POSTED ON Friday, September 12, 2014| | Edit Post
​ඔඩෙල් යනු ඔටාරය. ඔටාරා යනු ඔඩෙල්ය. රටට දැනුනේ එසේය. නමුත් ඔටාරා ඔඩෙල් සම්පූර්ණයෙන්ම විකුණා නිදහස් වූවාය.

ඔටාරාගේ සම්පූර්ණ නම ඔටාරා ඩෙල් ගුණවර්ධනයි. (Otara Del Gunewardene). ඇය තරුණ වියේදී මෙරට ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වූ අතර මීට වසර විසි පහකට කළින් තම ස්ටේෂන් වැගන් රථයේ ඩිකියේ ඇඟලුම් පුරවාගෙන ගොසින් අලෙවි කරමින් ඔඩෙල් ආරම්භ කරන්නීය. එවිට ඇය අවුරුදු විස්ස යන්තම් පසුකළා පමණි
.මෙම දිරිය කත ආරම්භ කළ ඔඩෙල් ව්‍යාපාරය දළුලා වැඩෙන්නට වූ අතර ජාත්‍යන්තර තලය ජයගත් මෙරට එකම විලාසිතා සන්නාමය ඔඩෙල් ලෙස සඳහන් කිරීමේ වරදක් නොමැත.

කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ ප්‍රධාන අලෙවිසැල සමග මේ වනවිට ඔඩෙල් සතුව අලෙවිසැල් 20 ක් තිබෙන අතර එහි වාර්ෂික ආදායම රුපියල් බිලියන 4.6 ක් පමණ වේ.

ඔඩෙල් පළමු අලෙවිසැල ආරම්භ වන්නේ 1989 වසරේ කොළඹ 05, ඩික්මන් පාරේ වර්ග අඩි 1,165 ක ගොඩනැගිල්ලකයි.

2012 ජූලි මාසයේදී මැලේසියාවේ Parkson Retail Asia Ltd සමාගම ඔඩෙල් හි, කොටස් මිලදී ගනිමින් සමාගමට ඇතුළු වන අතර මේ වනවිට ඔඩෙල් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය හෙවත් සියයට 47.46 කට හිමිකම් කියන්නේ එම සමාගමයි.

ඔටාරා, අජිට් හා රුචී යන සහෝදර ත්‍රිත්වයෙන් ඊයේ කොටස් මිලදීගත් ප්‍රකට ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතා නායකත්වය දෙන සොෆ්ට්ලොජික් සමූහය සතුව මේ වනවිට ඔඩෙල් සතුවන කොටස් ප්‍රමාණය සියයට 44.5 කි.

මේ අනුව, සොෆ්ට්ලොජික් සමූහය විසින් සෙසු කොටස් හිමියන්ගේ කොටස් මිලදී ගැනීම සඳහා අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) නිකුත් කරන අතර මැලේසියානු සමාගම සතු කොටස් විකුණා දැමීමේ සූදානම් තිබේදැයි තවමත් අනාවරණය නොවේ.

සොෆ්ට්ලොජික් සමූහය විසින් කොටසක් රුපියල් 22 ක් බැගින් මිලදී ගත් අතර 2012 ජූලි මාසයේදී මැලේසියානු සමාගම විසින් ඔඩෙල් කොටසක් මිලදී ගනු ලැබුවේ කොටසකට රුපියල් 23.50 ත් රුපියල් 22.70 ත් අතර මිලක් ගෙවමිනි.

ඔඩෙල් ඊළඟ පියවර තැබිය යුතුයි

දරුවෙකු මෙන් හදා වඩාගත් ඔඩෙල් ව්‍යාපාරයට සමුදෙමින් ඔටාරා පවසා තිබෙන්නේ තමන් සත්ත්ව ශුභ සාධන කටයුතු වෙනුවෙන් සහ “එම්බාර්ක්“ සන්නාමය ප්‍රචලිත කිරීම සඳහා ඉදිරියේදී කැප වෙන බවයි.

ගෝලීය හා දේශීය වශයෙන් වඩාත් තරගකාරීවීම සඳහා ඔඩෙල් මේ මොහොතේ ඊළඟ පියවර ඉදිරියට තැබිය යුතුව ඇතැයි ඔටාරා සඳහන් කර ඇත.

විශ්ලේෂකයින් සඳහන් කරන්නේ ඔටාරා සිය “එම්බාර්ක්“ සන්නාමය තුළින් ඊළඟ පිම්ම අරඹනු ඇති බවයි.

– adaderanabiz.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews