධක කම්කටොළු රැසකට මුහුණ දුන්නා.
කෙසේ හෝ මේ විදිහට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගත්ත තනුජා අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වුණා. ඊළඟට ඇයට තිබුණේ උසස් පෙළ. ඇය ඒ විභාගයටත් මුහුණ දුන්නා.
උසස් පෙළ විෂය ධාරාව එතරම් පහසු නැහැ. ඒත් ඇය පෙර විදිහටම තොල්පෙති සෙලවෙන දිහා බලාගෙන ඉඳලා පාඩම් වැඩකටයුතු අවබෝධ කරගත්තා.
යෙහෙළියන්ගෙන් පොත් පත් ඉල්ලාගෙන විෂය කරුණු හොඳින් අවබෝධ කරගත්තා. අවසානයෙදී ඇය උසස් අධ්‍යාපනයටත් යොමු වුණා. ඒ අනුව තමයි තනුජා ශාස්ත්‍රවේදී (බාහිර) උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගන්නේ. ඒ වගේම භූගෝල විෂය ධාරව යටතේ ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නේ. අවසානයේදී ඇය ජාතික තරුණ සේවා සභාවෙන් (පොල්ගොල්ල) පාඨමාලාව පවා කරනවා.
“ඉන්පස්සේ මට ගුරු පත්වීමක් පවා ලැබුණා. ඒ වලපනේ කීනගොල්ල විද්‍යාලයට. ඒත් මට එහි සේවය කරන්න ලැබුණේ දින හතරයි.”
තනුජාට ඒ රැකියාවෙන් ඉවත්වෙන්න සිදුවුණා. ඒ ඇය ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත. මේ විදිහට දැනුමත් බුද්ධියත් එකතු කරගත් තනුජාට ඉන්පස්සේ ගොඩනැගිලි සැලසුම් ආයතනයක රැකියාවක් ලැබුණා. ඇය පරිගණකය ආධාර කොටගෙන දැන් එහි සැලසුම් අඳිනවා.
“මට දැන් වෛද්‍යවරු කියන්නේ ශල්‍යකර්මයක් කරලා ශ්‍රවණ උපකරණයක් සවිකරගන්න. එවිට ශ්‍රවණ තත්ත්වය යහපත් වේවි කියලා. ඒත් ඒකට ලක්ෂ 18ක් පමණ වැයවෙනවා. ඇත්තටම මේ වගේ ලොකු මුදල් හොයාගන්න මට බැහැ. ඒ නිසා තමයි මේ විදිහට මගේ කතාව කියලා මුදල් හොයන්න හිතුවේ.”
තනුජාගේ තනියට ඉන්නේ අම්මා විතරයි. ඇගේ තාත්තා මීට අවුරුදු කීපයකට කළින් මිය ගියා. අනාගතයේදී අම්මත් නැතිව ඇය තනිවේවි.
“දුවට විවාහයක් කරලා දීලා එයාගේ ජීවිතේ ලස්සන කරන්න මම හරිම කැමතියි. ඒත් මේ රෝගී තත්ත්වය එක්ක ඇයට එහෙම ජීවිතයක් ලබාදෙන්නේ කොහොමද?” තනුජාගේ අම්මා සුසුම් හෙළමින් කියනවා.
තනුජා මේ විදිහට තමන්ගේ ජීවිතේ ජයග්‍රාහී මාවතකට යොමුකර ගත්තේ හුඟාක් දුක් විඳලා. ඒ කාලය පුරාවටම ඇය තනිවම ඇඬුවා. තමන් සමග ඉන්න හැමෝම කිසිදු රෝගී තත්ත්වයක් නැතිව සිටියදී ඇය තමන් වෙත ළඟා වූ අවාසනාව තුළ කඳුළු වැගුරුවා. ඒත් ඇය උත්සාහවන්ත තැනැත්තියක් වුණා. බැරිකම පැත්තකින් තියලා නින්දා, අපහාස, තාඩන පීඩන සිත් රිදවීම් මැදින් ඉස්සරහට ආවා. ඇගේ ඒ අධිෂ්ඨානය කෙතරම් උතුම්ද?
තනුජාගේ මේ කතාව ඇස් කන් හොඳින් තිබෙන, ඒත් ජීවිතේ විනාශ කරගන්න අයට කදිම ආදර්ශයක්. ඒ ආදර්ශය ගැන හිතන ගමන් ඔබ ඇයට උදව් කරන්න. ඔබේ උදව් උපකාර ලබන ඇය හෙට දිනයේ නිරෝගී කෙනෙක් වේවි.
ඇයගේ ගිණුම් අංකය :
තනුජා ශ්‍යාමලී පෙරේරා
1293347 ලංකා බැංකුව,
පේරාදෙණිය.
දුරකථන අංකය : 0812388593
සමන් ප්‍රියංකර නම්මුනිගේ
කාරුණික ආයාචනයයි
මත්තේගොඩ පදිංචි වයස අවුරුදු 65 වන චන්ද්‍රලේඛා මුණසිංහ මව සහ වයස අවුරුදු 32 වන ඇගේ දියණිය වන සඳිනි මුණසිංහ මෙනවිය යන දෙදෙනාගේම වකුගඩු අක්‍රියවීම හේතුවෙන්, ඔවුන්ගේ ජීවිත රැකගැනීම සඳහා වකුගඩු බද්ධකිරීම අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත.
මව සඳහා “ඒ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක්ද දියණිය සඳහා “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක්ද පරිත්‍යාග කිරීමට කැමති පිංවතුන් පහත දැක්වෙන දුරකථන අංකයන්ට දන්වන මෙන් කාරුණිකව ආයාචනා කරමු.
දුරකථන අංක :
011-2851380, 071-4407699
උපුටා ගෑනීම - lakbima