POSTED ON Wednesday, July 8, 2015| | Edit Post
මෙම නව නිපැයුම කුමක්ද?

උෂ්ණත්වය මනින සෙන්සරයක්. මෙය නම් කර තිබෙන්නේ THERMONO ලෙසින්.

මෙහි විශේෂත්වය කුමක්ද?

සාමාන්‍යයෙන් උෂ්ණත්වය මනින ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි contact sensing. ඒ කියන්නේ උෂ්ණත්වය මැනිය යුතු වස්තුව සමග සෙන්සරය ස්පර්ශ වෙනවා. ශරීරයේ උෂ්ණත්වය මනින උෂ්ණත්වමානය (උණ කටුව) මේ සඳහා උදාහරණයක්. අනෙක් ක්‍රමය තමයි non-contact sensing. මෙහිදී උෂ්ණත්වය මනින ද්‍රව්‍යය සහ සෙන්සරය ස්පර්ශ වෙන්නේ නැහැ.
IR imaging කියන තාක්‍ෂණය අයිති වෙන්නේ මේ කාණ්ඩයට. මෙහිදී වෙන්නේ IR කැමරාවකින් ඡායාරූපයක් ගෙන ඒ ඇසුරින් උෂ්ණත්වය තීරණය කිරීම. නමුත් මේ ක්‍රමයෙන් අභ්‍යන්තර පෘෂ්ඨයක උෂ්ණත්වය මැනීම අසීරුයි - ඒ එම පෘෂ්ඨයේ ඡායාරූපයක් ගත නොහැකි නිසා. ඒ නිසා මෙවන් අවස්ථා සඳහා contact sensing කාණ්ඩයේ සෙන්සර් භාවිතා කරන්න වෙනවා.

සෙල්සියස් අංශක 500ට පමණ වැඩි උෂ්ණත්ව මැනීම සඳහා දැනට වාණිජ මට්ටමින් භාවිතා වන්නේ සෙන්සර් වර්ග 2ක්. RTD සහ thermocouple මේ වර්ග දෙකයි. එක තැනකින් උෂ්ණත්වය මැනීම සඳහා මෙම සෙන්සර් වර්ග දෙකටම අඩුම තරමින් වයර් 2ක් වත් අවශ්‍ය වෙනවා. මේ අනුව, යම් පෘෂ්ඨයක් මත ස්ථාන 1000කින් උෂ්ණත්වය එකවර මනින්න නම් අඩුම තරමින් වයර් 2000ක් වත් අවශ්‍ය වෙනවා. නමුත් මා නිර්මාණය කල සෙන්සරයට මේ සඳහා අවශ්‍ය වන්නේ වයර 64-70 අතර ප්‍රමාණයක් පමණයි.
වෙළඳපොලේ ඇති thermocouple එකක සමග THERMONO සංසන්දය කරන පරීක්ෂණයක්.

මෙය භාවිතා කල හැකි අවස්ථා මොනවද?

ඉතා සීමිත ඉඩ කඩක් ඇති ස්ථාන වලින් ඉහල විභේදනයක් (resolution) සහිතව උෂ්ණත්වය මැනිය යුතු විට සහ සහ IR imaging වැනි තාක්‍ෂණයක් භාවිතා කළ නොහැකි අවස්ථා සඳහා මෙය භාවිතා කළ හැකියි. 
ඇත්තටම මෙය මුලිකවම නිර්මාණය කලේ ඉන්ධන කෝෂ (fuel cell) සඳහා. ඒ මගේ ආචාර්ය උපාධියේ පර්යේෂණය වෙනුවෙන්. නමුත් මෙය එයට පමණක් සිමා වන්නේ නැහැ.

මෙම සෙන්සරයෙන් කරන උෂ්ණත්ව මිනුම් කෙතරම් නිවැරදි ද?

දැනට මෙය පරික්ෂා කර තිබෙන්නේ සෙල්සියස් අංශක දහසක් (1000C) පමණ උෂ්ණත්වයක් දක්වා පමණයි. එහිදී මෙයට මෙයට  IEC 60584-1:2013 කියන ජාත්‍යන්තර සම්මතයේ ඇති නිරවද්‍යතා මට්ටම ඉතා පහසුවෙන් පසුකරන්න හැකිවී තිබෙනවා. සෙන්සරයක නිවැරදිතාවය එහි නිෂ්පාදන ක්‍රියාවලිය මත දැඩි ලෙස රඳා පවතිනවා. ඉහත සඳහන් කල නිරවද්‍යතා මට්ටමට ලඟා වුනේ මගේ  විද්‍යාගාරයේ ඇති සීමිත පහසුකම් යටතේ නිෂ්පාදනය කල සෙන්සරයකට. වඩා ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් මෙහි නිවැරදිතාවය තවත් ඉහල නංවන්න හැකියාව තිබෙනවා.

මෙයට පේටන්ට් බලපත්‍රයක් තිබෙනවද?

දැනට එක්සත් රාජධානියේ පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර තිබෙනවා.

An image of a software that I developed for data logging

මේ සම්බන්ධව දැනට සිදුකෙරන කටයුතු මොනවද?

මෙම සෙන්සරය භාවිතා කර ඉන්ධන කෝෂ (fuel cell) වල උෂ්ණත්වය මැනීම සඳහා පර්යේෂණ ව්‍යාපෘතියක් දැනට ආරම්භ කර තියෙනවා දකුණු කොරියානු සමාගමක් සමග. මීට අමතරව Cenex කියන ආයතනය වෙළඳපොල සමීක්ෂණයක් සිදු කරගෙන යනවා. ඔවුන් පවසන ආකාරයට ඇමෙරිකාවේ Boom Energy ආයතනය සහ වෙනත් රටවල් කිහිපයක ආයතන කිහිපයක්ම මේ සඳහා ඉතා ඉහල උනන්දුවක් දක්වා තිබෙනවා. මේ සියල්ලම පර්යේෂණ මට්ටමින් සිදුකෙරෙන ගනුදෙනු මිසක වාණිජ ගනුදෙනු නෙමෙයි. 
thermocouple
මගේ විශ්ව විද්‍යාලය උනන්දු වෙනවා  මෙම තාක්‍ෂණය මෝටර් රථ වල එන්ජිමේ උෂ්ණත්වය වඩා නිවැරදිම මැන ගැනීම සඳහා සහ ගුවන් යානා එන්ජින් වල, විශේෂයෙන්ම එහි blade එකේ උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කිරීම ගැන පර්යේෂණ මට්ටමින් සොයා බැලීමට. කොහොම වුනත් මේ කිසිවක් සම්බන්ධව තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. 



ඔබගේ අධ්‍යයන කටයුතු අතරතුර ආරම්භ කල විදුලොවින් ෆේස්බුක් පිටුව සහ වෙබ් අඩවියේ අරමුණ කුමක්ද?

විදුලොවින් කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ තාක්ෂණික සාක්ෂරතාවය (technical literacy) ඉහල නැංවීම අරමුණු කර ගෙන සමාජය තුල විද්‍යාව සහ තාක්‍ෂණික දැනුම පිළිබඳව උනන්දුවක් සහ ආශාවක් ඇති කිරීම සඳහා ගන්න පුංචි උත්සාහයක්. 

අද ලෝක ආර්ථිකය බොහෝ දුරට දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක්. නමුත්, අපේ රටේ අපේ මිනිසුන්ට දැනුම ලබා ගැනීමට තිබෙන ඉඩකඩ ඉතාම සීමිතයි. සරසවි වරම් ලැබෙන්නේ ඉතාම සීමිත පිරිසකට. අන්තර්ජාලය ආදිය භාවිතා කර දැනුම එකතු කර ගන්න බොහෝ දෙනෙකුට භාෂාව හරස් වෙනවා. දැනුම තියෙන මිනිසුන්ට හැකි නම් එම දැනුමෙන් බිඳක් හෝ තව පිරිසකට දෙන්න, අපිට හිතන්න බැරි මට්ටමේ වෙනසක් කරන්න පුළුවන් සමාජයේ. මේක තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. ඒත් ගොඩක් අය එකතු කරගෙනම වැඩේ පටන් ගන්න හිටියොත් කවදාවත් පටන් ගන්න පුළුවන් කටයුත්තකුත් නෙමෙයි. අන්න ඒ නිසා පුළුවන් තරමින් පුළුවන් දුරක් යන්න තමයි විදුලොවින් පටන් ගත්තේ. මෙයට සෘජුව දායක වෙන කිහිප දෙනෙක්ම ඉන්නවා. වක්‍රව දායක වන අති විශාල පිරිසක් ඉන්නවා. මේ හැමෝගෙම දායකත්වය නිසා තමයි අද විදුලොවින් වටා 40,000කට ආසන්න පිරිසක් එකතු වෙලා ඉන්නේ.

විදුලොවින් සඳහා දායක වෙන්නේ කොහොමද?

ඕනෙම කෙනෙකුට මේ සමාජ සත්කාර්යයට දායක වෙන්න පුළුවන් තමාගේ දැනුම බෙදා ගනිමින්. ඔබගේ විෂය ක්ෂේස්ත්‍රයට අදාළව කෙටි ලිපියකින් හෝ ලිපි මාලාවකින් පුළුවන් ඔබට ඔබේ දැනුම අපේ රටේ මිනිසුන් සමග බෙදා ගන්න.

විදුලොවින් කියන වේදිකාව බොහොම ශක්තිමත්. ඔබේ හඬ දස දහස් ගණනක් පිරිසකට ඇසෙන ලෙසින් තමයි මෙය හදල තියෙන්නේ. ඔබට තියෙන්නේ ඔබේ දැනුමින් බිඳක් අපේ රටේ මිනිසුන් සමග බෙදා ගන්න පුංචි කාලයක් වෙන් කරන්න විතරයි. ඔබත් කැමති නම් වැඩි විස්තර සඳහා ලියන්න v.thaksalawa@gmail.com ඊමේල් ලිපිනයට.

ෆේස්බුක් පිටුව : www.facebook.com/vidulowin.lk  
වෙබ් අඩවිය   www.vidulowin.lk 


Testing censor for Fuel cell  


















Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews