dhaaru.com වෙතින් 

ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග පිළිබඳ විමසිලිමත් දෑසින් බැලුවහොත්, අනුරාධපුර යුගයේ සිට කන්ද උඩරට මහනුවර යුගය දක්වා ම විවිධ මුලාශ්‍ර වලින් කරන ලද කැටයම් කලාව අනුක්‍රමයෙන් විකසනය වෙමින් පැවති බවට සාධක දැකගත හැකි වේ. ශ්‍රී ලංකාවේ මුල්ම ජාන පදිකයන් ලෙස සැලකෙන ආර්යයන් තුළ පවා යකඩ භාවිතය පිළිබඳ දැනුම පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර වල දැක්වෙන "අයෝ", "අයස්" යන පද සාක්ෂි දරයි. ආර්යයන් කෘෂි කර්මාන්තයට හුරු වීමත් සමඟ නඟුල, කැත්ත, උදැල්ල ආදී උපකරණ සකස් කර ගත් බව දක්නට ලැබේ. බෞද්ධාගම මෙරටට හදුන්වා දීමෙන් පසුව එනම් ක්‍රි.පූ.06 වන ශත වර්ෂයට පසුව සංඝමිත්තා තෙරණිය සමඟ භාරතයෙන් පැමිණි ශිල්ප ශ්‍රේණි දහ අටක කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්ත විමත් සමඟ යකඩ හා වානේ සම්බන්ධ කර්මාන්ත ද ශීඝ්‍ර ලෙස වර්ධනය විය. 
එමෙන්ම එම කර්මාන්තයෙහි නිර්මාණාත්මක බව හා සූක්‍ෂ්ම බව ද ක්‍රමයෙන් වර්ධනය විය. ඒ අනුව යකඩ උණු කිරීම හා වානේ සකස් කිරීම අතීත කාලයේ සිටම ශ්‍රී ලංකාවේ සිදු කළ බවට සාධක ස්ථාන රැසක සිදු කළ පුරා විද්‍යාත්මක කැනීම් වලින් සොයා ගෙන තිබේ. අභයගිරි කැනීම් වලදී ලෝකුරු කම්හලක නටඹුන් හමුවී ඇති අතර ලෝකඩ වලින් කරන ලද කාසි ද හමුවී ඇත. එසේම බලන්ගොඩට නුදුරු ගම්වල සහ නුවර දිස්ත්‍රීක්කයේ ද යකඩ හා වානේ කර්මාන්තය පදනම් වූ භාණ්ඩ නිෂ්පාදනය සිදු කර ඇත. කොත්මලේ යකඩ සඳහා ද කිරිවවුල (උඩු නුවර) පිත්තල භාණ්ඩ සඳහා ද ප්‍රසිද්ධියට පත්ව තිබීමෙන් ඒ බව සනාථ වේ. ප්‍රමාණාත්මකව ගත් කළ මෙම භාණ්ඩ නිෂ්පාදනය ඉතා අල්ප වුව ද ඒවා තත්ත්වයෙන් උසස් ඉතා විශිෂ්ට නිර්මාණයන් විය. අතීතයේ ශ්‍රී ලංකාවෙන් සිරියාවට පවා කඩු සෑදීමට අවශ්‍ය වානේ අපනයනය කළ බව ඔබ ඇසූ විට මවිතයට පත් වේවි. නමුත් එය සැබෑවකි.

පිත්තල තහඩු වැඩ

පිත්තල කර්මාන්තයේදී තලන වැඩ නැතහොත් තහඩු වැඩ වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ විට පිත්තල තහඩු කර්මාන්තයේ භාණ්ඩ බිත්ති සැරසිලි, බන්දේසි, කුඩා පෙට්ටි වර්ග, කණ්ණාඩි රාමු ආදී භාණ්ඩ ලෙස වැඩි වශයෙන් දක්නට ලැබේ. 
තමා නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන භාණ්ඩය මුලින්ම කඩදාසියක් මත ඇද ගැනීම ශිල්පිය විසින්ම සිදු කරනු ලබයි.  පිත්තල බන්දේසියක් වැනි හැඩ අඩු සරල භාණ්ඩයකදී හැර, කෙණ්ඩියක් හෝ තේ කට්ටලයක් වැනි භාණ්ඩ වලදී අවශ්‍ය මෝස්තර අදාල පරිදි වෙන වෙනම කොටස් ලෙස කඩදාසි මත ඇද ගැනීම කළයුතුවේ.
අදාල නිර්මාණය කඩදාසි මත නිවැරදිව සටහන් කරගැනීමෙන් පසුව එම භාණ්ඩයේ ප්‍රමාණය හා එහි භාවිතය අනුව අවශ්‍ය තහඩුවේ ඝනකම ශිල්පියා විසින්ම තීරණය කරනු ලබයි. (මෙය ශිල්පියාගේ නිපුණතාවය මත තීරණය කල හැක) නිර්මාණයේ ප්‍රමාණයට අවශ්‍ය තහඩු කොටස් කපාගෙන එය ලී වලින් තනාගත් පැතලි මතුපිටේ පන්දම් මිශ්‍රණය මත අලවනු ලැබේ.  

පන්දම් මිශ්‍රණය සාදනු ලබන්නේ පහත සදහන් ආකාරයටය; 

දුම්මල කිලෝ 1 
(සියුම්ව හලාගත්) ගඩොල් කුඩු කිලෝ 2 
පොල්තෙල් අවශ්‍ය පරිදි

තාච්චියක් ලිප තබා, දුම්මල එයට දමා හොදින් රත්වී උණුවූ පසු එයට ගඩොල් කුඩු ටික ටික මිශ්‍ර කරන අතර අදාල මිශ්‍රණය තලපයක් ලෙස හොදින් හැදිගාගෙන එයට පොල්තෙල් එකතු කර හොදින් මිශ්‍ර කරනු ලබයි.  මෙම මිශ්‍රණයේ පදම ගනු ලබන්නේ ශිල්පියාගේ ඇති ප්‍රායෝගික දක්ෂතාවය මතය.  

ලෑල්ල මත අගල් 1.5 ක පමණ ඝනකමට අතුරා ගන්නා ලද පන්දම් මිශ්‍රණය ලාම්පුව මගින් මදක් රත්කර තහඩුව ඒ මත අලවා ගනු ලැබේ. තහඩුවේ අග කෙලවර හොදින් සම්බන්ධ කරගැනීමට තහඩුව වටා ඇණ ගසනු ලබයි. ඒ මත මෝස්තරය සහිත කඩදාසිය අලවා ඉරි කටුව මගින් සියලුම මෝස්තර තහඩුවේ පිටපත් වනසේ කොටනු ලැබේ.  
ඉන්පසු විවිධ කටු උපයෝගීකරගනිමින් එහි ඇති මෝස්තර මතු කිරීම , ගිල්ලවීම, සියුම් කිරීම කරනු ලබන අතර මුළු භාණ්ඩයේ හැඩය අනුව සැකසීමේදී එය නැවත ගැලවීමට සවි කිරීම සමහරවිට අවස්ථාවන් ගණනාවක් සිදු කලයුතු වනු ඇත.

අදාල සියළු මෝස්තර හැඩතල නිමා කල පසුව භාණ්ඩය ලාම්පුව මගින් රතුපාට වන තුරු රත්කර පසුව ගිනිවතුර යොදා පිරිසිදු කර ඔප දමා මට්ටම් කර නිමා කරනු ලබයි.






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews