බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ සමාගමට සියයට 84 ක කොටස් හිමි ලංකා දුම්කොළ සමාගමේ සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් බිලියන 80 ක් පමණ වේ.

මෙය ආසන්න අගයක් වන අතර කාර්තුවකට රුපියල් බිලියන 20 ක පමණ ආදායමක් උපයනවා යැයි උපකල්පනය කර මෙම අගය ලබාගන්නා ලදී.

එනම්, 2012 වසරේ ජුනි කාර්තුවේදී සමාගම රුපියල් බිලියන 20.8 ක ආදායමක්ද, 2011 ජුනි කාර්තුවේදී රුපියල් බිලියන 19.1 ක ආදායමක්ද, 2013 ජුනි දක්වා මාස හයක කාලයේදී රුපියල් බිලියන 42.8 ක ආදායමක්ද ලබාගෙන තිබේ.

දුම්බීමෙන් වසරකට 20,000 ක් මරුට

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ දුම්බීම නිසා මෙරට පුද්ගලයින් 20,000 ක් පමණ සෑම වසරකම මියයන බවයි.

මේ අනුව, දුම්කොළ සමාගම දුම්වැටි කර්මාන්තය තුළින් රුපියල් බිලියන 80 ක් වාර්ෂිකව උපයන්නේ උපයන සෑම රුපියල් මිලියන 04 ක් හෙවත් රුපියල් ලක්ෂ 40 කටම එක් පුද්ගලයෙකු මරා දමමින්ය.

ඝාතනයේ මුදල් බෙදීයන ආකාරය

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට දුම්බොන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට රජයට වසරකට රුපියල් බිලියන 12 ක් පමණ වැයවේ. දුම්කොළ සමාගම විසින් මේ වසරේ මුල් මාස හය තුළදී රජයට ගෙවා තිබෙන බදු ආදායම රුපියල් බිලියන 32.7 කි. මෙම ගණන අවුරුද්දක් සඳහා රුපියල් බිලියන 64 ක් යැයි ආසන්න වශයෙන් ගත්තොත් මෙම ඝාතන ව්‍යාපාරයෙන් රජයට රුපියල් බිලියන 52 ක පමණ ලාභයක් බැලූ බැල්මට තිබේ.

ඒ දුම්පානය කරන්නන්ගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් වාර්ෂිකව වියදම් කරන රුපියල් බිලියන 12 ක මුදල සමස්ත බදු ආදායම වන රුපියල් බිලියන 64 ක මුදලෙන් අඩු කිරීම මගිනි.

කෙසේවෙතත්, ශ්‍රම බලකායෙන් 20,000 ක පිරිසක් වාර්ෂිකව දුම්බීමෙන් මියයාම නිසා ඇතිවන සමාජ ප්‍රශ්න මුදලින් ගණනය කරන්නේ නම් රජය ලබාගන්නා මෙම ලාභයෙන් වැඩක් තිබේද යන්න සැක සහිතය.

මෙම ඝාතන ව්‍යාපාරයේදී දුම්කොළ සමාගම රුපියල් බිලියන 08 ක පමණ ලාභයක් ලබාගනී.

2013 ජුනි වලින් අවසන් වන මාස හයක කාලයේදී සමාගම විසින් රුපියල් බිලියන 4.2 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබුණි. ඒ අනුව, වාර්ෂිකව මෙපමණ ලාභයක් ලැබිය හැකියැයි උපකල්පනය කරන ලදී.

මිනිසුන් 20,000 ක් මරා ලාභ බෙදාගන්නේ මේ ආකාරයටයි.

- Vimasuma.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews