POSTED ON Sunday, February 23, 2014| | Edit Post
පොලිස් නිලධාරීන් 80000 කගෙන් සමන්විත සියවසක් සමරන පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් වරියක් තනියම සූදු පිටියක් වටලා සැකකරුවන් දෙදෙ‍ෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයක් අත්කර දීමට සමත් වී ඇත.

මේ සුවිශේෂී කථාවේ කථානායිකා wpc ව අන් කවරෙක්වත් නොව හික්කඩු‍ව තිරානගම පදිංචි වැලිගම පොලිස් ස්ථානයේ පරිසර ඒකකයේ කාන්තා පොලිස් සැරයන් 1187 ඩී.ජී.ඩී. කල්‍යාණි මහත්මියයි.‍


හික්කඩුව ශ්‍රී සුමංගල මැදි විදුහලේ සිසුවියක් වශයෙන් පාසලේ සිසුවියන් අතර නායකත්වය උසුලමින් ක්‍රීඩා තරගවලදී මැරතන් තරගවලින් පළමුවෙනි ස්ථානය ලබමින් පාසල් මාතාවට ගෞරවයේ සළු පැලඳවූ ඇය තම අනාගතය උදෙසා රැකියා ස්ථානය වශයෙන් තෝරා ගන්නේ පොලිසියයි.

1990 මහනුවර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබූ ඇය ගාල්ල කළුතර වැනි පොලිස් කොට්ඨාසවල සේවය කරමින් 1997 සිට 2006 දක්වා උතුරු ප්‍රදේශයේ රාජකාරි කරමින් ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම නිදහස් කර ගැනීමේ සටනට නොබියව එක් විය.

වවුනියාව, තාන්ඩිකුලම, චාවාකච්චේරිය යන ප්‍රදේශවල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති සහ මත්ද්‍රව්‍ය නාශක අංශය, මානව හිමිකම් යන අංශවල සේවය කොට එම ප්‍රදේශයේ තරුණ තරුණියන් අපචාර වලින් සහ මත්ද්‍රව්‍යයවලින් මුදවා ගැනීමට සිදුකළ මෙහෙවර උදෙසා යාපනයේ දිසාපති ගනේෂ් මහතාගෙන් සම්මාන සහතික පවා ලැබීමට සමත් වී ඇත.

මෙම කාලය තුළ ඉංග්‍රීසි දෙමළ ඩිප්ලෝමාධාරිනියක් වශයෙන් අන්‍ය භාෂාවන් ගැන දැනුම ප්‍රගුණ කරගත් ඇය ලේඛිකාවක් වශයෙන් උදයන්, වීරකේෂරී යන පුවත්පත්වලට ලිපි ලියමින් තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීමටත් තරුණ තරුණියන් ලිංගික අපචාරවලින් මුදවා ගැනීමටත් කරන ලද සේවයට උතුරේ ජනතාවගෙන් ලැබුවේ ඉමහත් ප්‍රසාදයකි.

උතුරු ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අමිල සේවයක් කළ කල්‍යාණි. 2009 වර්ෂයේ නැවත ගාල්ල, අහංගම, හබරාදුව යන පොලිස් ස්ථානවල සේවය කොට අවසාන වශයෙන් වැලිගම පොලිස් ස්ථානයේ පරිසර ඒකකයේ ස්ථානාධිපති වශයෙන් සේවා කටයුතු භාරගැනීමට සිදුවිය.

මෙසේ රාජකාරි කටයුතු කරගෙන යන අතර වාරයේ පසුගිය 11 වන දින ඇයට පැවරී තිබුණේ දුම්රිය හරස් මාර්ගවල බම්බු ගේට්ටු ක්‍රියාකරුවන් එම ස්ථානවල නිසි ලෙස රාජකාරි කරන්නේ ද? යනුවෙන් සොයා බැලීමයි.

ඇය මෙම රාජකාරි කටයුතු නිරීක්ෂණය සඳහා වැලිගම හෙට්ටිවීදියේ දෙවන පටුමග රේල් ගේට්ටුව නිරීක්ෂණය කරන අවස්ථාවේ වයස 12 ක පමණ ළමයකු ඇය පසුකර යමින් ‘අදත් අතන වැඩ’ යනුවෙන් මුමුනමින් ගොස් ඇත්තේ කල්‍යාණි සැරයන් වරියට කුතුහලයක් ඇති කරමිනි.

ඇය මෙම අවස්ථාවේ මහත් කුතුහලයෙන් යුක්තව කුඩා ළමයාගේ මුවින් පිටවුණු වැකියේ බරපතළකම තේරුම් ගෙන වටපිට බලන අවස්ථාවේ ලඳු කැලෑවක අඹගසක් මුල කිහිපදෙනෙකු වාඩිවී බූරුවා ගසන බව දැක වැලිගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භද්‍රදී කාලිංග පොලිස් පරීක්ෂක ප්‍රසන්න, සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති ඉමිටියස් යන මහත්වරුන්ට දුරකථන ඇමතුම් දී සිද්ධිය පිළිබඳව දැනුම් දී ඇත.

මෙම අවස්ථාවේ ස්ථානාධිපති භද්‍රදී කාලිංග මහතාගේ උපදෙස් අනුව පොලිස් කණ්ඩායමක් එනතෙක් වැටලීම කිරීමට කල්‍යාණිට පැවරුණි.

රාජකාරිය දේවකාරිය කරගත් කල්‍යාණි සැරයන් වරිය පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පුහුණුව, පාසලින් ලැබූ ක්‍රීඩා ජවය, නීතියේ ශක්තිය අවියක් කරගෙන සූදු පිටියට කඩා වැදුණේ සිංහ ධේනුවක් ලෙසයි.

ඇය සූදු පිටිය තම අණසකට යටත් කරගෙන එකෙක්වත් දුවන්න එපා කියා අඩි පොළවේ ගස්වා කෑගැසුවේ සූදු පිටියේ සිටි සූදු අන්තුවන් සය දෙනා අන්දමන්ද කරමිනි.

මෙම අවස්ථාවේ සූදු අන්තුවන් සීසීකඩ දිවීමට ගිය අතර ඇය රේල් පාර දිගේ දිවීමට ගිය 30 හැවිරිදි තරුණයකුගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ ඇයගේ අයෝම ශක්තිය විදහා පාමිනි. මෙම අවස්ථාවේ තවත් තරුණයකු රේල් පාර හරහා දිවයන දුටු සැරයන්වරිය පළමුවෙන් අල්ලාගත් සැකකාර තරුණයා ද ඇදගෙන ඔහු වෙත කඩා පැන්නේ ‘යකෝ මම කල්‍යාණි’ දුවන්න එපා යනුවෙන් පවසමිනි.

මෙම අවස්ථාවේ ඇයගේ ප්‍රතාපවත් හඬින් සසලවූ 29 හැවිරිදි තරුණයා ද ඇයගේ ග්‍රහණයට හසු විය. මෙම අවස්ථාවේ සැරයන් වරියගේ ග්‍රහණයෙන් බියට පත් තරුණයින් දෙදෙනා දහඩිය මුගුර හෙලමින් අනේ! මැඩම් තවත් අපි බූරුව ගහන්නේ නැහැ වැරදි වැඩ කරන්නේ නැහැ. අපිට යන්න දෙන්න යැයි ආයාචනාත්මක ඉල්ල‍ීමක් කළහ.

මේ අවස්ථාවේ සැරයන් වරිය ගෙදර යනවද උසාවියට යනවද යනුවෙන් තීරණය කරන්නේ අපේ ස්ථානාධිපති භද්‍රජී කාලිංග සර්. හා හා යමු පොලිසියට කියන බයිලයක් පොලිසියේ දී කියාගන්න එකයි ඇත්තේ කියමින් ඔවුන් දෙදෙනා රේල් පාරෙන් අනිත් පැත්තට ගන්නා විට වැලිගම පොලිසියෙන් පැමිණි සැරයන් සුමනසේන, පො.කො. ඉමිටියාස් යන පොලිස් නිලධාරීන් දෙදෙනාට සැකකරුවන් බාරදී සිටියේ පොලිස් නිලධරයන්ගෙන් ඉටු විය යුතු රාජකාරියක් අකුරට ම ඉටුකර දෙමිනි.

චිත්‍රපටියක එන ත්‍රාස ජනක ජවනිකාවක් දෙස මෙන් මේ සිද්ධිය විශ්මයෙන් සහ මවිතයෙන් බලා සිටි අවට ජනතාව තම ජීවිතය පවා පරදුවට තබා රාජකාරි කරන මෙවන් පොලිස් නිලධාරිනියන් සිටීම පොලිස් දෙපාර්තමේන්තුවට මහත් අභිමානයක් යැයි පැවසීය.

පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් දකුණු පළාතේ අපරාධ සිදුකරන අපරාධකරුවන් ක්ෂණිකව අල්ලා ගෙන මහ ජනතාවට සාමකාමී දිවි පෙවෙතක් ගත කිරීමට දරන ප්‍රයත්නයට අනුකූලව, ගාල්ල, තංගල්ල, මාතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මැකාර්ති පෙ‍රේරා, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, වැලිගම පොලිස් ස්ථානාධිපති පො‍.ප. භද්‍රජී කාලිංග යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම සැරයන් කල්‍යාණිට ඉමහත් ශක්තියක්ව ඇත. 

Anura S. Liyanage Target-news -Sunday February 23rd 2014

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews