පොලිස් සේවයේ විශේෂ අතුරු හමුදා ඒකකයක් වශයෙන් විශේෂ කාර්ය බලකාය දැනට සේවයේ යෙදි සිටී. ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව තිබු කටුකුරුන්ද පොලිස් විද්‍යාලය මධ්‍යස්ථානය කර ගනිමින් එස්.එස්.එෆ් (SPECIAL STRIKING FORCE) විශේෂ ප්‍රහාරක බලකාය නමින් බිහි වූ අතර 1983.03.01 වන දින විශේෂ කාර්ය බලකා පුහුණු පාසල ලෙස නම් කර නිලධාරීන් පුහුණු කිරීම සිදු කරන ලදී.

මෙම විශේෂ ප්‍රහාරක බලකායේ ප්‍රධාන කාර්යය වුයේ උතුරු ප්‍රදේශයේ පොලිස් ස්ථානවල ආරක‍ෂාව හා එම ප්‍රදේශයන් හි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව පොලිසියට සහාය වීමය. මෙම කණ්ඩායම් අතරින් නිළධාරීන් පිරිසක් 1983 ජුලි මාසයේ ඇතිවු ‘කළු ජුලිය’ නමින් හැඳින්වු ජාතිවාදී කෝලාහලය අවස්ථාවේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ආරක්ෂාවට යොමුකරන ලදි. මෙම කණ්ඩායම වැල්ලවත්ත අයි.බී.සී. මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක විය.

1984 වර්ෂයේ සැප්තැම්බර් 01 වැනිදා විශේෂ කාර්ය බලකායේ සෙබළු පිරිසක් ගමන් ගනිමින් සිටි ට්‍රක් රථයකට පේදුරුතුඩුව සහ වැල්වැටිතුරේ අතර මුහුදුබඩ මාර්ගයේදී ත්‍රස්තවාදින් එල්ලකල බෝම්බ ප්‍රහාරයකින් සෙබළුන් 04 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකුට පමණ තුවාල සිදුවිය.  මෙය විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ පළමු ත්‍රස්ත ප්‍රහාරය වූ අතර අදටත් මියගිය රණවිරුවන් සිහිකර සැප්තැම්බර් 01 වැනිදා මෙම දිනය සමරනු ලබයි.

1984 දී එස්.එස්.එෆ් (SSF) විශේෂ කාර්ය බලකාය (SPECIAL TASK FORCE) නමින් ප්‍රතිව්‍යුහ ගත කර ආරක‍ෂක අමාත්‍යංශය යටතේ නවීන අවි ආයුධ හා අවශ්‍ය උපකරණ සමග කැළෑ නිළ ඇදුම් ලබාදෙන ලදි. මේ සඳහා එවකට සිටි ජනාධිපති ආරක්ෂක උපදේශක රවී ජයවර්ධන මහතා මූලිකත්වය ගෙන කටයුතු කල අතර පසුව බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ SAS නැමැති විශේෂ බලකායක උපදේශක කණ්ඩායමක් ද දිවයිනට ගෙන්වා විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට පුහුණුව ලබා දෙන ලදී. එවකට අණදෙන නිලධාරීවරුන් ලෙස කටයුතු කල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෂර්ණි විජේසූරිය මහතා සහ දිවංගත නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේන මහතා විශේෂ කාර්ය බලකායේ උන්තිය සදහා අපරිමිත මෙහෙවරක් ඉටුකරන ලදී.

යාපනයේ රාජකාරි කටයුතු කරමින් සිටි විශේෂ කාර්යය බලකාය පසුව ස.පො.අ. එන්.කේ. ඉලංගකෝන් මහතාගේ එනම් වර්ථමාන පොලිස්පතිතුමාගේ නායකත්වය යටතේ මඩකලපු දිස්ත්‍රික්කයේ රාජකාරී සදහා යොමුකරන ලදි. එහිදි මඩකලපු දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ කල්ලඩි සිට අක්කරපත්තුව දක්වා කදවුරු හතරක් මුලින්ම ඇති කරන ලදි. කිරාන්,කල්ලඩි, කලවංචිකුඩි සහ අක්කරේපත්තු යනු එම විශේෂ කාර්ය බලකා කදවුරු හතරයි.  

2009.05.19 වන දින මානුෂික මෙහෙයුම අවසන් වන විට මඩකළපුව සහ අම්පාර ප්‍රදේශයන්හි විකාබ කදවුරු 64 ක් හා උප කදවුරු 20 ක් ස්ථාපිත කර තිබුණු අතර වව්නියාව මන්නාරම ප්‍රධාන සැපයුම් මාර්ගයේද ඕමන්ත සිට පුලියන්කුලම් හරහා කනගරායන්කුලම් දක්වා A-9 මාර්ගයේද ඕමන්ත වැලිඔය මාර්ගයේද විශේෂ කාර්ය බලකාය කදවුරු පිහිටුවා තිබුණි.

1987 දී පාර්ලිමේන්තු සංකිර්ණයට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් සමගම ප්‍රභූ ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කිරිම ආරම්භ කල අතර එම භාරදූර කර්තව්‍ය විශේෂ කාර්ය බලකාය වෙත පැවරිණී. එහි ප්‍රථිපලයක් වශයෙන් විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂක කොඨිඨාශය ආරම්භ විය. එතැන් පටන් මේ දක්වා ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ මැති ඇමතිවරුන් විශාල පිරිසක් ද ප්‍රභූන් සෑහෙන පිරිසකගේද ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය සිය දායකත්වය සපයා ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකාය(STF) ෆේස්බුක් පිටුව - STF Page

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews