POSTED ON Tuesday, March 24, 2015| | Edit Post
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන වකුගඩු රෝගයට හේතු වන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය නොව සිරුරේ ජලය අඩු වීමෙන් ඇතිවන විජලන තත්වය බවට ගොඩ නගන ලද මතයක් පරාජය කිරීමට දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පැවති ලෝක වකුගඩු රෝග කොන්ග්‍රසයේ දී ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සමත්ව තිබේ.

මධ්‍යම ඇමරිකානු කලාපයේ ප්‍රමුඛ වගාව සහ ව්‍යාපාරය වන උක් සීනි වගා කරන ගොවීන් 50,000 ක් පමණ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වකුගඩු රෝගයට සමාන රෝගයකින් මිය ගොස් ඇත. එහි උක් සීනි කර්මාන්තයේ නියුතු ප්‍රධාන සමාගම් 2 ක මුල්‍ය ආධාර මත ක්‍රියාකරන පර්යේෂකයන් පිරිසක් මෙම අදහස ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට ද හේතුව විජලනය බව ඔවුහු කරුණු දක්වා තිබේ.

කෙසේ වෙතත් තම පර්යේෂණ දත්ත යොදාගෙන ශ්‍රී ලංකික විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ මෙම රෝගය 1990 දශකයේ ඇති වීම, භූ ගොලීය ව්‍යාප්තිය, ගොවි ජනතාව අතර පමණක් දක්නට ලැබීම මෙන්ම රෝගීන්ගේ රුධිරයේ සහ මුත්‍රාවල දක්නට ලැබෙන වෙනස්කම් කිසිවක් විජලනය හේතුවෙන් ඇති වූ බව කිසිසේත් පැහැදිලි කල නොහැකි බවයි.

මෙහි දී කරුණු දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා ප්‍රශ්න කර ඇත්තේ හේතුව විජලනය නම් අනුරාධපුරයටත් වඩා උෂ්ණත්වය ඉහල එහෙත් ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසා කෘෂි රසායන භාවිතා නොකළ මන්නාරමේ සහ යාපනයේ මෙන්ම ආර්ථික සම්බාධක නිසා කෘෂි රසායන භාවිතා නොකළ මධ්‍යම ඇමරිකාවේ අනෙකුත් රටවලට සමාන දේශගුණ තත්ත්ව ඇති උක් සීනි වගාව සිදු කරන කියුබාවේ මෙවන් වකුගඩු රෝගයක් නැති වීමට හේතුව කුමක් ද යන්නයි.

සැසිවාරය අවසානයේ දී බහුතර විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ විජලනය යනු විෂ ද්‍රව්‍ය මගින් වකුගඩුවලට සිදු වන හානිය උග්‍ර කරවන සාධකයක් මිස රෝග නිධානය නොවන බවයි. රටවල් 135 ක විද්‍යාඥයයෝ සහ වෛද්‍යවරු 1900ක් ලෝක වකුගඩු රෝග කොන්ග්‍රසයට සහභාගී වූහ.

උපුටා ගැනීම - https://lankacnews.com/sinhala/news/129667/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews