මහා ආශ්වාදයකින් හිත් පිරී ගොස් තිබුණේය. ජීවත්වන බවත් අමතක කරවන ලද මිනිසුන් සහිත වටපිටාවක මෙවැනි පිරී ගිය මොහොතක් හමුවන්නේ විරලවය. ඒ විරල චමත්කාරය සිත් පුරා වි`දිමින් උන්නෙමු.
අප බොහෝ දෙනකුට බලාපොරොත්තු සමග උපදින සුවපත් හැ`ගීම් මතකයට නගාගත නොහැකි තරමටම අමතකය. එපමණටම ආගන්තුකය. එහෙත් අමතකව ගිය මියුරු හැ`ගීම් පණ ගසා මතුවන විට ජීවත් වන බව දැනෙන්නේය. එවන් මොහොතක අපට අප යළිත් ජීවත් වන බව දැනෙන්නේය. ගතවෙමින් තිබුණේ එවන් මියුරු මොහොතකි.
මා අභියස ඉන්නේ ලෝකය දිනාගෙන එල්ලක්‌කල වලලියෑද්ද ගමට අරගෙන ආ ආදරණීය තරුණයාය. මේ රට තමා වෙනුවෙන් දැරූ පිරිවැයට ණය ගෙවීමට ලෝකයේ මහා ආශ්චර්යයන් ඉවත දමා ගමට පැමිණි කළගුණ දත් ගෞරවනීය මනුෂ්‍යයාය. ලෝක සම්භාවනාවට ලක් වූ මේ තරුණ ඉංජිනේරුවා එල්ලක්‌කල ගමට පැමිණ සිටින්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්‌සුන් වෙනුවෙන් තමන් කළ නිර්මාණයක් ද රැගෙනය. ඒකක 150 දක්‌වා විදුලි පරිභෝජනයක යෙදෙන සියයට අනූවකට ආසන්න මේ රටේ සාමාන්‍ය පන්තියේ මිනිසුන්ගේ විදුලි බිල සියයට තිහේ සිට පනහ දක්‌වා අඩු කරගත හැකි නිමැවුමක් රැගෙනය. එම නිර්මාණයට විවිධ වෙළ`ද සමාගම් කාරයින් විසින් දැවැන්ත ලංසු ඉදිරිපත් කරද්දී ඉන් උපදවා ගත හැකි මහා ලාභය ගැන නොතකා දුප්පත් මිනිසෙකුට දැරිය හැකි මිලකට මෙම නිමැවුම සමාජගත කරන ආකාරය ගැන සැලසුමක් රැගෙනය. ඔහු කමල් එදිරිසිංහය.