POSTED ON Saturday, August 16, 2014| | Edit Post
ලිපිය උපුටා ගැනීම http://lankacnews.com/sinhala/ වෙබ් අඩවියෙනි

ඩෙංගු පැතිරයාම පිළිබඳව බලධාරීන් මොනවා කිව්වත් අද වන විට එය වසංගත තත්ත්වයට ආසන්න වන බව අපේ හැගීමයි. ඩෙංගු උණ වැළඳී මිය යන ආදරණීයයන් වෙනුවෙන් කඳුළු සලන ඥාතීන්ද මිය යන්නන් නිසා අනාථ වන පවුලේ සාමාජිකයන්ද සමාජය තුළ බහුල වෙමින් පවතියි. මදුරු මර්දනය – ඩෙංගු මර්දනය, මැලේරියා මර්දනය ආදී වශයෙන් කොටස්වලට බෙදාගනිමින් තවත් දෙපාර්තමේන්තු පවත්වාගෙන යමින් ජනතා මුදල් නැති නාස්ති කිරීමට එහා ගිය ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ බලධාරීන්ට නොදැනුණද රටේ සාමාන්‍ය ජනයාට දැනෙමින් පවතියි. මෙම ලිපිය ලියන ලේඛකයාද එවැනි හැගීමක් සහති වූවෙකි. මදුරු මර්දනය සම්බන්ධව වෙනත් ඇසකින් දැකීමට සමත් වූවෙකි. ඔහුගේ ලිපියේ ඇති කාලීන සහ තාක්‍ෂණික වැදගත්කම සලකා පළකරන්නෙමු.


ලිපිය මුද්‍රණ ද්වාරයෙන් එළියට පැමිණෙනවිට මගේ එකම පිරිමි දරුවා ඩෙංගු රෝගයෙන් සුවපත් වී සාමාන්‍ය පාසල් ජීවිතයට අනුගත වෙමින් සිටින්නේය. එහෙත් ඔහුට ඩෙංගු රෝගය වැළඳී අසාද්‍ය තත්ත්වයට පත් වූ විට දෙමව්පියන් ලෙස අප පත්වූ ඉච්ඡාභංගත්වයත් නැදෑ හිත මිතුරන් පත් වූ තත්ත්වයත් සලකා බැලූ විට අපි ජාතියක් ලෙස මෙම ව්‍යසනයෙන් ගැලවීමට කළ යුතු සරලම කාරණා පවා කළේ දැයි සැකයක් ඇති වන්නේය.

ඩෙංගු රෝගීන් අවට ආරෝග්‍යශාලාවල පිරෙන්නට ගත් විට කාකි ඇඳුම් ඇගලාගත් නිලධාරීන් සමග පැමිණෙන ඩෙංගු මර්ධන නිලධාරීන් මදුරුවන් රැස්වන ස්ථාන නඩත්තු කරන පුරවැසියන්ට දඩ නියම කරමින් යති. එසේම සහකම්පනය සහිත වැසියන් ඩෙංගු මර්දන ශ‍්‍රමදාන සංවිධානය කරයි. ඒවාට මමද මගේ බිරිඳද ඇතුළු පවුලේ සාමාජිකයන් සහභාගී වූයේ ‘ඩෙංගු මදුරුවා’ ඊළග මොහොතේ අපිවද සොයා එන බව දන්නා බැවිනි.

කෙතරම් දඩ ගැසුවද ශ‍්‍රමදාන සංවිධාන කළද බලධාරීන්ගේ සංඛ්‍යා ලේඛනවල මොනවා සඳහන් වුවද ඩෙංගු උවදුර පාලනය වූ බවක් අපට නම් දක්නට නැත. ඒ වෙනුවට ජීවිත බිලිගනිමින් ඩෙංගු මදුරුවා දිනෙන් දින වැජඹෙන අතර ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ඇති හමුදාමය ස්වරූපය තුළ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේදී සෞඛ්‍ය සේවා නිලධාරී මහතකුගේ ජීවිතයද අහිමි වූයේ සාමාන්‍ය මිනිසකු අතිනි.

මේ සියල්ල දෙස විමසිලිමත්ව බැලූ කල ඩෙංගු මර්දනයට දුරදක්නා පුරවැසියන් වගකීමෙන් යුතුව සම්බන්ධ වන වැඩපිළිවෙළක් දක්නට නැති බව සක්සුදක් සේ පැහැදිලිය.

කරුණු මෙසේ වෙද්දී මදුරු කරදරය සම්බන්ධව ලෝක ජනයාගේ අත්දැකීම් අන්තර්ජාලයෙන් සෙවූ කල මට දැකිය හැකි වූයේ විවිධ ජාතීන් විවිධ උපක‍්‍රම භාවිතා කර මදුරු වසංගතවලින් තම තමන්ගේ ජාතීන් ආරක්‍ෂා කර ගැනීමට කටයුතු යොදා ඇති බවයි.

පැනමා ඇළ ගොඩනැගීමේදී මැලේරියා මර්දනය සඳහා මැලතින් භාවිතා කරමින් ඇරඹුණු මදුරු මර්දන ව්‍යාපෘතිය සමස්ත මදුරු වසංගතය විනාශ කිරීමේ ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීමට පැනමා වැසියෝ සමත් වූහ. කියුබානු රජයෙන් ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ගත හැකිව තිබුණු ඉතා වැදගත් අත්දැකීම් ප‍්‍රමාණයක් ගිලිහී ගියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රමුඛ වගකිවයුතු වෙනත් අමාත්‍යාංශවල සිටින උද්දච්ච නිලධාරීන්ගේ ක‍්‍රියාමාර්ග නිසාය. කෙසේ වුවත් එල්ල වන ජනතා විරෝධය හමුවේ බී. ටී. අයි. බැක්ටීරියාව ආනයනය කළද කල් ඉකුත්වන තෙක් ගබඩාවල රඳවා තබා ගැනීමට තරම් දක්‍ෂ රාජ්‍ය නිලධාරීහු පිරිසක් අපේ රටේ සිටිති.

කෙසේ වුවද ඉංජිනේරු විද්‍යා(විදුලිබල) ජාතික ඩිප්ලෝමාධාරියකු ලෙස මා උගත් දේ භාවිතයට ගනිමින්ද අන්තර්ජාලය ඇසුරු කරමින්ද මදුරු මර්දනය සඳහා ඉතා පහසුවෙන් කළ හැකි සහ දැනටමත් ලෝකයේ භාවිතා කරන ක‍්‍රම ජනයා හමුවේ තැබීම මේ ලිපියේ අරමුණයි. ඒ අනුව ඩෙංගු මර්දනය යන එක් ක්‍ෂෙත‍්‍රයක් තුළට අවධානය යොමු නොකර මදුරු මර්දනය යන පුළුල් ක්‍ෂෙත‍්‍රය කෙරෙහි අවධානය යොමු කළෙමි. ඒ අනුව ඒ සඳහා මූලික ක‍්‍රම තුනක් පාදක කොට ගත යුතුය. එනම්,

සෘජුවම මදුරුවන් මැරීම
මදුරුවන් බෝවීම පාලනය පාලනය කිරීම.
මදුරුවන් මිනිස් වාසයෙන් දුරස්ථ කොට දුර්වල කිරීම
යන ක‍්‍රම තුනයි.

1. සෘජුවම මදුරුවන් මැරීම

මේ සඳහා මදුරුවන්ව ආහාරයට ගන්නා විලෝපිතයන්ගේ ගහණය වැඩි කළ යුතුය. බත්කූරා මදුරුවන් විශාල වශයෙන් ආහාරයට ගන්නා විලෝපිතයෙකි. එහෙත් කාලයක සිට අපේ පරිසරයේ බත්කූරා සුලබව දකින්නට නැත. කෘමිනාශක භාවිතයේ අනිටු ප‍්‍රතිඵල නිසා මෙවැනි මිනිසාගේ පැවැත්මට හිතකර ජීවීන් වඳ වී යන බව විද්වතුන්ගේ මතයයි. කෙසේ වෙතත් වහ වහා බත්කූරන්ගේ ගහණය වැඩිකිරීම මගින් මදුරු ගහණය සැලකිය යුතු මට්ටමකට අඩුකළ හැක. එසේම මෙවැනි සතුන් අප පරිසරයෙන් තුරන් වන්නේ කුමන හේතූන් මතදැයි වෙනමම සොයා බැලිය යුතුවේ.

මදුරුවන් සෘජුවම මර්දනය සඳහා මදුරු ගහණය අතිශයින් වැඩි ප‍්‍රදේශවලට මදුරු මර්දන විදුලි පිති නොමිලේම හෝ සහනදායී මිලකට ජනතාව අතර බෙදාහැරීම කළ යුතුය.

2. මදුරුවන් බෝවීම පාලනය කිරීම.

රාජ්‍ය මැදිහත්වීමකින් බී. ටී. අයි. හෝ එවැනි පරිසර හිතකාමී මදුරු මර්දන දියර හෝ කුඩු වර්ග ජනතාව අතර බෙදා දී ඒවා පරිහරණය කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතුය. එසේම මිනිසාට පහසුවෙන් ළගා විය නොහැකි ස්ථාන රාජ්‍ය මැදිහත්වීමකින් යුතුව සොයාබලා එම ද්‍රව්‍යයන් ඉසිය යුතුය.

3. මදුරුවන් මිනිස් වාසයෙන් දුරස්ථ කොට දුර්වල කිරීම.

ඉහත 1 හා 2හි දී විස්තර කළ ක‍්‍රම ආශ‍්‍රිතව  ඕනෑතරම් විද්‍යාත්මක පර්යේෂණ කර ඇති බව මගේ හැගීමයි. එහෙත් මදුරුවන් මිනිස් වාසයෙන් දුරස්ථකොට දුර්වල කොට පාලනය කිරීම සම්බන්ධ එතරම් පර්යේෂණ කර නැති බව මගේ අදහසයි. මේ සම්බන්ධව මගේ විග‍්‍රහය ඉදිරිපත් කිරීමට පෙර ශබ්ද තරංග සම්බන්ධව මිනිස් හා සත්ත්වයන්ගේ සංවේදීතාවය මදකට සලකා බලමු. මිනිසාගේ කණ හැඩගැසී ඇත්තේ 20Hz සිට 20kHz පරාසයක නිකුත්වන ශබ්ද ඇසීමටය. එහෙත් බල්ලකුට 20Hzවලට වඩා අඩු ශබ්දවලට සංවේදී වන කන් පිහිටා ඇති අතර 20Hzට වඩා වැඩි ශබ්ද බල්ලන්ට දරාගැනීමට නොහැකිය. මදුරුවන් සම්බන්ධයෙන් සැලකූ කල 15kHz – 25kHz පරාසයේ ශබ්ද දරාගැනීමට නොහැකි අතර එම ශබ්ද තරංග ගමන් කරන සීමාවෙන් ඈතට යාමට මදුරුවා වගබලා ගනියි. 15kHz – 25kHz පරාසය තුළ ශබ්ද තරංගය භාවිතා කරමින් බ‍්‍රසීලය දැනටමත් සාර්ථක වශයෙන් මදුරුවන් පළවා හරිති. දැන් ගැටලූව වන්නේ එවැනි ශබ්ද තරංගයක් අපේ රටේදී නිකුත් කරගන්නේ කෙසේද කියායි. එය ඉතාම පහසුය. අපි දැනටමත් භාවිතා කරන ගුවන් විදුලි සේවයකට තම ශ‍්‍රාවකයා වැඩ සටහනට සවන් යොදා සිටිද්දීම 15kHz – 25kHz පරාසයේ තරංගයක් නිකුත් කළ හැක. එවිට එම තරංගයට සංවේදී සීමාවේ සිටින සියලූම මදුරුවන් තරංගයට සංවේදී නොවන පරාසයක් දක්වා පලා යයි. උපාසක අම්මාට බණ අසමින්ද තරුණයාට තරුණියට සින්දු අසමින්ද මෙම ක‍්‍රමය මගින් ඉබේම මදුරුවන්ගෙන් මිදිය හැක. මෙම ක‍්‍රමය සඳහා වැය වන්නේ ඉතාම අඩු මුදලකි. විවිධ ගුවන්විදුලි නාලිකා ප‍්‍රචාරණය පිණිස ගෙයින් ගෙට ගොස් මුදල් ප‍්‍රදානය කිරීමටත් ඒ සඳහා ප‍්‍රචාරක කටයුතුවලට වැය කරන මුදලිනුත් මෙය පහසුවෙන් කළ හැක. ‘‘……. ඇහුවොත් මදුරුවො නෑ!’’ ‘‘…….. ට මදුරුවොත් බයයි!’’ ‘‘මදුරුවෝ පළවා හරින්න ………. අහන්න’’ වැනි පාඨ ගුවන් විදුලි නාලිකා ජනප‍්‍රිය කරවීමට යොදා ගත හැකිය.

එසේම අපේ ගුවන් විදුලි නාලිකා මෙවැනි අත්හදා බැලීමකට යන තෙක් Mosquito Repellent Apps නම් මෘදුකාංගය ස්මාර්ට් ජංගම දුරකථනවලට බාගත කරගෙන භාවිතා කිරීමෙන් නිවසේ මදුරුවන් පළවා හැරිය හැක. එවිට ලෝකයට ණය වී ඉහළ මිල සහිත ජංගම දුරකථන භාවිතා කරන තරුණ තරුණියන්ට ආභරණයක් වී ඇති ජංගම දුරකථනය මදුරුවා පළවාහරින උපකරණයක් ලෙස භාවිතා කළ හැක.


මීට අමතරව ඉතාම පහසුවෙන් අපට මදුරු ගහණය සම්බන්ධව දත්ත රැස් කරගැනීමේ ක‍්‍රමවේදයක්ද සකස් කළ හැක. ඩෙංගු මදුරුවා ප‍්‍රමුඛ අනෙකුත් මදුරුවන්ගේ පැතිරීම තවමත් හඳුනාගෙන නොමැත. මදුරුවන්ගේ පැතිරීම ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්ය. එම දත්ත එක්රැස් කර ගැනීම සඳහා පාසල් ආශ‍්‍රිතව පාසල් ළමුන් සහ ගෘහ ආශ‍්‍රිතව ගෘහනියන් යොදා ගනිමින් දීපව්‍යාප්ත ක‍්‍රියාකාරකමක් කිරීමේ හැකියාවද පවතියි.

එනම් පිරිසිදු විනිවිද පෙනෙන බෝතල්වලට පිරිසිදු වතුර පුරවා තබා මදුරුවන්ට බිත්තර දැමීමට ස්ථාන සකස් කර ඒවායේ ඇති මදුරු කීටයන් වර්ග කොට හඳුනාගෙන වාර්තා කර විනාශ කර දැමීමයි. ඒ අනුව මදුරුවන්ගේ පැතිරීම පිළිබඳ නිවැරදිව සිතියම් ගත කළ හැක. එසේම එකදිගට මෙය ක‍්‍රියාත්මක කිරීමෙන් මදුරු මර්දනයේ සාර්ථකත්වයද අත්හදා බැලිය හැක.

මදුරු මර්දනය පිළිබඳ විශේෂඥයන් සහ වෙනත් විශේෂඥයන් එකතුව මා ඉදිරිපත් කරන සරල අදහස තවතවත් වර්ධනය කරනු ඇතැයි සිතමි. ලෝකයේ දරුණුතම ත‍්‍රස්තයන් විනාශ කළ අපි මදුරුවා ඉදිරියේ පරාද වියයුතු නැත.

- ලංකා රන්ජන් සේනාරත්න
lankaranjan@yahoo.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews