POSTED ON Wednesday, April 22, 2015| | Edit Post

දකුණු ආසියාවේ ආදිතම ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂ හමුවූ බුලත්සිංහල පාහියන්ගල ඉදිකරමින් තිබූ ප්‍රාග් ඓතිහාසික ස්වභාවික කෞතුකාගාරයේ කටයුතු නව රජය බලයට පත්වීමෙන් පසු නතර කර දමා ඇතැයි පාහියන්ගල විහාරාධිපති පුරාවිද්‍යා ගෞරව ශාස්ත්‍රවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1986 සිට 2012 වර්ෂය දක්වා සිදු කළ කැණීම්වලින් දකුණු ආසියාවේ පැරණිතම මානව අවශේෂ පිළිබඳ තොරතුරු පාහියන්ගලින් සොයාගෙන ඇත. අවසන් වරට 2012 වසරේ සිදු කළ කැණීම්වලදී සොයාගත් ඇටසැකිල්ල අදින් වසර 10,000කට පෙර මියගිය අවුරුදු 18ත් 22ත් අතර වයස ඇති අඩි පහකට වඩා උසැති තරුණියකගේ බවට තහවුරු වී ඇත.

මෙම ඇටසැකිල්ල මතෛක් දකුණු ආසියාවෙන් හමුවූ වැඩිම උසකින් හා කෙසඟ සිරුරකින් යුතු අස්ථි පද්ධතියද වේ. එමෙන්ම එය මතෛක් හමුවූ සම්පූර්ණ මානව අස්ථි පද්ධතිය ලෙසද වාර්තා තබා ඇත.

2010 වර්ෂයේ සිදුකළ කැණීම්වලදී වසර 58,000ක් පැරණි මිනිස් මළ අවශේෂ හා ඉතා සියුම්ව විදින ලද මෝර දතක් ඇතුළු මානව කොටස් හමුවී ඇත. ඒ අනුව මතෛක් සිදු කළ කැණීම්වලින් දකුණු ආසියාවේ ආදිතම මානව අවශේෂ අදින් වසර 37,000ක් තරම් පැරණි බවද පාහියන්ගල ලෙනෙන් තහවුරු වී ඇතැයි පුරාවිද්‍යා පර්යේෂකයෝ අනාවරණය කළහ.

2012 වසරේදී හමුවූ සම්පූර්ණ මානව අස්ථි පද්ධතිය
දැනට ලංකාවේ සොයාගෙන ඇති සුවිශාලතම ලෙන වූ අඩි 285ක් දිග අඩි 175ක් උස මුහුදු මට්ටමින් අඩි 400ක් උසින් පිහිටි පාහියන්ගල ලෙනට ආශ්‍රිත පුරාවිද්‍යා කෞතුකාගාරයක් ඉදිකරන්නැයි කළ ඉල්ලීම් සියල්ල ‍පොළොවට පස් වී ඇතැයි පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

 තවදුරටත් පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ මෙසේ පැවසූහ.
ලංකාවේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුතු අක්කර හතරක හෝ පහක බිම් කොටසින් වැඩිම ප්‍රමාණය පාහියන්ගල සතුය. එම නිසා මෙම ලෝක උරුමය සංරක්ෂණය සඳහා ස්වභාවික කෞතුකාගාරයක අවශ්‍යතාව දිගින් දිගටම බලධාරීන්ට පෙන්වා දුන්නා. 

නමුත් ඒ පිළිබඳ වගකිවයුතු බලධාරීන් අවධානය යොමු කළේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සඳහා උපරිම උත්සාහ කළා. 
නමුත් මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට ක්‍රමවේදයක් නැතිව අසරණ වුණා. මෙවැනි තත්ත්වයකදී පසුගිය රජයේ හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල මහතා එහි මූලික ආරම්භය සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාදුන්නා. දෙපාර්තමේන්තුවේම ඇස්තමේන්තුව රුපියල් කෝටි හතරක් පහක් වෙනවා. නමුත් නිර්මල කොතලාවල අමාත්‍යවරයා ලබාදුන් ප්‍රතිපාදන මගින් මූලික කටයුතු ආරම්භ කළා. 

අවාසනාවකට නව රජය බලයට පත්වීමෙන් පසු එම මුදල් ප්‍රතිපාදන නතර කිරීම නිසා ඉදිකිරීම් අතරමග නතර කර දමා තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහපාලන සංකල්පයේත් තියෙනවා ඓතිහාසික උරුමය රැකගැනීම ගැන. ඒ නිසයි අපි යහපාලන රජයක් බිහිකර ගත්තේ. සිදුවිය යුතුව තිබුණේ මෙවැනි කටයුතු සඳහා අවශ්‍ය ඉතිරි මුදල් ලබාදී මේ කටයුත්ත කඩිනම් කිරීමයි.

නමුත් සිදුවුණේ ලැබුණු ලක්ෂ 30ත් නතර කර දැමීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සිදුවන්නේ මොකක්ද කියලයි ප්‍රශ්නය. පසුගිය රජයේ බලධාරීන්ට කොතෙක් කීවත් අදාළ බලධාරීන් මග හැරියා. නමුත් බුලත්සිංහල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල මහතා මේ සඳහා ආරම්භක පියවර තැබුවා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් දැන් ඒ සියල්ල නතරවෙලා ඉදිකිරීම් විනාශ වෙමින් තියෙනවා. යහපාලනයේ යහපත මේ ආකාරයටදැයි මිනිසුන්ට ප්‍රශ්න මතුවෙනවා යැයි ආනන්ද සාගර හිමියෝ සඳහන් කළහ.

පාහියන්ගලින් මතෛක් සොයාගෙන තිබෙන ප්‍රාග් ඓතිහාසික තොරතුරු ලෝකයේම ආදි මානවයන් පිළිබඳ විස්මය දනවනසුලුය. 2012 වර්ෂයේදී අවසන් වරට සිදු කළ කැණීම්වලදී සොයාගත් අස්ථි පද්ධතියෙන් ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ තොරතුරු රාශියක් හෙළිවන බව පර්යේෂකයෝ පැවසූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජීව මානව විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ජේ. ස්ටොක් මහතාගේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙම අස්ථි පද්ධතිය හිමි තරුණිය මියගිය පසු මෙම ස්ථානයට ගෙනැවිත් හිස උතුරු දෙසට සිටින ලෙස ශරීරය අඩක් වකුටු කර වළදමා ඒ මත ගල් තුනක් තබා තිබූ බවය.

එසේම සම්පූර්ණ අස්ථි පද්ධතියක් හමුවූ දුර්ලභ අවස්ථාවක් බවය. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ සහායෙන් මෙම අස්ථි කොටස් එහි යවා පර්යේෂණ සිදුකර මෙම තොරතුරු තහවුරු කරගැනීමට හැකිව තිබේ. එම නිසා මෙම ලෙන ආශ්‍රිතව තවමත් සොයා නොගත් ප්‍රාග් ඓතිහාසික තොරතුරු ඉතා විශාල යැයි පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ. ලෝක උරුමයක් වූ මෙම ලෙනට දේශීය හා විදේශීය සංචාරකයෝ එනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, පුරාවිද්‍යා ගවේෂකයෝ, ආගමික බැතිමතුන් ආදී විවිධ පිරිස් එනවා. ඇතැම් නරඹන්නන්ගෙන් ප්‍රදේශයට ලෙනට හානි සිදුවෙනවා. මේ නිසා මෙම ලෙන අවට ස්වභාවික කෞතුකාගාරයක් ලෙස සංරක්ෂණයට අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ කටයුත්ත පෙරදැරිව රුපියල් ලක්ෂ 30ක ප්‍රතිපාදන ලැබි ඉදිකරමින් තිබූ ඉදිකිරීම්ද මේ වනවිට නතර වී ඇත. මතෛක් පාහියන්ගලින් සොයාගත් සියලු පුරාවිද්‍යා තොරතුරු කොළඹට හා විදේශයන්ට ගෙනගොස් ඇති නිසා අවසානයේ පාහියන්ගල ඉතිහාසයට ඉතිරි වන්නේ දැවැන්ත ලෙන හා ගල පමණක්දැයි ප්‍රදේශයේ ජනතාව විමසති. එම නිසා මෙම ලෝක උරුම සම්පත සංරක්ෂණයට යහපාලනයේ බලධාරීන්ගේ නෙත් යොමුවනු ඇතැයි බුලත්සිංහල පාහියන්ගල ජනතාව ඉල්ලති.

වයි. ආරියතිලක-බදුරලිය
උපුටා ගැනීම http://www.rivira.lk/ වෙතිනි .
















Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews