ගිය වසරේ ටොන් 84,000යි,මේ වසරේ ටොන් 6,000යි අමාත්‍ය පාඨලී චම්පික රණවක..

අද වන විට කිරිපිටිවල සිදු කළ DCD පරීක්ෂාව පිළිබඳ ව සමාජයේ විවිධ මත ගොඩනැගීමට ඇතැම් මාධ්‍ය කටයුතු කළත්, ITI ආයතනය සිදු කළ අනාවරණය රටේ බහුතර ජනතාව පිළිගෙන ක්‍රියාකරන බව කිරිපිටි අලෙවියේ පහත වැටීමෙන් පෙන්නුම් කරන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (02) පෙරවරුවේ කාර්මික තාක්ෂණ ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ය. 

2013 වර්ෂයේ කිරිපිටි ටොන් 84,000ක් මෙරටට ආනයනය කළත් 2014 වර්ෂයේ මේ දක්වා ආනයනය කළ කිරිපිටි ප්‍රමාණය ටොන් 6,000ක් පමණි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමය පරිදි මෙරටට ගෙන්වන සෑම කිරිපිටි තොගයක ම ඩීසිඩී (DCD) පරීක්ෂාව ITI ආයතනය සිදු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ඒ සෑම පරීක්ෂණයක් ම නිවැරදි රසායනාගාර ක්‍රමවේද අනුගමනය කරමින් ජාත්‍යන්තරය පිළිගත් රසායනාගාර තත්ත්ව යටතේ සිදුකර ඇත. මේ දක්වා සිදුකළ සියලුම ඩීසිඩී පරීක්ෂාවල වාර්තා නිවැරදි බවට ITI ආයතනය මෙන්ම තමන් ද තහවුරු කරන බව අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය.

ඩීසිඩී පරීක්ෂාව සම්බන්ධයෙන් 2013 වසරේ පැවති හැකියාව මේ වන විට වැඩිකර ගැනීමට ITI ආයතනය සමත් වී ඇත. කිරිපිටි හෝ අයිසික්‍රීම් හෝ වෙනත් ඕනෑම ආහාරයක විෂකාරක ශරීරයට අහිතකර රසායනික සංයෝග අඩංගු වේ නම් එය රටේ මිලියන 20ක ජනතාවගේ ආහාර ක්‍රමවේද සහ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  

එහෙයින් ආහාර නිෂ්පාදන පිළිබඳ 100%ක් නොදන්නා කරුණු ඉස්මතු කරමින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය සුදුසු නොවන බවත් තම අමාත්‍යාංශය හෝ ඒ යටතේ ඇති ආයතන සල්ලිවලට යට නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. -  sinhala.asianmirror.lk

 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews