POSTED ON Friday, July 18, 2014| | Edit Post
පස්වලින් වැලි වෙන් කිරීමට හැකි නවීන යන්ත්‍රයක් නීති විරෝධී අයුරින් නිෂ්පාදනය කළැයි පුද්ගලයන් දෙදෙනකු අනුරාධපුර පොලිස් විශේෂ වැටලීම් ඒකකය මඟින් එප්පාවල කටියාව යාය 10හිදී සැකපිට අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස තඹුත්තේගම මහෙස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කෙළේය.


පස්වලින් වැලි වෙන් කර ගත හැකි නවීන යන්ත්‍රයක් නිෂ්පාදනය කළ බවට අනුරාධපුර පොලිස් විශේෂ වැටලීම් ඒකකය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා සහ ඔහුට උදවු උපකාර කළ බව කියන අයකු තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.
සැකකරුවන් දෙදෙනාට කිසිදු ඇප කොන්දේසියක් නියම නොකළ මහෙස්ත්‍රාත්වරයා ඔවුනට ලබන සැප්තැම්බර් මස 17 වැනි දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කෙළේය. මෙසේ මුදා හැරියේ එප්පාවල කටියාව යාය 10 පදිංචිකරුවන් වන ආර්.එම්. කීර්ති සේනානායක සහ ඔහුට උදවු උපකාර කළ බවට චෝදනා ලැබ සිටි ඒ.එම්. සමන්ත අතපත්තු යන සැකකරුවන්ය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ බුද්ධික ලෙව්කේ බණ්ඩාර මහතා කියා සිටියේ සමාජයේ මහ පරිමාණ අපරාධමය සිද්ධි තිබෙද්දී ඒවාට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ වගකීම පසෙකලා ඇති පොලිසිය තම හැකියාව පෙන්වමින් පරිසරහිතකාමී පස්වලින් වැලි වෙන්කර ගත හැකි නවීන යන්ත්‍රයක් නිෂ්පාදනය කළ දක්‍ෂයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම හාස්‍යයට කරුණක් බවයි.

සැකකරුවන් මේ යන්ත්‍රය නිෂ්පාදනය කර ක්‍රියා කරවීම සඳහා මහවැලි අධිකාරියෙන් අවසරයක් ලබාගෙන ඇති බවද අධිකරණයට සැලකළ නීතිඥ ලෙව්කේ බණ්ඩාර මහතා රටට සමාජයට යහපතක් වන පරිසරහිතකාමී අලුත් යමක් ස්වකීය දක්‍ෂතාව හඳුන්වා දුන් මේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ නීතියේ කුමන ප්‍රතිපාදන යටතේ දැයි පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේය.
නීතිඥවරයා කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා පොලිසියෙන් විමසා සිටියේ මෙවැනි නිර්මාණ කරන්නවුන්ට දිරි දීමනා දෙනවා වෙනුවට ඇයි මෙහෙම කරන්නේ යනුවෙනි.

මෙවැනි නිර්මාණ කරන පුද්ගලයන්ට බාධා නොකරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා පොලිසියට අවවාද කෙළේය.
ඒ අනුව මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් සිදුකර ඒ පිළිබඳ අධිකරණයට වාර්තා කරන ලෙසට එප්පාවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා කිසිදු ඇප කොන්දේසියක් නියම නොකර සැකකරුවන් මුදාහැරීමට නියෝග කෙළේය. ඔවුනට ලබන සැප්තැම්බර් මස 17 වැනි දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කෙරිණි.
http://www.mawbima.lk/86-63379-news-detail.html

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews