POSTED ON Monday, March 11, 2013| | Edit Post






කැළණි ගං දිය කලබලයක්‌ නැත. එය සංසුන්ව ගලා යයි. හාත්පස දැඩි හිරු රැසින් නැහැවී ගත්තේ ඒ ගැන ඊර්ෂියාවෙන් මෙනි. අප සිටියේ ආසන්නයේ නවලෝක ක්‍රීඩාංගණය මැදය. හිරු රශ්මිය ඉවසිය නොහැකි වුවද අප "ඇය" සොයා ගත යුතුය. හාත්පස පෙනෙන ලෑලි ගෙවල් අතරින් ඇය වෙසෙන නිවස සොයා යැම පහසු නැත. බොහෝ නිවාසයන්හි මිදුලක්‌ නැත. ඇත්තේ අඩිපාරක්‌ පමණි. ඒ අඩිපාර කාගේ නිවසට දැයි කිව හැක්‌කේ එහි ජීවත්වන්නෙකුට පමණි.

පෙනෙන්නට තිබුණු ලෑලි ගෙවල් ඉදිරිපස බාල තරුණ මහලු බොහෝ පිරිසක්‌ එක්‌ව සිටියහ. සියල්ලෝම බලා සිටියේ ආගන්තුක අප දෙසය. ඒ කිසිවෙකුගේ හෝ පහන් හැඟීමක්‌ සහිත මුහුණක්‌ දක්‌නට තිබුණේ නැත. දරිද්‍රතාව නූගත් බව උරුම කළ දැඩි බව ඔවුන් තුළ දක්‌නට ලැබිණි.

බලා සිටිය නොහැකි තැන අප "ඇයට" පණිවුඩයක්‌ යෑවීමු. ඒ අප පැමිණ සිටින බව දන්වමිනි. ඇසිල්ලකින් ඒ ගිනි මද්දහනේ "සඳක්‌" පෑයූ ලෙසින් ඇය අප හමුවට පැමිණියාය. ඒ කඨෝර පරිසරය, මිනිසුන් පරදවන ප්‍රසන්න සුහදශීලි සිනාවක්‌ ඇයගේ මුවග රැඳී තිsබිණි.





ඇය අපේ කතා නායිකාව "සංජීවනී ප්‍රියදර්ශනීයි." උසස්‌ පෙළ ඉහළින්ම සමත් වූ පින්බර දරුවන් අතුරින් ඇය ගැන කතා කෙරුණේ ඉතාම අඩුවෙනි. උසස්‌ පෙළ ඉහළින්ම සමත් සියලු දරුවන් තරම්ම ඇයද වටිනා චරිතයක්‌ වන්නේ, උසස්‌ පෙළ සමත් වන්නට ගත් වෑයම, දුෂ්කරතා, අපහසුතා නිසාම නොවේ. ඇය ඒ සියල්ල ජය ගත්තේ අපමණ බාහිර දුෂ්කරතා රැසක්‌ හේතුවෙන් නිසාය.

ඇය අප කැටුව කුඩා ලෑලි ගෙවල් අතරින් සිය නිවෙස කරා පියමනින්නීය. ඇය තරමින්ම අපට කඩිසර විය නොහේ. තනි මිනිසකුට ඇවිද යා හැකි පටු පාරේ එහෙමට කඩිසර වන්නට නොහැකිය. ගංදිය උතුරා ගියේ නැතුවට නිවෙස්‌ අතරින් ගලා යන කාණුව ඒ මිනිසුන්ගේ දුක කියන්නේ ජලයේ පැහැයෙන් හා ගන්ධයෙනි. ඇයගේ නිවසට අපි ගොඩවැදුනෙමු. "මිදුල්" හෝ "පාරක්‌" හරි හැටි කියන්නට බැරි එය ඔවුනට "නිවසක්‌" වුවද අපට නම් කාමරයකි. උසස්‌ පෙළ ඒ සාමාර්ථයන් තුනක්‌ ලබමින් ඉහළින්ම සමත්වන්නට "සංජීවනී" සමත්වන්නේ මේ කාමරයේ හිඳය. ඒ පෙනෙන්නට තිබෙන දුෂ්කරතාවයි. ගෙට ගොඩවූ මොහොතේ සිටම එකිනෙක යාව ඒ වටා ඇති අනෙක්‌ ලෑලි ගෙවල්වල මහ හඬින් ක්‍රියාත්මක වන රූපවාහිනී යන්ත්‍ර කැසට්‌ යන්ත්‍රවල ශබ්ද, කෑකෝ ගැසීම් ඇය විඳි දුෂ්කරතාවයේ තවත් පැත්තක්‌ ගැන අපට ඉඟි කළේය.

"මම විභාගයට පාඩම් කරද්දී, මට ඉවසගෙනම ඉන්න බැරි ඔය සද්ද... විභාගයට කලින් දවසේ මම හිටියේ පොලිසියේ.... ඒ ළඟ ගෙදරක දාලා තිබුණු කැසට්‌ එකක සද්දේ පොඩ්ඩක්‌ අඩුකරන්න කියලා ඉල්ලීමක්‌ කරන්න කියලා. ඒ ප්‍රශ්නේ දුර දිග ගිය නිසයි." ඇය තමන්ගේ විඳි දුක්‌ ගැහැටේ දිග පළල විස්‌තර කරන්නීය.

2011 වර්ෂයේ එක්‌ දවසක සංජීවනී තමන්ගේ වටිනා කියන පොත් පත් සියල්ල රැගෙන නැන්දනියගේ නිවසට යන්නේ මිනිසුන් තරමටම, සොබාදහමද ඇයට අකාරුණික වන මොහොතකය. ගංවතුර ඇයගේ එළිපත්තට පැමිණි විට කළ හැකි දෙයක්‌ නොවූ තැන ඇය නැන්දාගේ නිවසට යන්නේ පාඩම් කරන්නටය. අවාසනාවකට මෙන් ගංදිය නැන්දනියගේ නිවසද යටකර දමන්නේ ඇයගේ දිරිය පරාජය කළ යුතු යෑයි තර්ජනය කරන්නට කරන්නට මෙනි.

සංජීවනී ඉන් ටික දිනකට පසුව රෝගාතුර වන්නේ ගංවතුර රැගෙන ආ විෂබීජ ශරීර ගතවීම නිසාය. ඇය සැත්කම් තුනකට මුහුණ දුන්නාය.

"ඒත් මම 2011 අවුරුද්දේ උසස්‌ පෙළට ලීවා. මේ සේරම කරදර මැද්දේ ලැබුණේ බී සාමාර්ථයයි, සී සාමාර්ථ, දෙකයි. හිතට වේදනාවක්‌ ආවත් මම ආපහු නැගිටින්න ඕන කියන සිතුවිල්ල මට ආවා."

කරදර, සංජීවනීලාට අලුත් දේවල් නොවේ. ඒ ජීවිත සමග කරදර නිරන්තරයෙන් ගැට ගැසී තිබෙන්නකි.

2012 වර්ෂයට උසස්‌ පෙළ සඳහා ඇය සූදානම් වන්නේ මේ දුක්‌ කරදරවලට අභියෝග කරමිනි. කිසිදු ලෙසකින් හීන නොවන දිරියකිනි. ගංදිය ආසන්නයේ සේදවත්තේ සිය කුඩා නිවසේ හිඳ ඇය නැවත අකුරු කරන්නට පටන් ගන්නීය.

"මට මල්ලිලා දෙන්නෙක්‌ ඉන්නවා. අම්මා රස්‌සාවක්‌ කළා. ඒත් එයා පිච්චිලා අමාරු වුණා. තාත්තා කුලී වැඩ කරන්නේ. මේ සේරම කරදර එක්‌ක තවදුරටත් මටයි මල්ලිලාටයි උගන්වන්න වියදම් කරන්න තරම් ශක්‌තියක්‌ ඒ දෙන්නට තිබුණේ නෑ. මම ඉගෙන ගන්න එක නතර කරන්න ගියේ... එතකොට පන්සලේ ලොකු හාමුදරුවෝ කිව්වා, උගන්වන ගමන් ඉගෙන ගන්න කියලා. ඒ නිසාම මම හතර පහ වසර වල ළමයින්ට සිංහලයි ගණිතයයි උගන්වන්න පටන් ගත්තා."

සංජීවනී තමන්ගේ දුක්‌ කරදර තවත් කෙනකුට බරක්‌ දැනෙන්න ඉඩක්‌ තිබ්බේ නැත. ඇය තම දිරිය ශක්‌තිය මඟක්‌ විවර කර දුන්නේය.

2012 අවුරුද්දේ උසස්‌ පෙළ විභාගය ළඟ ළඟ එනවිටත් සංජීවනී තමන්ගේ "ටියුෂන්" පංති නවත්වන්නට හිතුවේ නැත. ඇය ඒ අතරම "වරලත් ගණකාධිකාරි විභාගයටද පෙනී සිටින්නීය. එපමණකුදු නොව, පිළිස්‌සුම් තුවාල සහිතව රෝහල් ගතව සිටි මවට උවටැන් කළ යුතුව තිබුණේ ද සංජීවනීටය. සංජීවනී ඒ සියලු දේ උපේක්‍ෂාවෙන් විඳදරා ගත්තීය.

2013 ජනවාරි 30 වැනිදා ඇයගේ ඒ දිරිය ශක්‌තියට, උපේක්‍ෂාවට ලැබුණු අගනාම තිළිණය වූයේ, උසස්‌ පෙළ ඉහළින්ම සමත්වීමයි. සංජීවනී තරම් දුක්‌ ගැහැට විඳින දරුවන් කොතෙකුත් මේ ජයග්‍රහණයට උරුමකම් කීවා වන්නට පිළිවන. මේ ජයග්‍රහණයන් හිමිකර ගත්තා වන්නට පිළිවන. එහෙත් ඇයගේ ජයග්‍රහණය සුවිශේෂී එකක්‌ වන්නේ කොළඹ පුරවරය අතිශය දියුණු නගරයක්‌ බවට පරිවර්තනය වන මොහොතක, ඒ දියුණුවට ලංවන්නටත් සිතා නැති කැලණි ගං ඉවුරේ සේදවත්ත නොදියුණු ලෑලි නිවාසයක හිඳ ඇය කොළඹ රත්නාවලියෙන් උසස්‌ පෙළ ඉගෙන ඉහළ සමාර්ථයක්‌ ලබාගත් නිසාය.

මෙහේ ළමයෙකුට ඉගෙන ගන්න පුළුවන් කමක්‌ ඇත්තේම නෑ.... ගෑනු ළමයි පොඩිකාලේම කසාද බඳිනවා. මෙහේ හුඟක්‌ ළමයි හිතන්නේ ඉගෙන ගත්තට වැඩක්‌ නෑ කියලයි. හැබැයි අපේ දුවට කවුරුත් බල කළේ නෑ. එයාගේ උත්සාහයෙන්මයි ඉගෙන ගත්තේ...."

සංජීවනීගේ අම්මා සුනේත්‍රා දියණිය ගැන උපන් ආඩම්බරය වචන වලට හරවන්නීය.

සංජීවනීට වත්තෙන්, එතරම් සැලකිල්ලක්‌ ලැබුණේ නැත. එහෙත් ඇය ඒ කිසිවක්‌ ගණනකට ගත්තේද නැත. වත්තේ සියලු දරුවන් තමන් පැමිණි මාර්ගයේම ආ යුතු බව ඇය විශ්වාස කරන්නීය. ඇය උගන්වන පංතිය මේ මොහොත වනවිට දරුවන් එකසිය පනහක්‌ පමණ දක්‌වා වර්ධනය වී තිබෙන්නේද, ඒ හේතුවෙනි.

"මේ ළමයි හුඟදෙනෙක්‌ සාමාන්‍ය පෙළින් පස්‌සේ වෙන්නේ මොකක්‌ද කියලා දන්නේ නෑ. එහෙම හොයන්න වුවමනාවකුත් නෑ. අපේ වත්තේ ළමයින්ටත් කවදාහරි මාව දැකලා ඉස්‌සරහට යන්න පුළුවන් තැනකට මම එනවා. මම මේ ගමන තනියම යන්නෙත් නෑ. මං වගේම දුක්‌ විඳලා ඉගෙන ගන්න ළමයින්ට පාරක්‌ හදනවා."

සංජීවනීගේ ප්‍රාර්ථනය උදාරය. එහෙත් ඇය මේ සටන ගෙනයන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා සිටියදීත් ඉගෙන ගන්නට තරම් "මේසයක්‌" "පුටුවක්‌" හෝ නොමැතිවය. ඇයගේ මේසය ලෑලි බිත්තියටම සවිකරන ලද ලෑල්ලකි. ඊට එපිටින් ඇත්තේ ඒ පුංචි නිවසේ (කාමරයේ) කුස්‌සියයි. ඇය අකුරු කරන අසීරුව මේ සටහන තබන මොහොතෙත් මගේ හදවතට දැනෙන්නේ, ඒ කුඩා නිවසේ කෙටි කාලයක්‌ හෝ කාලය ගත කළ නිසාය. ඇයගේ පොත් පත් බොහොමයක්‌ සීරුවට අසුරා කාඩ්බෝඩ් පෙට්‌ටිවල බහා ඇත්තේය.

කොතරම් වීරියෙන් ජීවිතය ජයගන්නට උත්සාහ දැරුවද ඇය උපන්නේ සේදවත්තේ වීමත් ජීවත් වන්නේ සේදවත්තේ වීමත් ඇයට බොහෝ නො නිල තහංචි වැටෙන්නට තරම් හේතුවී ඇති බවද ඇය පවසන්නීය.

හතර පහ පංති වලට සිංහල ගණිතය ඉගැන්වූ සංජීවනී ගිණුම්කරණ විෂයය ඉගැන්වීම දක්‌වා සිය "පංති" පැවැත්වීමට වර්ධනය කරගන්නීය. පරිගණකයක්‌ ඇසුරු කරන්නට තරම් වත්කමක්‌ නැති සංජීවනී පරිගණක තාක්‍ෂණය ගැනද හදාරන්නීය. සංජීවනී කිසිවෙකුගෙන් කිසිවක්‌ ඉල්ලා සිටින්නෙ aනැත.

මම කැම්පස්‌ යන්නෙත් මේ ගෙදර ඉඳගෙනම තමයි. හැබැයි මට මේ වත්තේ ළමයි ටික ඉස්‌සරහට ගන්න ඒ අයට උගන්නන්න මොකක්‌ හරි ශාලාවක්‌ තියෙනවනම් වටිනවා..."

සංජීවනීගේ ඉල්ලීමද අනුන් වෙනුවෙනි. ඇය සුවිශේෂී චරිතයක්‌ බව මා මුලින් කීවේ එහෙයිනි.

සංජීවනීගේ නිවසින් පිටව නැවත එනවිට ද ඇය අප සමඟ මඟට පැමිණියාය.

ඒ දිරිය යුවතියට සුභ පතන්නට, උපහාර පුදන්නට මේ අකුරු සවිමත් නොවන බව දනිමි. එහෙත් මේ අකුරු සමඟ සංජීවනීගේ හෙට දවස එළිය කරන්නට පෙළ ගැසෙන බව විශ්වාස කරමි.

උදේශ සංජීව ගමගේ
Udeshamedia@gmail.com

ඡායාරූප - සුජාතා ජයරත්න

උපුටා ගෑනීම - http://www.divaina.com/2013/02/10/feature01.html
තොරතුරු සැපයීම - Chinthana Jayathilaka
වීඩියෝව - 




*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out ☛☛☛☛☛ http://www.facebook.com/GannaApeDe?ref=stream

*******************************

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews