POSTED ON Tuesday, November 12, 2013| | Edit Post
ලංකාවේ පළමු වරට මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිය නිපදවීමේ යන්ත්‍රයක්‌ ගාල්ල කලහේ ශ්‍රී සුමංගලෝදය මහා විද්‍යාලයේ ගුරුවරයකු වන ගාමිණී විඡේසිරි මහතා විසින් නිපදවා තිබේ. ඔහු එම විද්‍යාලයේ මෝටර් යාන්ත්‍රික විද්‍යා ගුරුවරයා ද වේ.

මුහුදු රළ මගින් ඇතිවන චලනය උපයෝගී කරගෙන තල බඹරයක්‌ කැරකීමට සලස්‌වා එමගින් විදුලි යන්ත්‍ර ක්‍රියාකරවා විදුලිය නිපදවීම මේ තුළින් සිදුකෙරේ. මෙම යන්ත්‍රය මුහුදු වෙරළේ සිට මීටර් දෙක තුනක්‌ පමණ මුහුදු ජලයේ පාවීමට තබා රළ උපයෝගී කරගෙන විදුලිය නිපදවීම සිදුකෙරේ. සාමාන්‍යයෙන් 4.5 ක වොල්ටීයතාවයකින් යුත් විදුලි බලයක්‌ මේ තුළින් ජනනය කළ හැකි වේ.


සහසක්‌ නිපැයුම් නව නිර්මාණ තරගයට ඉදිරිපත් කිරීම සඳහා මෙම යන්ත්‍රය නිපදවා තිබේ. මෙම නව නිපැයුම පිළිබඳ අදහස්‌ දක්‌වමින් ගාමිණී විඡේසිරි මහතා අප සමග මෙසේ පැවසීය.

මුහුද ආසන්නයෙන් ගමන් කරන විට නිරන්තරයෙන්ම මගේ හිතට ආපු දෙයක්‌ තමයි මුහුදු රළ උපයෝගී කරගෙන යම් දෙයක්‌ කරන්න පුළුවන් නේද කියලා. ඒ අනුව මට හිතුනා මුහුදු රළ උපයෝගී කරගෙන විදුලි බලය නිපදවීමේ යන්ත්‍රයක්‌ නිර්මාණය කරන්න ඒ උත්සාහය අද මල්පල ගැන්වී තියෙනවා.

මේ උපකරණය නිර්මාණය කරන්න යොදා ගත්තේ ඉවතලන පරණ යකඩ බඩු කඩවලින් ලබාගත් උපකරණ හා කොටස්‌. මේ නිර්මාණය කරන්න මට මාස දෙකක්‌ විතර ගියා. මේ උපකරණය මුහුදු වෙරළේ සිට මීටර් දෙක තුනක්‌ ඈතින් මුහුදු වතුරේ පාවීමට තියනවා. මුහුදු රළ ගොඩබිමට එනවිටත් රළ ආපසු යන අවස්‌ථාවේදීත් තමයි මේ තුළින් විදුලිය නිපදවන්නේ. තද රළ පහරකදී පවා පාලනයකින් යුතුව විදුලිය නිපදවන්න පුළුවන්. ඇත්තටම අඩු වියදමකින් මුහුදු රළ උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන්න පුළුවන්. රළ නැතිවන අවස්‌ථාවේදී පවා විදුලි සැපයුම විසන්ධි නොවී පවත්වා ගෙන යැමට නිපදවන විදුලි බලය ගබඩා කරගන්න පුළුවන්. මෙය ආකෘතියක්‌ පමණයි. මේ නිර්මාණය වැඩිදියුණු කරලා ගත්තොත් ලංකාවේ විදුලිබල පද්ධතියට විශාල දායකත්වයක්‌ ලබාදෙන්න පුළුවන්. මේ ගැන සොයා බලන්න මම අන්තර් ජාලය පරීක්‍ෂා කළා. මුහුදු රළ යොදාගෙන ලංකාවේ තියා ලෝකේ කොහේවත් විදුලිය නිපදවලා නැහැ. උදම් රළ යොදාගෙන නම් ඇමරිකාව වැනි රටවල් විදුලිබලාගාර ඉදිකරලා තියෙනවා. ඒවා අපි වැනි රටවල්වලට කරන්න බැහැ.

මුහුදු වෙරළ ආසන්නයේම සිට ඉතා අඩු වියදමකින් මේ උපකරණය යොදාගෙන විදුලිය නිපදවන්න පුළුවන් බවද ගාමිණී විඡේසිරි මහතා කීවේය. මෙවැනි නව නිර්මාණ කිරීම සඳහා තමන්ට උදව් කරන අය මෙන්ම තමන් දිරිගන්වන අයද මෙහිදී ගාමිණී විඡේසිරි මහතා සිහිපත් කළේය.

පෑස්‌සුම් වැඩ කිරීමේදී සුමුදු මහතා, බටදූවේ මයිනර් වැඩපළේ මාසකෝරාල මහත්තයා, අපේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්‌ඩලය මගේ බිරිඳ දරුවන් චමත් තාරක ඇතුළු පවුලේ අය මෙහිදී සිහිපත් කරන්න ඕන.

ගාමිණී විඡේසිරි මහතා මෙම නිර්මාණයට අමතරව පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 95 ක්‌ ධාවනය කළ හැකි යතුරුපැදියක එන්ජිමක්‌ ලෝකයේ පළමු වරට ඩීසල් බලයෙන් ධාවනය කළ හැකි යතුරු පැදියක්‌ හා අඩු වියදමකින් කුඩා එන්ජිමක්‌ සවිකළ පාපැදියක්‌ නිර්මාණය කොට තිබේ. 

උපුටා ගැනීම - Anura S. Liyanage Target-news -Tuesday, 12 November 2013 -ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews