POSTED ON Monday, August 25, 2014| | Edit Post
- මව්බිම ලංකා පදනම ගරු සභාපති,
ආරියසීල වික්‍රමනායක මහතා.

අප රටේ ශිෂ්ටාචාරය අවුරුදු 2500 වඩා පැරණි වන අතර එහි ආරම්භක යුගයේ සිටම අප රටේ කිරි නිෂ්පාදන ආර්ථිකයක් පැවතිණ. ඒ ආරම්භක යුගයේදී අද අප රටට කිරි ආනයනය කරන රටවල් කිරි නිෂ්පාදනයේ තබා රටක් වශයෙන්වත් බිහිවී නොතිබිණි.


අප රටට එදා මෙන් අදත් පිටරටින් කිරි ආනයනය කිරීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අප රටේ ජනතාවට අපගේ කිරි කර්මාන්තය කරගැනීමට ඉඩදී මෙලමයින්, DCD වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු කූට වෙළඳුන්ගේ කිරි පිටි නමින් හඳුන්වන අපද්‍රව්‍ය ආනයනය කිරීම නැවතීම පමණි. පසුගිය දිනවල අන්තර්ජාතික අපකීර්තියට පත් සහ අප රට තුළදී පවා සනාථ වූ විදේශීය බාල කිරි නිෂ්පාදන අප රටට ගෙන ඒමට ඉඩ නොදෙන ලෙස රජයෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු. අප රට තුළ අප රටේ තරුණ තරුණයන්ට එම රටවල්වල මෙන් කිරි කර්මාන්තය කරගෙන ජීවත් වීමට අප ඉඩ නොදීම නිසා අප රටේ තරුණ තරුණියෝ කුඩා බෝට්ටුවල නැඟී තම ජීවිතද අනතුරට ලක් කරගනිමින් කිරි කර්මාන්තයෙන් ජීවත්වන රටවලටම පලායති. මේ ජාතික අපරාධය නවතා අපරට පුරා විහිදී ඇති ලක්ෂ 15කට අධික කිරි ගවයන්ගෙන් කිරි නිෂ්පාදනය කොට අපි අප රට අවශ්‍යතාවය සපුරා ගැනීමෙන් පසුව අතිරික්ත කිරි නිෂ්පාදන පිටරට යවා විදේශ විනිමය උපයාගනිමු.

අද අපි අප රටේ තරුණ තරුණියන් අරාබිකරයට කුලී වැඩට යවා විදේශ විනිමය උපයා එම විදේශ විනිමයෙන් ගෙවා පිටරටින් කිරි පිටි ආනයනය කරමු. එය ඇත්තවශයෙන්ම අප රටක් ලෙස ලැජ්ජාවිය යුතු කාරණයකි. අප රටේ විදේශ ශ්‍රමිකයන් රටට උපයාදෙන වටිනා විදේශ විනිමය කිරි වෙනුවෙන් වියදම් කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැත. අපද නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරමින් පිටරටින් කිරි ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කළ යුතුය. එම රටවලට එය කළ හැකිනම් අපටද එය කළහැකි විය යුතුය.

අප රට තුළ ඉතා පහසුවෙන් කිරි නිෂ්පාදනය දියුණු කළ හැකිය. එහි වගකීම පුරවැසියන් හැටියට අප සියලුදෙනා භාර ගත යුතුය. 2013 වසර අවසාන මාස 4 තුළ මාසයකට ආනයනය කොට ඇත්තේ කිරිපිටි ටොන් 1000ක් පමණි. එසේ නම් අප රටේ කිරි ගොවීන් රටට අවශ්‍ය සම්පූර්ණ කිරි ප්‍රමාණය එම කාලය තුළ දළ වශයෙන් නිෂ්පාදනය කොට ඇත. ඩී.සී.ඩී ප්‍රශ්නය නිසා පිටරට කිරි පිටි සමාගම් මේ රටින් පිටවී යාමට සැරසෙද්දී ආනයන කිරිපිටි වලට දමා තිබූ රු.125 බද්ද රු.57 දක්වා අඩු කිරීම නිසා අද ඔවුන් වඩා ශක්තිමත්ව මසකට ටොන් 7500 පමණ ආනයනය කරයි. ආනයන බද්ද කිලෝවකට රු.125 කළවිට කිරි නිෂ්පාදනයට විශාල විශාල නිෂ්පාදකයන් ප්‍රමාණයක් අවතීර්ණ විය. අද නැවත ආනයනය වැඩිවීම සමග අලුත් කිරි කර්මාන්තකරුවන් ඉන් ඉවත් වෙමින් සිටියි. කිරි ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීම මෙම ආයතන විසින් නවතා දැමීම තුළ කිරි ගොවියාට කිරි විකුණා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන් කිරි කර්මාන්තය අත්හැර දමමින් ඇත.

ඒ අනුව අප විදේශීය කිරිපිටි සමාගම් එදා සිට අනුගමනය කළ කූට උපක්‍රමයකට ගොදුරු වී ඇත. අද වන විට ඩොලර් මිලියන 400 සිට 500 දක්වා විදේශ විනිමය වියදම් කර අප රටට කිරි නිෂ්පාදන ආනයනය කරයි. මේ අපරාධය කිසිසේත්ම සිදුවිය යුත්තක් නොවේ. අප ඉල්ලා සිටින්නේ අප රටට සේවය කිරීමට මහජනයාට ඉඩ ලබා දෙන ලෙස පමණකි. අප රටේ කිරි ගොවීන් ඒකරාශී කොට ඔවුන්ට ස්වයං රැකියා ලබාදීම මගින් කිරි එක්තැන් කිරීම, ප්‍රවාහනය ඇතුළු කිරි කර්මාන්ත හා බැඳුණු රැකියා විශාල ප්‍රමාණයක් රට තුළ ඇති කිරීමේ අවශ්‍යතාවය අපට ඇත. ඒ සඳහා අප විශාල ආයෝජනයන්ද කරමින් අපගේ වගකීම රටේ පුරවැසියන් වශයෙන් ඉටුකර ඇත. කරුණාකර අපට අපේ ජාතික යුතුකම ශක්තිමත්ව ඉදිරියටත් කිරීමට ඉඩදෙන්න. අපගේ දූ දරුවන්ට සහ සියලු පුරවැසියන්ට අවශ්‍ය කිරි ආහාර අපගේම ගවයින්ගෙන් ලබා ගත හැක. ඒ සඳහා මිලියන දහස් ගණන් වැයකරමින් පිටරටින් කිරි දෙනුන් ආනයනය කිරීමට අවශ්‍ය නැත.

අපි ඕනෑම (කොන්දේසියකට) යටත්ව රට කිරිවලින් ස්වයංපෝෂණය කිරීමට පොරොන්දු වෙමු. 2013 අගභාගයේ රටට ආනයනය කළ කිරිපිටි ප්‍රමාණය පමණක් ආනයනය කරන්නේ නම් එය ඉතා සුළු දෙයකි. දේශීය නිෂ්පාදනය වැඩිකිරීම සඳහා ආනයනය අඩුකිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ආනයන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. එසේ කළහොත් 2015 අගභාගය වනවිට අප රට කිරිවලින් ස්වයංපෝෂිත වී බටර් පිටරට යවන තත්ත්වයකට පත්කර ගතහැක. මේ සඳහා කල්බලමින් සිටිය නොහැක. මන්දයත් කිරිපිටි නැවත ආනයනය වැඩිවීමත් සමග, කිරි ගොවීන් සහ කර්මාන්තකරුවන් ඉන් ඉවත්වෙමින් සිටියි. මෙය ඉතාම කණගාටුදායක ජාතික අපරාධයකි. නමුත් භාණ්ඩාගාර නිලධාරීන් කියන්නේ දේශීය නිෂ්පාදනය වැඩිවූ පසුව ආනයනය සීමා කළයුතු බවය. එසේ නම් තව වසර 100ක් බලා සිටියත් අප රටට කිරිවලින් ස්වයංපෝෂිත වීමට ඉඩ ලැබෙන්නේ නැත.

එම තත්ත්වය වෙනස්කොට දේශීය කිරිගොවියා හා කිරි ආහාර නිෂ්පාදකයන් ඉන් ඉවත්වීම වළක්වා ගතහොත් එන වසර එනවිට රට කිරිවලින් ස්වයංපෝෂණය වී කිරි ආනයනයට වැයවන විදේශ විනිමය රට තුළ සම්පූර්ණයෙන්ම ඉතිරිකර ගත හැක. එමෙන්ම එම කර්මාන්තය මගින් රැකියා ලක්ෂ ගණනක්ද සපයනු ඇත. ඒ ගැන සැකයක් තබාගන්නට එපා යන්න අපගේ ඉල්ලීමයි.

දියර කිරිවල අඩංගු මේදය සහ ප්‍රෝටීන දියර කිරිවලින් වෙන්කරවාගෙන ලෝකයට බටර් සහ වේ ප්‍රෝටීන වැඩියෙන්ම සපයන්නේ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවයි. එවිට ඉතිරිවන ප්‍රෝටීන සහ බටර් රහිත කිරිවලින් පිටි සෑදීම සඳහා අනෙකුත් මේදය හා රසායනාගාරවල නිෂ්පාදිත ප්‍රෝටීන අනුකාරක ඇතුලත් කළයුතු වේ. කිරිවලට මෙලමයින් හා ඩී.සී.ඩී එකති කිරීම නිසා එම රටවලදී සහ චීනයේදී සිදුකළ පරීක්ෂණ වලදී දැනගන්නට ලැබුණු තොරතුරු මත එම සමාගම් වලට අදාළ රටවලදී දඬුවම්ද කරන ලදී. ඔවුන් එසේ දඬුවම් විඳිමින් ඒවා කරන්නේ ඉවත් කරගන්නා ප්‍රෝටීන් සහ බටර් කිරි පිටිවලට වඩා ඉතා වැඩි මිලකට විකිණිය හැකි බැවිනි.

නවසීලන්තය පමණක් වසරකට වේ ප්‍රෝටීන මෙ.ටො. 250ක් පමණ අපනයනය කරයී. කිරිවල ස්වාභාවිකව 3%කට අඩු ප්‍රතිශතයකින් පවතින ප්‍රෝටීන ප්‍රමාණය අනුව බලන විට එසේ ඉවත්කරගන්නා ප්‍රමාණය ඉතා විශාල බව කිවයුතු නැත. ඒ ආකාරයට ඉවත්කරගන්නා ප්‍රෝටීන් වෙනුවට ඔවුන් පළමුවෙන්ම කිරිවලට මෙලමයින් නැමැති රසායනිකය එකතු කරන ලදී. මෙලමයින් අනූවක නයිට්‍රජන් අණු 04ක් ඇත. ඒ අනුව එම විෂ රසායනික එක් කොටසක් කිරිවලට එක කළවිට කිරිවලින් ප්‍රෝටීන කොටස් 04ක් ඉවත් කර ගත හැක. මෙලමයින් පසුව එළිදරවු වූ නිසා එම සමාගම් නයිට්‍රජන් අණු 07ක් සහිත ඩී.සී.ඩී. එකතු කිරීමට පටන් ගත්තේය. දැන් ඩී.සී.ඩී එළිදරවු වූ බැවින් අණු 10-12 ක් සහිත නව රසායනිකයක් ඔවුන් සොයා ගන්නා බවට සැකයක් නැත. එසේ නැතහොත් වේ ප්‍රෝටීන වෙළඳාම සහ කිරිපිටි වෙළඳාම එකවර කළ නොහැක.

එම නිසා ඉතා සරල ප්‍රතිකර්මය වන්නේ කෙටි කලකට හෝ ආනයනය කරන කිරි පිටි ප්‍රමාණය වේ ප්‍රෝටීන විශාල වශයෙන් හදන රටවල් වලින් ආනයනය නොකර සිටීමය. එසේ නැතහොත් එම රටවල් වලින් ආනයනය කරන කිරිපිටි දැඩි පරීක්ෂාවට ලක්කළ යුතුය. වේ ප්‍රෝටීන හදනවා නම් අනිවාර්යෙන්ම කිරිපිටිවලට කුමන හෝ ප්‍රෝටීනවල රසායනික පරීක්ෂාවට හසුවන රසායන ද්‍රව්‍යයක් එකතු කළ යුතුය. පත්තර කැබලිවලින් කෑම එතීමෙන් ඊයම් විෂ කෑමවලට එකතු වේ යයි බොරු බියකින් උපදෙස් දෙන අපේ රටේ විද්වතුන් හිතාමතා කරන මේ නීති විරෝධී ක්‍රියාවලට විරුද්ධව කථා නොකිරීම කනගාටුදායකය.

© මව්බිම ලංකා පදනම - ගන්න අපේ දේ 2014



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews