POSTED ON Monday, September 8, 2014| | Edit Post
dinamina.lkමෙයින් උපුටා ගන්නා ලදී.

#අද කොළඹට ලක්ෂ 4000 ක රන් වැස්සක්
#ස්වර්ණාභරණ සාප්පු 83 ක් සහිත Colombo Gold Centre විවෘත වෙයි
#කොළඹ නගරයට අනුචිත අනවශ්‍ය තදබදයක් එක් කළ ශාන්ත ජෝන් #මාළු වෙළෙඳ පොළ ඉවතට
#ඒ වෙනුවට මහල් 5ක නවීන වෙළෙඳ සංකීර්ණයක්
#ගෝඨාභය දැවැන්ත නාගරික සංවර්ධනයේ තවත් ඉලක්කයක් ජයගනී

#ඉදිකිරීම් හා සේවා කටයුතු යුද හමුදාවේ 4වන සේවා ඉංජිනේරු බළකායෙන්

නව යුගයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාව තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිකළ ‘පිටකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංකීර්ණය’ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) විවෘත කිරීමට නියමිතයි.

කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යවත් නගරය බවට පත්කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ තුළ හමුවන තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන මේ ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කැර තිබෙන අතර ඒ වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 400 කි.

මේ අනුව සුන්දරත්වය හා පිරිසිදුකම හේතුවෙන් කොළඹ නගරයට අවැසි ගාම්භීරත්වය නැවත උද්දීපනය කරමින් දෙස් විදෙස් සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඉවහල් වනු ඇත. කොළඹ නගර මධ්‍යයේ පිහිටි ශාන්ත ජෝන් මාළු තොග වෙළෙඳ සංකීර්ණය කොළඹ නගරයට අනවශ්‍ය තදබදයක් හා කොළඹ නගර මධ්‍යයකට උචිත ව්‍යාපාරයක් නොවී ය.

ඒ හේතුවෙන් මාළු තොග වෙළෙඳ මධ්‍යස්ථානය පෑළියගොඩ නව තොග වෙළෙඳ මධ්‍යස්ථානයට රැගෙන යන ලදුව, ඉන් අනතුරුව පැරණි ශාන්ත ජෝන් මාළු තොග වෙළෙඳ සංකීර්ණය මෙරට ප්‍රථම මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස නවීන පහසුකම් සහිතව නවීකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතිය හා දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය වර්ධනය කරනු පිණිස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර නවීකරණය කර ලද වෙළෙඳ මධ්‍යස්ථානයේ කඩ කාමර 83 ස්ථාපිත කර තිබේ. බැංකු හා ආපන ශාලා ඇතුළු නවීන පහසුකම් ද මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවට එහි ප්‍රමිතිය හා අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපිතකර ඇත.

මහල් 05 කින් සමන්විත මෙම ගොඩනැඟිල්ල පළමු අදියර යටතේ පළමු ‍හා දෙවන මහල් මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස නවීකරණය කරන ලද අතර මෙහි ඉදිකිරීම් හා සේවා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ 4 වන ඉංජිනේරු සේවා බළකාය විසින් සිදුකරනු ලබයි.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නවීන ලොවට උචිත වන එහෙත් සම්ප්‍රදායන්ට ගරු කරමින් කොළඹ නගරය පුරා දැවැන්ත නාගරික සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන අතර ඵෙතිහාසික වශයෙන් වැදගත් වන මේ ස්ථාන නව ලොවට ගැලපෙන සුපිරි සාප්පු සංකීර්ණයක් බවට පත්කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට අලංකාර නගරයක් තුළ සුපිරි සාප්පු සවාරියක අත්දැකීම් විඳගැනීමේ හැකියාව ලබාදී තිබේ.

කොළඹ නගරයේ ඉතා ජනාකීර්ණ ස්ථානයක් වූ පිටකොටුව ශාන්ත ජෝන් වීදියේ, ශාන්ත ජෝන් වෙළෙඳ‍පොළ 1894 ජනවාරි මස 01 වන දින විවෘත කරන ලද අතර ඒ සඳහා එවකට වැය වූ මුදල රුපියල් 17,500 කි.

වානේ ව්‍යුහයකින් යුත් විශාල මඩුවක් ලෙසින් මෙම වෙළෙඳ‍පොළ සකස් කරන ලද අතර දොරටු ගණනාවකින් යුත් මෙම ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ග දෙකක් සඳහා විවෘතව තිබිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවකට ධීවර ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ මෙම මාළු වෙළෙඳසල සියලු පහසුකම් ඇති වෙළෙඳසලක් ලෙස පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිෂ්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙන අතර ඉන් අනතුරුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නගර මධ්‍යයක තදබදය මැද පවතින තොග වෙළෙඳ මධ්‍යස්ථානයක් වෙනුවට නගරයෙන් පිටත පහසුකම් සහිත තොග වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකර තොග වෙළෙඳුන්ට ලබාදීමට පියවර ගත්තේය. මෙම නව වෙළෙඳ පරිශ්‍රය ජනතාවගේ මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවගේද කාලය හා ශ්‍රමය මුදල් ඉතිරි කරන්නක් වෙයි.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews