POSTED ON Tuesday, April 30, 2013| | Edit Post
house
ආර්ථිකයට ගැලපෙන පරිසර හිතකාමී ව ශක්තිමත් ලෙස කඩිනමින් නිවාස ඉදිකරගැනීමටත් පෙර සවි තාක්ෂණයෙන් යුත් නිවාස සති 3ක් වැනි කෙටි කාලයක් තුළදී ඉදිකරගැනීමටත් අවශ්‍ය කරන වැඩපිළිවෙළ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති අතර එම නිවාස ඉදිකිරීමේ ක්‍රමවේදයන් 2ක 2013 දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ පිහිටි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටියේදී ප්‍රායෝගිකව දැකබලා ගැනීමේ පහසුකම් සලසා ඇත. 

ආර්ථිකයට ගැලපෙන පරිසර හිතකාමී ශක්තිමත් නිවස ඉදිකිරීම හඳුන්වා දෙන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟිනි. මාස 2ක් වැනි කාලයක් තුළදී වර්ග අඩි 550 කින් යුත් නව නිවස ඉදිකරගැනීම සඳහා වැයවෙන මුදල රුපියල් ලක්ෂ 8කි. වර්ග අඩි 600 කින් සමන්විත නිවස ඉදිකරගැනීම සඳහා වැයවෙන මුදල රුපියල් ලක්ෂ 10 කි. ආලින්දය, නිදන කාමරය, මුළුතැන්ගෙය, කෑම කාමරය, නාන කාමරය ඇතුළු අත්‍යවශ්‍ය අංග රැසකින් සමන්විත නිවසෙහි බිත්ති ඉදිකිරීමට යොදාගන්නේ සිමෙන්ති යොදා වැරගන්වන ලද මැටි උපයෝගී කරගන්නා ලද ස්ලිප්ෆෝම් හා සම්පීඩිත මැටි ගඩොල්ය. මෙම මැටි ගඩොල් හේතුවෙන් ස්වාභාවික සිසිලනයක් නිවස තුළ රඳා පවතී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 071-6374011 යන දුරකථන අංකයෙන් ලබාගත හැක.

අඩු වියදමකින් ශක්තිමත් පෙර නිමි නිවස හඳුන්වා දෙනු ලබන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසිනි. වර්ග අඩි 580 කින් සමන්විත පෙර නිමි තාක්ෂණයෙන් යුත් නිවාස දින 21 ක් තුළ ඉදිකර අවසන් කිරීමට හැකිවීම විශේෂත්වයකි. එම නිවාස ඉදිකිරීම සඳහා වැයවෙන මුදල රුපියල් ලක්ෂ 12 ½ කි. ප්‍රධාන නිදන කාමරය සමඟින් නිදන කාමර 2ක් ද, ආලින්දය, කෑම කාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය ඇතුළු අත්‍යාවශ්‍ය අංගවලින් මෙම නිවස සමන්විත වේ. මෙම නිවස ඉදිකරගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු 0718498029 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

සීමිත ඉඩකඩක අංග සම්පූර්ණ ගෙවත්තක් නිර්මාණය කර ගන්නා ආකාරය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් පෙන්වා දෙයි. වැසි ජලය නිසි ලෙස කළමණාකරණය කිරීම තුළ ප්‍රයෝජනයට ගත හැකි ජලය ස්වාභාවිකව ලබා ගැනීමට නිර්මාණය කර තිබීම තවත් විශේෂත්වයකි.

ගොඩනැගිල්ලක් හෝ නිවසක් තුළ බලශක්ති සංරක්ෂණය කෙරෙන ආකාරය පිළිබඳ ව හඳුන්වා දෙනු ලබන්නේ ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන (ඉක්ටෑඩ්) ආයතනය මඟිනි. වාෂ්පකරණ සීතකය මඟින් වායු සමීකරණ යන්ත්‍ර භාවිතයෙන් සිදුවන බල ශක්තිය වැයවීම අවම කර ජලය යොදා ගැනීම මඟින් වාෂ්පීකරණ සීතකය පවත්වාගෙන යාම හඳුන්වා දේ. ගොඩනැගිල්ල තුළට තාපය ඇතුලත් වීම අවම කරගැනීම සඳහා තාප ආවරණ හරිත වැටිය හඳුන්වා දී තිබීම තවත් විශේෂත්වයකි.

මීට අමතරව ආරම්භයේ සිට වර්තමානය දක්වා මානව ජනාවාසකරණය හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විකාශයද මෙම ප්‍රදර්ශන කුටිය තුළින් මනාව පෙන්නුම් කර ඇත. ප්‍රදර්ශන කුටිය පොදු ජනතාවට මෙන් ම අධ්‍යාපනය හදාරන පාසල් දරු දැරියන්ටද ඉතා වැදගත් වන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  
- දිල්හාර බණ්ඩාර -news.lk

house 

1 comment:

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews