උද්භිද උද්‍යානයක් කිව්වම බොහොම දෙනෙකුට හිතට එන්නෙ මල් වත්තක් කියන අදහසක්. ලස්සනට වවා තියෙන මල් පාත්ති, අලංකාර ලෙස නඩත්තු කර ඇති තණ පිටි, ජල පොකුණු, උඩවැඩියා හා වෙනත් විචිත්‍ර පැළෑටි ආදිය වවා තියෙන පැල ගෘහ ආදිය මෙන්ම තැන තැන හුදෙකලාව සිටින පෙම්වතුන්, සහ විනෝද සුවයෙන් පරිසර සුන්දරත්වය විදින විවිධ වයස් කාණ්ඩවල ජනතාවත් මල් වතුවල සාමාන්‍යයෙන් දකින දේවල්. ඒත් ඇත්තටම උද්භිද උද්‍යානයක් කියන්නේ මොකද්ද කියන එක හරියට වටහා ගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද?
අනිත් සැම දෙයකටම වගේ උද්භිද උද්‍යානය කියන එකටත් අර්ථ දැක්වීම් කිහිපයක් තියෙනවා. මෙයින් වඩාත් බහුලව පිළිගැනෙන අර්ථ දැක්වීමට අනුව උද්භිද උද්‍යානයක් යනු විද්‍යාත්මක පරීක්ෂණ, සංරක්ෂණය, ප්‍රදර්ශණය හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මකව, නම් කර වවා ඇති, සජීවි ශාක එකතුවක්. (Botanic gardens are institutions holding documented collections of living plants for the purposes of scientific research, conservation, display and education.)
උද්‍යාන විද්‍යාත්මක මූල ධර්ම අනුව නානාවිධ විචිත්‍ර ශාක අලංකාරව සකසා ඇති නිසාත් ඒවා වවා ඇති පරිසරය මනාව නඩත්තු කර ඇති නිසාත් උද්භිද උද්‍යාන අනිවාර්යෙන්ම සුන්දර ස්ථාන බවට පත් වෙනවා. නමුත් මෙම සුන්දර ස්ථාන වල නියම කාර්ය භාරය ඉතාමත් වැදගත්. කණගාටුවකට කරුණ අපේ රටේ උදවිය දකින්නේ මේ මතුපිටින් පේන සුන්දරත්වය පමණයි.
බ්‍රිතාන්‍ය පාලකයින් ඔවුන්ගේ අධිරාජ්‍යයේ විවිධ රටවල උද්භිද උද්‍යාන පිහිටවූයේ ප්‍රධාන වශයෙන් ආර්ථික බෝග ගැන පරීක්ෂණ පවත්වන්න. උදාහරණයක් වශයෙන් ඇමසන් වනාන්තරයේ තිබුණු රබර් ශාකය ගැන මූලික පරීක්ෂණ කරන්න ඔවුන් යොදාගත්තෙ ලංකාව. තේ වුනත් එහෙම තමයි. මීට අමතරට සින්කෝනා, කොකෝවා, විවිධ පළතුරු බෝග, දැව වර්ග ආදීය උද්භිද උද්‍යාන මගින් ලංකාවට ඹවුන් ගෙනාවා. මෙම ශාක හදුන්වා දෙන්න කලින් සියලු පරීක්ෂණ කලේ උද්භිද උද්‍යාන තුල. තේ වගාව ගැන පරීක්ෂණ පවත්වපු හක්ගල උද්භිද උද්‍යානයේ පරීක්ෂණ කොටුවල තවමත් එම පැල දකින්නට පුලුවන්.
පේරාදෙනිය උද්භිද උද්‍යානයේ මේවගේ පිට රට වලින් ගෙනාපු ශාක විශේෂ 4,000 ක් විතර තියෙනවා. උද්භිද උද්‍යාන මගින් කෙරුණු කෘෂිකාර්මික පර්යේෂණ හා අනිකුත් කටයුතු දියුණු වෙත්ම කෘෂිකර්මය පිණිස වෙනමම ආයතනයක අවශ්‍යතාව දැනිලා හරියටම මීට අවුරුදු 100 කට පෙර 1912 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් පේරාදෙනියේ පිහිටෙව්වා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටවීමෙන් පසු ලංකාවේ උද්භිද උද්‍යානවල ප්‍රධාන කාර්ය භාරය කෘෂිකර්මය පැත්තෙන් ශාක සංරක්ෂණය, අධ්‍යාපනය, සහ ඊට සම්බන්ධ විද්‍යාත්මක පැත්තට වෙනස් වුනා. අද මේරටේ උද්භිද උද්‍යාන වල ප්‍රධාන අරමුණු වන්නේ 1. ශ්‍රී ලංකාවේ ශාක විතැන් සංරක්ෂණය (ex situ conservation), 2. ශාක සම්බන්ධව පර්යේෂණ කිරීම, නිවැර දි තොරතුරු හා තාක්ෂණික දැනුම ලබාදීම 3. උද්භිද උද්‍යාන උසස් ලෙස නඩත්තුව හා නව උද්‍යාන පිහිටුවීම 4. ඓතිහාසික වටිනාකමකින් යුතු ශාක සංරක්ෂණය කිරීම හා 5. ශ්‍රී ලංකාවේ මල් වගා කර්මාන්තය දියුණු කිරීම පිණිස කටයුතු කිරීමයි.
මා අදහස් කරන අන්දමට මෙයින් ඉතාමත්ම වැදගත් අරමුණක් වන්නේ විතැන් සංරක්ෂණයයි. මේ රටට ආවේණික ශාක වර්ග කිහිපයක් අද දකින්නට ලැබෙන්නේ පේරාදෙනියේ උද්භිද උද්‍යානයේ විතරයි. (extinct in the wild) මේවා උද්භිද උද්‍යානයට ගෙනවිත් වවා නොතිබුනා නම් අද ඒවා මේ මිහිපිට නැති වෙන්න තිබුනා.
ශ්‍රී ලංකාවේ දේශිය සපුෂ්ප ශාක 3,154 ක් විතර තියෙනවා අලුත්ම දත්ත වලට අනුව මේවායෙන් සියයට හතලිස් හතරක් විතර විවිධ තර්ජන වලට ලක්වෙලා. මේවා ආරක්ෂා කරන්නට ඇති සුදුසුම ක්‍රමය ඒවා දකින්නට ලැබෙන ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් ඇප කැපවී විශාල මෙහෙයක් ඉටු කරනවා. ඒත් ඇතැම් අවස්ථාවලදී මේ සංරක්ෂණ විධිය (in-situ conservation) විතරක් ප්‍රමාණවත් වන්නේ නැති බව ඉහත ඡේදයෙන් පෙනෙනවා.
ඉතින් විතැන් සංරක්ෂණය මගින් අපේ රටේ ශාක සංරක්ෂණය කරන්නනම් අලුතින් තවත් උද්භිද උද්‍යාන පිහිටුවීමට අවශ්‍යයි. හේතුව මේ රටේ විවිධාකාර දේශගුණ කලාප වල විවිධ ශාක දක්නට ලැබෙන නිසා. හම්බන්කොට, අනුරාධපුර පැතිවල ඇති ශාක හක්ගල වවන්න යන එක වත් මස්කෙලියේ තියෙන ශාක ගම්පහ වවන්න යන එක වත් ඥාණාන්විත නැහැ. මේ රටේ බහුතර ජනතාව විසින් අනුමත කර ඇති රාජ්‍ය ප්‍රතිපත්තියට (මහින්ද චින්තන) හා මේ රජයේ දස අවුරුදු සැලැස්මට (මහින්ද චින්තන අලුත් ශ්‍රී ලංකාවක්) අනුව 2016 වන විට උද්භිද උද්‍යාන දහයක් ආරම්භ කරන්නට තිරණය කර ඇත්තේ මේ නිසායි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක හා මහාචාර්ය නිමල් ගුණතිලක යුවලට අනුව මේ රට විවිධ ශාක කලාප (floral regions) 15 කට බෙදන්න පුලුවන්. අලුතින් උද්භිද උද්‍යාන ඇති කිරීමේදී මෙම කලාප නියෝජනය වෙන පරිදි ඒවාට සුදුසු ස්ථාන තෝරා ගැනීමටයි අදහස.
දැනටමත් අලුත් උද්භිද උද්‍යාන දෙකක් පිහිටුවීමට වැඩ ආරම්භ කරල තියෙනවා. මෙයින් පළමු වැන්න 2006 වර්ෂයේදී හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේත් අනිත් එක 2007 වර්ෂයේදී අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේත් පටන් ගත්තා.
හම්බන්තොට තෝරා ගත්තේ ලංකාවේ ශුෂ්කම වියළි කලාපය නියෝජනය කරන්නයි. දිවයිනේ අඩුම වර්ෂාපතනය (වාර්ෂික වර්ෂාපතනය මිමි 650 ට අඩු) ලැබෙන්නේ මේ ප්‍රදේශයටයි.
බොහෝ දෙනෙත් හිතන්නෙ නැහැ අපේ රටේ වියලී කලාපයේත් ඉතා සුවිශේෂී ශාක (හා සත්ත්ව) විවිධත්වයක් තියෙන බව. ඒ වගේම වියලි කලාපයේ තරම් ස්වභාවික වෘක්ෂලතා දර්ශ විනාශවන ප්‍රදේශ තවත් නැති තරම්. වියලි හා ශුෂ්ක ප්‍රදේශවල ඇති ශාත විතැන් සංරක්ෂණය කාලීනව ඉතා වැදගත්.
වියළි කලාපීය උද්භිද උද්‍යානය පිහිටුවන්න තෝරාගත්තේ අක්කර 300 ක ඉඩමක්. මහවැලියට අයිතිව තිබූ මේ ඉඩම ඇතුලේ අහස් දියෙන් පිරෙන වැවු තුනත් තියෙනවා. ඊට අමතරව කිට්ටුව තියෙන බැරගම විලෙන් දිනකට ජලය ඝණ මීටර් 1,000 ක් සැපයෙන ඝණ මීටර් 225ක ධාරිතාවකින් යුතු ජල ටැංකියක් හා නල මාර්ගයක් පිහිටුවා තියෙනවා.
කොන්ක්‍රීට් වනාන්තරයක් වැනි නිව්‍යෝක් නුවර මැද තියෙන මධ්‍ය උද්‍යානය (Central Park) වගේ වියළි කලාපීය උද්භිද උද්‍යානයත් කවද හරි හම්බන්තොට පුරවරයට හරිත පෙණහැල්ලක් වෙන එක මට විශ්වාසයි.
හම්බන්තොට පැත්තේ උද්භිද උද්‍යානයක් හදනවා කිවිවම බොහොමයක් දෙනා බලන්නෙ වපර ඇහින්. මේ තරම් වියළි කලාපයක මොනවා වවන්නදැයි සමහරු අහනවා. මා ඒ අයට මතක් කර දෙන්න කැමතියි විවිධ හේතු නිසා රට මැදට එන්න කලින් ශත වර්ෂ ගණනාවක් අපි උද්‍යාන හැදුවේ වියළි කලාපයේ බව.
සිරිල් විජේසුන්දර