POSTED ON Friday, September 2, 2016| | Edit Post
අප ඉදිරියේ ඇති ජාතික අර්බූද සඳහා තිරසාර විසඳුම් සෙවිය යුත්තේ රාජ්‍ය තන්ත්‍රය තුළයි. නමුත් එම කාරණා පිළිබඳ සමාජ දැනුවත් කිරීම් ආරම්භයට සුදුසුම ස්ථානය පාසල් පද්ධතියයි.

බලශක්ති සුරක්ෂිතතාව අතින් අප රට සිටින්නේ ඉතා අවදානම් මට්ටමකයි. විදුලි පරිභෝජනය ඉහළ යාමට සාපේක්ෂව විදුලි නිෂ්පාදන ධාරිතාව කාලීනව ඉහළ නොයෑමයි මෙයට ප්‍රධාන හේතුව. පවතින තත්ත්වයන් මෙසේ ම පැවතියහොත් වසර 2018 පමණ වන විට විදුලි සැපයුම කප්පාදු කිරීම් නොවැළැක්විය හැකි බව සහ විදුලිය සඳහා අයකිරීම් සියයට පනහකින් පමණ ඉහළ යාම අනිවාර්ය අහිතකර පියවරයන් වනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි.

ස්වභාවික සම්පත් පුනර්ජනයේ වැදගත්කම අන් කවරදාකටත් වඩා තදින් අපට දැනෙන මේ පසුබිම තුළ, ඒ පිළිබඳව පුළුල් කතිකාවක් අද ඇති වෙමින් පවතී. සාකච්ඡා සහ සැලසුම්කරණ සීමා වලින් ඔබ්බට යමින්, එහි ප්‍රායෝගික භාවිතය තුළින් රටටම පූර්වාදර්ශයක් වූ මෑත කාලීන යතාර්ථයක් අද අප ඔබ හමුවේ තබන්නෙමු.

මේ ඔබ අප සියලුදෙනා දන්නා කොළඹ රාජකීය විදු පියසයි. මූලික අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වීම හරහා දැනුමෙන් සපිරි පරපුරක් රටට බිහි කිරිමේ වගකීම මෙන්ම පවතින සමාජ සහ පාරිසරික අභියෝග හඳුනාගෙන, ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීම අරමුණු කොට ගත් සිසු කැලක් රටට දායාද කිරීම යන කාර්යභාරයන් ඉතා ඉහළින්ම ඉටු කරන තැනක් ලෙස කොළඹ රාජකීය විදුහල, ඔබ අප පොදුවේ හඳුනා ගත ඇත. හරිත කව සංකල්ප ක්‍රියාවට නැංවීම තුළින් ස්වභාවිකත්වයට වඩාත් ඇලුම් කරන සිසු පිරිසක් බිහිකරමින්, බලශක්ති කව හරහා බලශක්ති සුරක්ෂිතතාව සඳහා කැප වූ සහ සක්‍රීයව දායක වන පාසල් අතර ප්‍රමුඛත්වය අද රාජකීයන් හට හිමිව ඇත.

රාජකීය විදුහලේ ස්ථාපිත කිලෝ වොට් තිස්පහක (35 kW) ධාරිතාවක් සහිත සූර්ය විදුලි ජනකය, දැනට රාජ්‍ය පාසලක් සතු විශාලතම හරිත විදුලි පද්ධතියයි. 

වසරකට විදුලි ඒකක පනස්දහසක් (50,000 kWh) පමණ වූ හරිත විදුලි ඒකක ප්‍රමාණයක් ජාතික බලශක්ති ජාලයට නිකුත් කරමින් මෙම වැඩ පිළිවෙල අද අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. රුපියල් මිලියන දෙකකට ආසන්න, ඉහළ වාර්ෂික මූල්‍ය ඉතිරියක් මෙමගින් පාසල් පරිපාලනයට අඛණ්ඩව හිමි වෙමින් පවති. මේ හරහා සිදු වන පරිසර ආරක්ෂණයද සුළුපටු නොවේ. මෙමගින් වැළැක්වෙන හරිතාගාර වායු විමෝචනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 25 (25 MT) කට අධික බව සැලකේ. පුළුල්ව ගත්කල මෙම කටයුත්ත මූල්‍යමය අරමුණු වලින් එහා ගිය යුගයේ අවශ්‍යතාවක් සැපිරීමක් ලෙස පැහැදිලිව හඳුනා ගත හැක.

"රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සීමිත තත්ත්වයන් තුළ, ඉහළ යන පාසල් නඩත්තු වියදම් සපුරා ගැනීම අසීරු කටයුත්තක්. එය පොදුවේ පාසල් දූ දරුවන්ගෙන් අයකිරීම වෙනුවට මෙවැනි ස්ථිරසාර වැඩසටහන් සහ ව්‍යාපෘති සඳහා යොමුවීම අද සිදු විය යුත්තක්. පාසල් පරිපාලනය, සංවර්ධන කමිටු ඇතුළු අනුබද්ධ සංගම් පැහැදිලි දර්ශනයකින් සහ ප්‍රතිපත්තියකින් යුතුව සංවිධානය වීම පමණයි මෙහිදී අවශ්‍ය. සැලසුම් සහගතව සහ විශ්වාසදායක ලෙස ක්‍රියාත්මක වීම තුළින් මෙවැනි කටයුතු සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනයන්හි අනුග්‍රහය ලබා ගැනීම එතරම් අසීරු දෙයක් නොවෙයි."
පාසල් සංවර්ධන කටයුතු වලදී ක්‍රියාකාරී ලෙස කටයුතු කරන ආචාර්‍යවරයෙකු ගේ අදහසයි ඒ.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,
" Genso Power Technologies - Pvt Ltd ආයතනය මේ කටයුත්තේ දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවයි අපේ හැඟීම. සූර්ය ජනන ක්ෂේත්‍රයේ ප්‍රවීනතම ආයතනයක් ලෙස හඳුනාගත් නිසයි අප ඔවුන්ට මේ සඳහා ආරාධනා කළේ. පැවති පද්ධතියේ ධාරිතාව වැඩිදියුණු කිරීමට අදාළ ඉංජිනේරු කටයුතු ඉතාම ඉහළ ප්‍රමිතියෙන් සහ වෘත්තීයමය භාවයෙන් යුතුව සිදුවීම අගය කළයුතු දෙයක්. මේ සැමටම වඩා මෙම ව්‍යාපෘති අයෝජනය සියයට සියයක්ම ආධාර පදනම මත ඉටු කිරීම, එම ආයතනයේ සමාජ වගකීම් සහගත ස්වභාවය පිළිබිඹු කරන්නක්.”
”ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත වී මේ වනවිට හරියටම වසරක් සපුරන මෙම ඉදිකිරීමේ ප්‍රතිලාභ, අද සිටින අප පමණක් නොව අනාගත පරපුර පවා ලබන බව අපේ විශ්වාසයයි.

 මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන ගොස් රාජකීය විදු පියස මුළුමනින්ම හරිත විදුලියෙන් බලගැන්වෙනු දැකීම අපේ අපේක්ෂාවයි. මෙම කර්තව්‍යය මුළු පාසල් පද්ධතියටම ආදර්ශයක් කොටගෙන ක්‍රියා කිරීම රටේ පොදු යහපත පිණිස හේතුවන බව මෙහි ලා කිව හැකියි. මේ වැඩ පිළිවෙල රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සදහා ද ක්‍රියාත්මක වීම රටේ ඉදිරි බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි ධනාත්මකව බලපානු ඇති බව ස්ථිරවම කිව හැකිය.”

- සටහන චමෝදි බොතේජු






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews