POSTED ON Thursday, March 15, 2018| | Edit Post
ලබන පළමු වැනිදා සිට පොලිතින් හා සිලි සිලි බෑග් නිපදවීම වෙළෙදාම පාවිච්චිය තහනම් වේ. එය දඬුවම් ලැබිය හැකි වරදක් ද වෙයි. එසේ නම් තිබෙන පොලිතින්වලට අපි මොකද කරන්නේ පොලිතින් පිච්චීම පිළිකා ජනකය. ඒවා වළ දැමීම පස නිසරු කරයි. මෙයට අලුත් ම විසඳුමක් ලෙස මහනුවර නව සිසුවෙක් හා සිසුවියක් කුණු කසළ පොලිතින් හා ප්ලාස්ටික් නව භෞත රසායනික ක්‍රියාවලියක් මඟින් ප්‍රතිචක්‍රීකරණය කර ශක්තිමත් ගඩොලක් හා තුනී ලෑලි නිපදවීමේ ක්‍රමයක් ලොවටම හඳුන්වා දී ඇත. එපමණක් නොව ජීව අඟුරු ප්ලාස්ටික් මිශ්‍රණය නම් එම නිපැයුමට 2017 වසරේ ලොව විශිෂ්ටතම නව නිපැයුම්කරු සම්මානය හිමි රන් පදක්කම හිමිකර ගැනීමට ද ඒ අයියාට හා නංගීට හැකි විය. පසුගියදා තායිවානයේදී පැවැති නව නිර්මාණ තරගයකදී මේ ජයග්‍රහණය අපට හිමි විය.

මහනුවර ධර්මරාජ විද්‍යා‍ලයේ උසස් පෙළ හදාරන ජේ.එම්. ළහිරු කාවින්ද සිසුවා හා මහනුවර මහාමායා විද්‍යාලයේ ජේ.එම්. අයේෂා දේවින්දි සිසුවිය මේ නව නිර්මාණයේ අයිතිකරුවෝ වෙති.

රටටම කීර්තියක් අත් කරදෙමින් මේ දරුවන් පසුගියදා, තායිවානයේ නව නිපැයුම් සම්මාන තරගාවලියේදී ලබාගත් රන් පදක්කම් ගණන දෙකකි. රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් ද ඔවුහු එහිදී හිමිකරගත්හ.‍

පාසල් වියේ මුල සිට ම නව නිර්මාණ කළ මේ සිසුවා හා සිසුවිය මීට පෙර එතෙර මෙතෙර පැවැති නව නිපැයුම් තරගවලට නව නිර්මාණ 65 ක් ඉදිරිපත් කර රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් 15 ක් දිනා ගෙන ඇත.

‘විස ඝෝර සරුපයා දැක නාරු මෝඩයා’ යයි කියමනක් ගම්බදව ඇත. නමුත් අද අපේ රටේ වඩා විෂ සර්පයන් හඳුනා ගැනීමට විද්‍යාත්මක ක්‍රම වේදයක් සාමාන්‍ය ජනතාව අතර ඇත්තේ නැත. පාරම්පරික අදහස අනුව විෂ සර්පයන් හඳුනාගැනීමට දිගටම සිදු කෙරීගෙන යයි‍.

එෙහත් අපේ කන්ද උඩරටින් බිහිව‍ූ මේ දරුවන් දෙදෙනා වඩා විෂ සර්පයන් හා ශාක සාමාන්‍ය ජනතාවටත් හඳුනා ගත හැකි ඡායාරූප සහිත සරල විද්‍යාත්මක නාමකරණයක් දැන් ලොවටම හඳුන්වා දී ඇත. මේ පසුගිය දා තායිවානයේදී පැවැති නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියේදී නිර්මාණයන්ට ද රන් පදක්කම් ලැබිණි.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් සංවිධානය කරන ලද ‘සහසක් නිමැවුම් - 2017’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේදී පාසල් අං‍ශයෙන් ජයග්‍රහණය කළ නව නිපැයුම් 13 ක් ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ ප‍ූර්ණ අනුග්‍රහය සහ මඟ පෙන්වීම යටතේ, දෙසැම්බර් 8 සිට 10 දක්වා තායිවානයේ දී පැවැති Kaohsiung International Invention and Design EXPO (KIDE) – 2017 ප්‍රදර්ශනයට එක්කිරීමට එම නිර්මාණකරුවන්ට අවස්ථාව ලැබිණි. නව නිපැයුම් සඳහා වූ ලොව ප්‍රමුඛතම ආයතනයක් වන ලෝක නව නිපැයුම් බුද්ධිමය දේපළ සංවිධානය (WIIPA) විසින් KIDE – 2017 ප්‍රදර්ශනය සංවිධානය කරන ලද අතර ඒ සඳහා රටවල් 26 ක් නියෝජනය කරමින් නව නිපැයුම්කරුවන් 399 ක් සහභාගි වූහ.‍

ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකීය යොවුන් නව නිපැයුම්කරුවන්ගේ විශිෂ්ට දක්ෂතා විශේෂ ඇගයීමට ලක්වූ අතර ‘හොඳම අන්තර්ජාතික යොවුන් නව නිපැයුම්කරු’ සඳහා වන සම්මානය ‘KIDE – 2017’ දිනා ගැනීමට ‘ජීව අඟුරු සහ ප්ලාස්ටික් මිශ්‍රණය’ නමැති නව නිපැයුම් ඉදිරිපත් කළ ජේ.එම්. ළහිරු කාවින්ද සහ ජේ.එම්. අයේෂා දේවින්දි සමත් විය. මෙම විශිෂ්ට සම්මානය ද සමඟින් ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකීය යොවුන් නව නිපැයුම්කරුවන් සියලු දෙනා ම සම්මානයට පාත්‍ර වූ අතර ඔවුන් විසින් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට සමත් විය.

එමෙන් ම මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකීය යොවුන් නව නිපැයුම්කරුවන් ක්‍රෝඒෂියානු, ඉන්දුනීසියානු සහ මැකාබ් රාජ්‍යයන් මඟින් පිරිනමන ලද විශේෂ සම්මානයන්ගෙන් ද පිදුම් ලැබීය.

ඒ යටතේ ඔවුන් කළ අනෙක් නිර්මාණය නායයෑම් වළක්වන ජීව ඉන්ධන අමුද්‍රව්‍ය සපයන ජීව වැටයි. ඒ අනුව නාය යෑමට ඉඩ ඇති ස්ථානවල භූ භෞතික ලක්ෂණ අනුව ගිනිසිරියා වැනි වගාවන්වල පැළ සිටුවිය යුතු හැඩය පිළිබඳව නව ක්‍රමයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සෝදා පාළුව අවම කරන අතර නායයෑම ද අවම කරනු ලැබේ.

මේ නිර්මාණයට ද තායිවානයේදී රිදී පදක්කමක් ලැබුණි.

මේ අනුව ගංගා දෙපස ඇළ වේලි අසල හා කඳු පාමුල ද නායයාමට ඉඩ ඇති ස්ථානවල ද මේ ජීව වැට නව තාක්ෂණික ක්‍රමය අනුව ගිනිසිරියා රෝපණය කිරීමට හැකි ය. ඊට පසු කලක් ගතවන විට මේ ගිනිසිරියා ගස්වලින් එන අතු කෙළින් ම ජීව ඉන්ධන බලාගාරවලට ලබාදීමට අවස්ථාව තිබේ. ඒ අනුව පස සංරක්ෂණය ද ජීව ඉන්ධන නිපදවීම ද මේ නව ආකාරයේ ජීව වැට මඟින් සිදු කෙරේ.

‍මේ නව නිර්මාණය කළ ළහිරු පවසන අයුරින් මේ ජීව වැට කල් යත්ම ශක්තිමත් වේ. නමුත් නායයාමට විරුද්ධව බඳින සිමෙන්ති බැමි කල්යත්ම පරණවත්ම දුර්වලවේ.

මේ නව නිර්මාණ නිපදවීමට ම‍ෙග් තාත්තා ජේ.එන්. සූරසේන අම්මා ප්‍රියන්ති කාරියවසම් මුල්ම මග පෙන්වීම කළා. පොඩි කාලේ ඉඳලම අපි විවිධ නව නිර්මාණ කළා. නමුත් ජාතික මට්ටමේ තරගාවලියකට යන්න ලැබුණේ 2015 දී.

ඊට පස්සේ අපි දෙන්නා දිගටම දක්ෂ ලෙස නව නිර්මාණකරණයට පෙළඹුණා. ඒ අනුව මට නව නිර්මාණ කටයුතු සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ටී.එස්. ජයන්ත ගුරු මහතා උදව් කළා. ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති දම්පිය වනසිංහ මහතා අපිට නිතරම අවවාද උපදෙස් ලබාදුන්නා. ඒ සමඟම නංගිගේ පාසල වන මහනුවර මහාමායා විද්‍යාලයේ නව නිපැයුම් බාර ආචාරිණී ගීතා වල්ගමගේ මහත්මියත් අපිට උදවු කළා. ඒ වගේ ම මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති අයි. විතානාච්චි මහත්මිය මගේ නංගිගේ නව නිපැයුම්වලට ලොකු මඟ පෙන්වීමක් කළා. ඒ අය පිළිබඳව අපි ස්තුති පූර්වකව මතක් කරනවා‍. ළහිරු කාවින්ද කියයි.

මෙයට අමතරව මෙවර තායිවානයේ පැවැති නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියේදී ළහිරු හා අයේෂා නිපදවූ මාර්ග හා පරිසර නීති ක්‍රියාත්මක කරන බහුකාර්ය තත්ත්ව පරීක්ෂණ උපකරණයටත් රිදී පදක්කමක් හිමිවිය.

අපේ ශරීරයේ තිබෙන ලෙඩ ‍රෝග කලින් ම පවසන සෞඛ්‍ය අවදානම පෙර දැනුම්දීමේ පද්ධතියට ද තායිවානයේදී ලෝකඩ පදක්කම හිමිවිය‍.

“අපි මීට පෙර මෙවැනි නව නිර්මාණ කළා. ඒ අතර ශරීරයට වැලඳීමට ඉඩ ඇති රෝග හඳුනාගන්න පූර්ව අනතුරු ඇඟවීමේ උපකරණයක් හා වකුගඩු රෝග දැනට තිබෙන ක්‍රමයට වඩා කලින් පෙර අවදානම කියන වැසිකිළියක දොරේ සවිකරන උපකරණයක් අපි නිපදවා තිබෙනවා.

මාර්ග හා පරිසර නීති ක්‍රියාත්මක කරන බහුකාර්ය පද්ධතිය මඟින් වාහනයක රියැදුරු බීමතින් සිටී ද යන්න ස්ථිරව දැන ගත හැකියි. එවැනි මැෂිමක් දැන් පොලිසියට ගන්න ලක්ෂ 1 ½ ක් යනවා. ඒත් මේ නව උපකරණයට ඒ මුදලින් 25% ක්වත් වන්නේ නෑ.

වාහනයක දුම ප්‍රමිතිය ඉක්මවනවාද යන්න සෙවීමටත්, වාහනයක ශබ්ද, දූෂණය වැඩි ද යන්න කියන්නත් අපි නිපදවූ ක්‍රමවලින් හා උපකරණවලින් පුළුවන්.

ඒ සමඟම පෙනහලු පිළිකා හා වෙනත් පිළිකා මුලින් ම සොයාගන්න ක්‍රමයක් ද අපි නව නිර්මාණයක් ලෙස රටට ඉදිරිපත් කර තිබෙනවා. ළහිරු පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සනත් අමරතුංග, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය පාලිත වීරක්කොඩි, ආචාර්ය ප්‍රියංක ද සිල්වා යන මහත්වරු සමඟ නව නිපැයුම්කරුවන්ගේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා මේ නව නිර්මාණ කරලියට ගෙන ඒමට උදව් කළ බව ද ළහිරු කාවින්ද කෘතඥ පූර්වකව පවසයි.

මීට අමතරව මෙම තායිවාන නව නිර්මාණ ප්‍රදර්ශන තරගාවලියේදී විජේකුමාර කේශාන්කුමාර හා විජේකුමාරි විජිත්කුමාර් ඉදිරිපත් කළ කැමරා සවිකරන ලද අඹ කඩන උපකරණයට ද, තිවින්සා රවින්දි, ප්‍රේමරත්න ඉදිරිපත් කළ දෙමුහුන් ගෑස් කුකරයට ද, එල්.ඊ.කේ.එම්. රත්නවීර ඉදිරිපත් කළ ද්විකාර්ය දොර අගුලට ද රන්පදක්කම් හිමිවී තිබේ.

මේ නව නිර්මාණ කරුවන්ට ජගත් මට්ටමේ ජයග්‍රහණ අත්කර දීමට පූර්ණ අනුග්‍රහය හා ගුවන් ටිකට් පත් පවා ලබාදීමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කටයුතු කළේ ය. ඒ පිළිබඳව විද්‍යා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍යාංශ ලේකම් උදය සෙනෙවිරත්න, අති‍රේක ලේකම් එම්.එම්.බී.සී. හේරත් යන මහත්වරුන්ට ද ප්‍රණාමය හිමිවිය යුතු ය.

නිහාල් පී. අබේසිංහ 

උපුටා ගැනීම - සිළුමිණ පුවත්පතෙනි www.silumina.lk/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews