POSTED ON Friday, September 6, 2013| | Edit Post
බලන්ගොඩ හෝනමුල්ල නම් දුෂ්කර ගම්මානයේ මැන්තලාව නිවසේ විසූ ජී. පී. කරෝලිස්‌ මහතා හා ටී. එල්. මැංගිනෝනා මාතාව ඉතා දුෂ්කර වුවත් ධෛර්යවත් දිවිපෙවෙතක්‌ ගත කළහ. මේ යුවළට දරුවන් දස දෙනෙකි. බාලම දරුවා ඉපිද වසර තුනකින් පියා මෙලොවින් සමුගත්තේය.


මැංගිනෝනා දිරිය මාතාවකි. පියා නැති අඩුව දරුවන්ට දැනෙන්නට ඇය ඉඩ තැබුවේ නැත. හිමිදිරියේ නැඟිට දරුවන්ට උදේ ආහාරය පිළියෙළ කොට ලහිලහියේ තේ වත්තේ වැඩට පියමං කරයි. ඇගේ මේ පරිශ්‍රමය පියා නැති අඩුව සපුරාලමින් පනම් හතරක්‌ සොයා ගන්නටය. වත්තේ වැඩ කළත් වත්තේ දොළහේ කණිසමට නලාව හඬවන විටම ඇය ගෙදර දුව යන්නේ දරු පැටවුන්ට දිවා ආහාරය දීමටය.

පතපොතේ ඉහළ දැනුමක්‌ නැතත් පන්සලේ හාමුදුරුවන්ගෙන් බණ දහම් අසා පුරුදු ඇයට අපූරු සිතිවිල්ලක්‌ සිතේ නලියන්නට විය. "වෙස්‌සන්තර රඡ්ජුරුවන් දරු දෙදෙනා ජූජක බමුණාට දන් දුන්නේ බැළ මෙහෙවර කිරීමටය. මම දරුවන් දන් දෙන්නේ බුද්ධ ශාසනයේ පැවැත්මටයි" යෑයි ඇය සිතුවාය.



එසේ තම දරුවන් දන්දීමේ නිර්ලෝභී ෙච්තනාව මුල් කරගෙන පළමුවෙන්ම තම බාල පුතු බුදු සසුනට පූජා කරන්නට සිතුවේය. පියා නොසිටියද ආහාරපානාදියෙන් කිසිදු අඩුවක්‌ නොමැතිව නිරෝගීව සැපට වැඩුණු බාල පුත්‍රයා දුටුවන් නෙත්සිත් ඇදගන්නා කඩිසර හුරුබුහුටි දරුවකු වුවත් දරුවා සසුන්ගත කරන්නට හිත හදාගත් මැංගිනෝනා මාතාව පුතා මාතර තිහගොඩ මහින්දගිරි විහාරාධිපති කිරින්දේ සුමනජෝති මාහිමියන්ට බාර කිරීමෙන් පසු 1994 දෙසැම්බර් මස 07 දින සුමනජෝති හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස බලන්ගොඩ ශාන්තසිරි නමින් පැවිදි දිවියට පත් වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන පෙළේ ආරාමයක්‌ වන මාතර සිරිමංගල පිරිවෙන් විහාරස්‌ථානයට වැඩම කළ ශාන්තසිරි පොඩි හාමුදුරුවෝ ඉතා දක්‍ෂ ලෙස බණ දහම් පොත් වනපොත් කරමින් හපන්කම් දක්‌වන්නට වූවාය. අධිශීලසම්පන්නව නිසි වයස්‌ එළැඹී ශාන්තසිරි හිමියෝ ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරාධිකාරී ශාස්‌ත්‍රපති වලස්‌ගල පඤ්ාසිරි හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස උපසම්පදා ශීලයට පත් වූහ.

සිය බාල පුතු පැවිදි දිවියේ ගරුත්වය රැක ගනිමින් මහා උගතකු වන හැටි දකින මවට තවත් අදහසක්‌ පහළ විය. අද භික්‍ෂූන් වහන්සේලා නැතිව පන්සල් කීයක්‌ වැසී තිබෙනවාද? මම කැමැතියි ශාසනය පවත්වාගෙන යන්න මට හැකි ශක්‌තිය ලබා දෙන්නට. මගේ බාල පුතා මහණ වුණා වගේ මගේ දරුවන්ගේ දරුවනුත් සසුනට දායාද කරන්න සුදුසු යෑයි සිතූ මැංගිනෝනා මාතාව හයවැනි දුවගෙ පුතාත්, පස්‌වැනි පුතාගෙ ලොකු පුතාත්, ලොකු දුවගෙ පුතාගෙ පුතාත් පැවිදි කරවා හමාරය. හතර වරිගයක්‌ම නිවන් දක්‌වන්නට තම පවුලේ දරුවන් බුදුසසුනට දායාද කළ මේ මව මොනතරම් වීරමාතාවක්‌ද?

මාතර සිරිමංගල පිරිවෙන් විහාරයේ බණ දහම් හදාරණ මේ පුංචි හාමුදුරුවරු බලංගොඩ බුද්ධිම, බලංගොඩ විපස්‌සි, බලංගාඩ දමිත යන නම්වලින් සසුන් කෙත එළිය කරති. පෙර සිට පතාගෙන ආ මේ මහා පින්කම් කළ මැංගිනෝනා මාතාවගේ මීළඟ පැතුම තවත් දියණියකගේ පුතුන් දෙදෙනකු සසුන්ගත කරවන්නටය. දැනට දෙසැත්තෑ වියේ පසුවන මේ මාතාව තම දියණියගේ නිවුන්දරුවන් දෙදෙනා තවම තුන් හැවිරිදි විය ඉක්‌මවූවා පමණක්‌ නිසා පැවිදි කරවන්නට නිසි වයස්‌ එනතෙක්‌ ඇඟිලි ගනිමින් සිටී.

තම බාල පුතා පැවිදිව ශාස්‌ත්‍රවේදී උපාධියත්, ශාස්‌ත්‍රපති උපාධියත් ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත් සමත්ව ඇත. දක්‍ෂ ආචාර්යවරයෙකි. විචිත්‍ර ධර්මදේශකයෙකි. එකම පවුලෙන් පසුව පැවිදි වූ කුඩා හිමිවරුද තම වැඩිමහල් හිමියන් යන මග යමින් බණ දහම් හදාරති. සසුන් කෙත එළිය කරති.

Anura S. Liyanage Target-news -මාතර - කේ. එච්. පියසේන -Friday, 6th September 2013

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews