2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 722 ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ 2015 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.06 ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.

ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් 33 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින්ද අඩුකිරීමට පියවර ගත්තේය.

මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම 2015 මාර්තු කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 2.0 ක පාඩුවක් වාර්තා කර ඇත.
සමාගම විසින් පසුගිය වසරේ දෙසැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 610 ලාභයක් වාර්තා කර තිබුණි.

මේ මාර්තු කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගමේ ආදායම් සියයට 25 කින් රුපියල් බිලියන 15.8 ක් දක්වා පහළ ගොස් තිබීමද කැපී පෙනේ.
පසුගිය ජනවාරි මාසයේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක පමණ මට්ටමක තිබුණත් එය මේ වනවිට ඩොලර් 65 ක සීමාව දක්වා ඉහළ නගිමින් තිබීමත් එයට සාපේක්ෂව රජය විසින් ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීමත් මෙම පාඩුව සිදුවීමට බලපා තිබෙන මූලිකම කාරණාවයි.

මේ අතර, 2015 පළමු කාර්තුව තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 4.0 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර මේ වනවිට රජය මැතිවරණයකට යෑමට සූදානම් වන නිසා ඉන්ධන මිල වැඩි නොකරනු ඇතැයි අනුමාන කළ හැකිය.

ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ දේශපාලනික කාරණා මත ඉන්ධන මිල ගණන් තීරණය කිරීම නතර කර ඒ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම ඉතාමත් වැදගත් කාලීන අවශ්‍යතාවයක් බවයි.

– adaderanabiz.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews