POSTED ON Saturday, April 6, 2013| | Edit Post
ස්වභාවික කෙඳි වර්ග රබර් නිෂ්පාදන සඳහා යොදා ගැනීම දැන් අලූත් ප‍්‍රවණතාවයක් වෙලා. එයට හේතුව තමයි මෙම ස්වභාවික කෙඳි අවට පරිසරයෙන් පහසුවෙන්ම ලබා ගත හැකි වීම, පිරි වැය අවම වීම සහ ඒවායෙහි පරසර හිතකාමී බව. අප අවට පරිසරයේ බහුලව හමුවන කෙඳි අතුරින් වැඩිම සෙලියුලෝස් ප‍්‍රමාණය තිබෙන්නේ මේ කෙසෙල් කෙඳි වල. තන්තුවලින් 60-65%ක්ම තිබෙන්නේ මේ සෙලියුලෝස්. මේ කෙසෙල් කෙඳි රසායනිකව සහ හෞතිකව නවීකරණය කර යොදා ගැනීමෙන් රබර් ගුණ වැඩි දියුණු කර ගැනීමටත් හැකියාව තිබෙනවා.
කෙසෙල් තන්තු එක් කිරීමෙන් වියළි රබර් සංයෝගවල ද්‍රව අවස්ථාවේදී ගලා යන ආකාරය (rheological properties) සහ භෞතීය-යාන්ත‍්‍රික ගුණ (physio – mechanical properties) කෙරෙහි ඇති කරනා බලපෑම පිළිබඳ මෙම අධ්‍යයනයේදී වැඩි අවධානයක් යොමු කෙරුනා. මෙහිදී යාන්ත‍්‍රික ක‍්‍රමයක් මගින්....
වෙන් කර ගත් කෙසෙල් කෙඳි අඹරා ස්වභාවික රබර් වලට මිශ‍්‍ර කෙරුනා. ඉන්පසු මෙලෙස කෙසෙල් කෙඳි යොදා සැකසූ රබර් සංයෝග, කාබන් කළු (carbon black) යොදා සැකසූ රබර් සංයෝගත් සමඟ සන්සන්දනාත්මකව පරීක්ෂා කිරීම සිදු කළා.
මෙහිදී කෙසෙල් කෙඳි යෙදූ රබර්වල තද බව (hardness) ඉහළ ගොස් තිබූ අතර, ඇදීමකදී කැඞී යාමට පෙර දරා ගත හැකි උපරිම ආතතිය (tensile strength) සහ දැඩි ආතතියකදී ඉරී යාමකට එරෙහිව දරා සිටීමට ඇති හැකියාව (tear strength) පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි වුණා. කෙසෙල් කෙඳි පමණක් යොදා ගත් විට එය රබර් සඳහා තනුකකාරක පිරවුමක් (diluent filler) ලෙස හැසිරෙන බව මින් තහවුරු වුණා. නමුත් කෙසෙල් කෙඳි, ෆීනයිල් ෆෝමැල්ඩිහයිඞ් හෝ හෙක්සා මෙතිලින් ටෙට්ට‍්‍රා ඇමයින් වැනි ඈඳුම්කාරකයක් (coupling agent) සමඟ රබර් සඳහා යොදා ගැනීමෙන් tensile strength 25%කින් ඉහළ නංවාලීමට හැකි වුණා. දැන් මෙම නව සොයා ගැනීමත් සමඟ ස්වභාවික රබර් වඩා ශක්තිමත් කර ගැනීමට නිකරුනේ අපතේ යන කෙසෙල් කෙඳි පහසුවෙන්ම යොදා ගන්න පුළුවන්.
මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ, රසායනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ එස්. යූ. ලොකුබාලසූරිය, එස්. එම්. එගොඩගේ සහ බී.ඒ.ජේ.කේ. පේ‍්‍රමචන්ද්‍ර යන විද්වත් පිරිසයි. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ව්‍යවහාරික විද්‍යා පීඨයෙහි පැවැත්වූ 2012- බහු අවයවික විද්‍යා සහ තාක්ෂණය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත‍්‍රණයේදී මෙම පර්යේෂණ පත‍්‍රිකාව ඉදිරිපත් කෙරුනා.
( මූලාශ‍්‍රය :   01    )            

   
Banana trees
Banana trees

          
                                          

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews