උපුටා ගැනීම lankacnewsවෙබ් අඩවියෙනි.

ලෝකයේ ප‍්‍රමුඛතම කිරි අපනයන කරුවකු වන නවසීලන්තය තම කිරි නිෂ්පාදනයෙන් 95% ක්ම අපනයනය කරයි. එසේ අපනයනය කරන කිරි නිෂ්පාදන අතුරින් කිරි පිටි, දියර කිරි, බටර්/චීස්, සහ ප්‍රෝටීන නිෂ්පාදන ප‍්‍රධාන තැනක් ගනු ලැබේ. පසුගිය 2012 වසරේ ප‍්‍රකාශයට පත්වු දත්ත අනුව පුර්ණ යොදය සහිත කිරිපිටි මෙ.ටො 1,261,000 ක්, යොදය ඉවත් කළ කිරිපිටි මෙ.ටො.390,000 ක් බටර් මෙ.ටො.506,000 ක්, චීස් මෙ.ටො.306,000 ක්, දියර කිරි මෙ.ටො 96,000 ක්, වේ ප්‍රෝටීන් මෙ.ටො.34,000, කේසීන් ප්‍රෝටීන මෙ.ටො.81,000 ක් සහ අනෙකුත් කිරි ප්‍රෝටීන් සාන්ද්‍රන මෙ.ටො.89,000 ක් නවසීලන්තය විසින් අපනයනය කොට ඇත.


ඒ අනුව අපනයනය කරන පුර්ණ යොදය සහිත සහ අර්ධ යොදය සහිත කිරිපිටි ප‍්‍රමාණය පමණක් දළ වශයෙන් මෙ.ටො.1,651,000 ක් වේ. එම කිරිවල තිබිය යුතු ප්‍රෝටීන් ප‍්‍රමාණය දළ වශයෙන් මෙ.ටො. 330,470 ක් පමණ වේ. එයට හේතුව දළ වශයෙන් කිරිපිටිවල ප්‍රෝටීන් 27%  පමණ අඩංගු විය යුතු වීමය. නමුත් නවසීලන්තය කිරි ප්‍රෝටීන් ලෙස පමණක් අපනයනය කරන කිරි අතුරු නිෂ්පාදන ප‍්‍රමාණය මෙ.ටො.204,000 කි. ඒ අනුව නවසීලන්තය තමා විසින් අපනයනය කරන කිරිපිටි වල තිබිය යුතු ප්‍රෝටීන් වලින් දළ වශයෙන් 60% ක් ඉවත් කොට ගෙන ඒවා ප්‍රෝටීන් මිශ‍්‍රණ ලෙස වැඩි මිලට ලෝක වෙළදපලේ විකුණන බව සැක කළ හැක. එහිදී යම් රටවලට අපනයනය කරන කිරිපිටිවලින් එසේ ප්‍රෝටීන් ඉවත් කර ගන්නේ නැති නම් අනෙක් රටවලට යවන කිරිපිටි වලින් ඊට වඩා වැඩි ප‍්‍රතිශතයක් ප්‍රෝටීන ඉවත්කර ගැනිමට සිදු වන බවද පිළිගත හැක. ඒ අනුව ඉවත් කර ගන්නා ප්‍රෝටීන් ප‍්‍රමාණය 80% – 90% දක්වා වුවද වැඩිවිය හැක.

නමුත් කිරිපිටි ආනයනය කරන රටවල් එහි අඩංගු මේදය ප‍්‍රමාණය සහ ප්‍රෝටීන් ප‍්‍රමාණය මැන බලන බැවින් එසේ ඉවත් කර ගන්නා ප්‍රෝටීන් ප‍්‍රමාණය සැබැවින්ම ඉවත් කර ගෙන නැති බව පෙනෙන ආකාරයට යම් ද්‍රව්‍යක් බාහිරින් එකතු කළ යුතු බවට කිසිදු සැකයක් නැත. ඒ එසේ නොකළහොත් අදාල රටවල ආහර බලධාරීන් එම කිරිපිටි ප‍්‍රතික්‍ෂේප කරන බැවිනි.මීට පෙර කිරි වලින් කිරි මේදය ඉවත් කර ගත හැකි ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් ඉවත් කර ගෙන ඒ වෙනුවට ෆාම්තෙල් වැනි අඩු මිලට ලෝක වෙළ`දපලෙන් මිලදී ගත හැකි තෙල් වර්ග එකතු කරන බව එම සමාගම් විසින්ම පිළිගෙන ඇත. ඊට නිදහසට කාරණා ලෙස ඔවුන් ඉදිරිපත් කළ තර්කය වුයේ එසේ කිරි මේදය ඉවත් කර ගෙන වෙනත් තෙල් වර්ග එකතු නොකළහොත් ශ‍්‍රී  ලංකාව සහ බංගලාදේශය වැනි දුප්පත් රටවලට අඩු මිලට කිරි අපනයනය කළ නොහැකි බවය. එම තර්කය පිළිගත හැක්කේ කිරි මේදය හෙවත් බටර් වල මිල ෆාම් තෙල් වල මිලට වඩා තුන් ගුණයකින් පමණ වැඩි අගයක් ගැනීම නිසාය.

කිරි පිටි අපනයනය කරන සමාගම් වල එම තර්කයට අනුව ෆාම්තෙල් වෙනුවට ඊටත් වඩා අඩු මිලට ලබා ගත හැකි කුකුල් තෙල් හෝ ඌරු තෙල් වැනි සත්ව තෙල් එකතු කළහොත් අප වැනි රටවලට තවදුරටත් මිල අඩු කොට  කිරිපිටි සැපයිය හැකි බව තර්කානුකූලව පිළිගත හැක. එම තර්කයම කිරිවලින් ප්‍රෝටීන් ඉවත් කර ගැනීමේ ක‍්‍රියාවට ආදේශ කළ විට මේදයට අමතරව ප්‍රෝටීන් ප‍්‍රමාණයක්ද ඉවත් කොට ගෙන ඊට විකල්ප ද්‍රව්‍ය එකතු කළහොත් ඔවුන් කියන ආකාරයට දුප්පත් රටවලට විකුණන කිරි පිටිවල මිල තවදුරටත් අඩු කළහැක.  කිරි මේදය ඉවත් කර ගැනීමට වඩා කිරි ප්‍රෝටීන වර්ග කිරිපිටි වලින් ඉවත් කර ගැනීම මගින් තවදුරටත් මිල අඩු කළ හැක්කේ කිරිපිටි මිලට වඩා කිරි ප්‍රෝටීන මිල පස්ගුණයකින් පමණ වැඩි වන නිසාය.

එහිදී අප වැනි රටවලට අනුකම්පාවෙන් මිල අඩු කිරීම සදහා එසේ කිරිවල ගුණාත්මකභාවය අඩු කරන බව ඔවුන් පැවසුවත් එම සමාගම් එසේ කරන්නේ තම ලාභය වැඩි කර ගැනීමට බව  ඕනෑම පල් මෝඩයෙකුට තේරුම් ගත හැක. කිරිපිටි වලින් ඉවත් කර ගෙන වෙනත් වෙළද නාමයක් යටතේ විකුණන ප්‍රෝටීන් වලට පස් ගුණයකට වඩා වැඩි මිළක් ලැබෙන විට සහ එසේ විකුණන ප්‍රෝටීන ප‍්‍රමාණය අපනයනය කරන සමස්ථ කිරිපිටි වල බරින් හයෙන් එකක ප‍්‍රමාණයක් දක්වා ඉහළ අගයක් ගන්නා විට ලාභය කොපමණ ප‍්‍රමාණයකින් ඉහළ යනවාද යන්න සිතා ගැනීම අමාරු නැත. එසේම පසුගිය කාලයේදි සමාගම් විසින් කිරිපිටි මිල අඩු කරනවා වෙනුවට වැඩි කිරීමට ඉල්ලීම මගින් පැහැදිලි වන්නේ ’’ කිරි බාල ’’ කිරීමේ ඊනියා වාසිය ඔවුන් කියන ආකාරයට දුප්පත් රටවලට  දෙනවා වෙනුවට තමාගේ ලාභය වැඩිකර ගැනීමට යොදා ගන්නා බවය.

අනෙක් පැත්තෙන් ගත් විට අප රටේ රජය හෝ මහජනා විසින් කිරිපිටි ’’ බාල ’’ කොට ඒවායේ මිල අඩු කිරීම සදහා ඉල්ලීමක් එම සමාගම් වලට ඉදිරිපත් කොට නැත. ඊට අමතරව එම සමාගම් රටේ ආහාර පනතට පවා විරුද්ධව තොර තෝන්චියක් නැතිව රූපවාහිනිය මගින් ප‍්‍රචරණය කරන දැන්වීම් වලින් කියා සිටින්නේ ඔවුන් විසින් ලෝකයේ හොදම එළ දෙනුන් සහ තණ බිම් යොදා ගනිමින් ලෝකයේ හොදම කිරි අපට දෙන බවය. සමහර විට ඉහත සදහන් කළ බාල කිරීම සිදු වන්නේ තණ බිමි වලදී හෝ එළ දෙනුන් විසින් නොවන නිසා ඔවුන් කියන දේද අවශ්‍ය නම් තවදුරටත් සත්‍යයක් ලෙස පිළිගත හැක. කෙසේවෙතත් ජාත්‍යන්තර වෙළද නීති වලට අනුව කිරිවල සංයුතිය කෘතිමව වෙනස් කරන්නේ නම් ඒ බව අදාල නිෂ්පාදන ඇසුරුම් වල සදහන් කළ යුතුය. එසේ නොකිරීමද වරදක් බවට කිසිවකු එම සමාගම් වලට අභියෝග කොට නැත.

ඒ ආකාරයට සමාගම් විසින් කියන දේ පිළිබදව අල්ප මාත‍්‍ර හෝ සාධාරණ සැකයක් ඇතැයි පිළිගන්නා පිරිස් වලට පමණක් අප අසන ඩොලර් මිලියනයක් තෑගි ලැබෙන ප‍්‍රශ්නය අදාල වේ. එම ප‍්‍රශ්නය ඉතා සරලව ඉදිරිපත් කරන්නේ නම් මෙසේ ඇසිය හැක. ’’ කිරි පිටි වල කිරි ප්‍රෝටීන් වලින් තුනෙන් දෙකක් ඉවත් කර ගැනිමේ නීති විරෝධී කූඨ ක‍්‍රියාව සැගවීම සදහා එම ප්‍රෝටීන වෙනුවට කිරිපිටි වලට එකතු කරන අලූත්ම රසායනිකය කුමක්ද?  ’’ අලූත්ම රසායනිකය ’’ යන විශේෂණය යෙදීමට සිදු වන්නේ පරණ රසායනික හෙවත් මීට පෙර භාවිතා කළ මෙලමයින් සහ ඩි.සී.ඞී. යන රසායනික මේ වන විට එළිදරව් වී ඇති බැවිනි.

උත්තර සැපයීම පහසු කිරීම සදහා අවශ්‍ය  නම් තරගකරුවන්ට මෙසේ යම් ‘ඉගි’ සැපයිය හැක. ඒ අනුව මුලින්ම කිරිපිටි බාල කිරීම සදහා යොදා ගත් මෙලමයින් නැමැති රසායනිකයේ නයිට‍්‍රජන් අනු 4 ක් ඇති බව කිව යුතුය. ඊළගට කිව යුත්තේ ’’ කිරිවල ප්‍රෝටීන් ප‍්‍රමාණය මනින්නේ ඒවායේ අන්තර්ගත නයිට‍්‍රජන් අනු ප‍්‍රමාණය අනුව බවයි.’’ ප්‍රෝටීන් වල මුලික ඒකකය වන ඇමයිනෝ අම්ලයක ඇත්තේ නයිට‍්‍රජන් අනු 1 ක් පමණක් බැවින් මෙලමයින් අනු 1 ක් කිරිවලට එකතු කිරීම මගින් කිරි ප්‍රෝටීන් අනු 4 ක් ඉවත් කර ගත හැකි බවට ද තර්ක කළ හැක. එම වරදට චීනය්දී මරණ ද`ඩුවම හිමිවීම නිසා මෙලමයින් තවදුරටත් භාවිතා කළ නොහැකි විය. ඊට අදාල සියලූ කරුණු එළිදරව් වීමට පෙර කිරිපිටි සමාගම් කියා සිටියේ තණ බිම් වලට යොදන පළිබෝධනාශක වල මෙලමයින් අඩංගු වන නිසා ඒවා තණකොල හරහා සතුන්ට සහ අවසානයේ කිරි වලට එකතු වන new-z-milkබවය. නමුත් 1950 දශකයට පසුව මෙලමයින් එසේ කෘෂි රසායනික වල සංඝටක ලෙස භාවිතා කොට නැත. ඒ අනුව එම අමු බොරුවද එළිදරව් විය.

මෙලමයින් වංචාව එළිදරව් වී වසර 07 කට පසු කිරිපිටි වල ඞී.සී.ඞී.නැමැති රසායනිකයක් තිබෙන බවට මහත් ආන්දෝලනයකට පසුව එළිදරව් විය. ඞී.සී.ඞී. අනුවක නයිට‍්‍රජන් අනු 07 ක් තිබීමෙන් පැහැදිලි වන්නේ එම රසායනිකය මෙලමයින් වලට වඩා කිරි ’’ බාල කිරිමට ’’  සුදුසු රසායනිකයක් බවය. එයට හේතුව ඞී.සී.ඞී.එක් අනුවක් එකතු කිරීම මගින් කිරි වලින් ඇමයිනෝ අම්ල 07 ක් ඉවත් කර ගත හැකි වීමය. කෙසේවෙතත් රා බීමට හොරෙන් ගහට නැග හසුවු හොරා මෙන් මෙම සමාගම් නැවත කියා සිටියේ එම රසායනිකයද තණ බිම් වලට යොදන බැවින් සතුන් හරහා කිරිවලට එකතු විය හැකි බවය. එම තර්කය පිළිගන්නවා නම් ඔවුන්ගෙන් ඇසිය යුතු පළමු ප‍්‍රශ්නය වන්නේ ’’ කිරිවල එතරම් ඉහළ මට්ටමින් ඞී.සී.ඞී. අඩංගු වන්නේ ඞී.සී.ඞී. පාත්ති වල තණකොළ වැවීම නිසාද ’’ යන්නයි.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ දැන් ඞී.සී.ඞී.රසායනිකය එළිදරව් වී ඇති බැවින් නයිට‍්‍රජන් අනු සහිත වෙනත් විෂ අඩු රසායනිකයක් සොයා ගැනීමට කිරිපිටි සමාගම් වලට බල කෙරී ඇතිබවය. එහිදී වඩා සුදුසු වන්නේ ඞී.සී.ඞී.වලටත් වඩා වැඩි ප‍්‍රමාණයක් නයිට‍්‍රජන් අඩංගු වන රසායනිකයක් බවට සැකයක් නැ. ඒ අනුව එම නව රසායනිකයේ නයිට‍්‍රජන් අනු 10 ක් හෝ 12 ක් තිබිය හැක. එම රසායනිකය මිනිස් සිරුරට විෂ විය හැකිද යන්න ඉතා වැදගත් නැත. ඊට හේතුව ඞී.සී.ඞී. ප‍්‍රශ්නයේදී මෙන් අනාගතයේදී ද එම නව රසායනිකය ශරීරයට විෂ සහගත බවට සෑහෙන සාක්‍ෂි තවම ලැබී නැති බැවින් එම රසායනිකය විෂ සහිත නොවන බවට ප‍්‍රකාශ කිරීමට ශ‍්‍රී ලංකාවේ විෂ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සැදී පැහැදි සිටීමය.

වෛද්‍ය කේඑම් වසන්ත බණ්ඩාර
මහ ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews