POSTED ON Thursday, October 10, 2013| | Edit Post
මිනිසා වනාන්තරයෙන් එළියට පැමිණ රාජධානි ගොඩනගා ගැනීමෙන් පසු සතුන් හා මිනිසුන් අතර වූ සහජීවනය කෙමෙන් කෙමෙන් දුරස් වන්නට විය. වනාන්තර එළිවෙමින් නගර නිර්මාණය වෙද්දී වනසතුන් උදෙසා සත්වෝද්‍යාන නිර්මාණය වන්නට විය. ඒ සතුන් උදෙසාම නොව මිනිසුන්ගේ විනෝදාස්වාදය උදෙසාය.

වර්තමානය වනවිට යළිත් කූඩු කළ සතුන් උදෙසා නිදහස් භූමි ලබාදීමේ සැලසුම් ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ලාංකේය අපට නිදහස් සත්වෝද්‍යාන නැතහොත් සෆාරි පාක් යනු අලූත් අත්දැකීමකි.

සෆාරි යැයි පැවසූ පමණින් අපට මතකයට එන්නේ යාල අභය භූමියයි. එහෙත් යාල යනු අලි, දිවි හා මුවන් වැනි දේශීය සතුන් පමණක් දැකගත හැකි සෆාරි පාක් එකකි. රටක් දියුණු වීම මෙන්ම රටකට අලූත් අත්දැකීම් එක්වීම යහපත් ප්‍රවණතාවකි.

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් රිදියාගම සෆාරි උද්‍යානයටත් පින්නවල සත්වෝද්‍යානයටත් ඛෙදා වෙන් කිරීම ක්‍රියාත්මක වෙමින් පවතී .

සත්තු වත්තේ ඉතිහාසය
දෙහිවල සත්වෝද්‍යානයේ ඉතිහාසය පසුගිය සියවසේ මුල්භාගය දක්වාම දිවයයි. ඉංග්‍රීසින් අප රට අල්ලා ගැනීමෙන් පසු අප රටේ සතුන් අල්ලා අපනයනය කළ සුදු ජාතිකයකු වූ ජෝන් බාගන්බර්ග් දෙහිවල සත්වෝද්‍යානයේ මුල් හිමිකරුවා ලෙසින් සඳහන් වෙයි. අපේ වනාන්තරවලින් අල්ලා ගන්නා සතුන් යුරෝපයට යවන තෙක් කූඩුකර රඳවා තබාගන්නා ලද්දේ එදා දෙහිවලින් මිලදී ගත් අක්කර 5ක භූමි ප්‍රදේශයේය.

ඉන්පසුව එම භූමි ප්‍රමාණය අක්කර 11ක් දක්වා විශාල කිරීමට ඔහුට සිදුවූයේ අපේ සතුන්ට යුරෝපයෙන් ලැඛෙන ඉල්ලූම ඉහළ යෑමත් සමගිනි. 1936 වසරේදී මෙම භූමි භාගය රජයට පවරා ගැනීමත් සමගම එය සත්වෝද්‍යානයක් බවට පත් කෙරුණි. වර්තමානය වනවිට එහි විශාලත්වය අක්කර විසිපහකි.

සත්ව ඝනත්වය
දෙහිවල සත්වෝද්‍යානයේ දැනට සත්ව විශේෂ ඛෙදීම් 7ක් යටතේ සතුන් තුන්දහසක් පමණ දැකගත හැකිවෙයි. මෙහිදී සතුන්ගේ බෝවීම් අනුව වේගවත්ව වෙනස් වීමේ හැකියාවද පවතින බව කිව යුතුය. ක්ෂීරපායී විශේෂ සියයක් පමණ, කුරුලූ විශේෂ එකසිය දහයක් පමණ, උරග විශේෂ 35ක්, මත්ස්‍ය විශේෂ 65ක්, උභයජීවී විශේෂ 3ක්, සමනළ විශේෂ 30ක් හා මුහුදු සත්ව විශේෂ 10ක් පමණ දෙහිවල සත්වෝද්‍යානය තුළ දැකගත හැකි වෙයි.

මෙම සත්ව විශේෂ අතර වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත ජීවී ලැයිස්තුවට ඇතුළත් වූ දේශීය සත්ව විශේෂ 17ක් හා විදේශීය සත්ව විශේෂ තුනක්ද ඉතා ආරක්ෂිතව ඔවුන්ගේ ගහනය වර්ධනය කරවීම උදෙසා ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටියි.

රතු දත්ත ලැයිස්තුව තුළ සටහන්ව ඇති දුම්බර පෙතියා, පතිරණ සාලයා, බුලත් හපයා වැනි මත්ස්‍යයන්ද, මූදු කරවලා, පලා පොළඟා වැනි සර්පයන්ද, අළු ගිරවා, ගිරා මලිත්තා වැනි පක්ෂීන්ද දෙහිවල සත්වෝද්‍යානය තුළ දැකගත හැකිවෙයි. මේ අතරතුර වඳවී යෑමේ තර්ජනයට ලක්වූ විදේශීය සතුන් වර්ග කිහිපයක් වන කළු රයිනෝසිරස්, ඔරික්ස් ගවයා, ඔරංඔටං ආදී සත්ව විශේෂද මේ තුළ බෝ කරමින් පවත්වාගෙන යමින් සිටිති.

සංචාරක ප්‍රවර්ධනය
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම හරහා ලංකාව දියුණු කිරීමේ රජයේ සැලසුම් යටතේ සත්වෝද්‍යාන සංචාරක කර්මාන්තයට ගැළපෙන ලෙස ප්‍රවර්ධනය කිරීමට ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පින්නවල අලි අනාථාගාරයට ආසන්නයේ නව සත්වෝද්‍යානයක් නිර්මාණය කිරීම එහි එක් පියවරකි.

දෙවැන්න වනුයේ හම්බන්තොට සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් රිදියාගම ඉදිකරනු ලබන ලංකාවේ පළමු සෆාරි සත්වෝද්‍යානයයි. රිදියාගම සෆාරි පාක් එක නිර්මාණය කිරීමේ මුල් සැලසුම් 2008 වසරේදී කරළියට පිවිසෙන අතර ඒ සඳහා අක්කර 500ක භූමි භාගයක් වෙන් කෙරුණි. මෙම භූමි භාගය තුළ ප්‍රධාන කලාප හයක් නිර්මාණය කිරීමට නියමිතය.

අප්‍රිකානු කලාපය, ආසියානු කලාපය, ඔස්ටේ්‍රලියානු කලාපය, ශ්‍රී ලංකා කලාපය, සිංහ කලාපය, දිවි අරණ මෙන්ම උරග කලාපය ලෙස මේවා දැනට වර්ග කර ඇත. රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් උදෙසා ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 1.6කි.

දෙහිවලින් රිදියාගමට
දෙහිවල සත්වෝද්‍යානයේ දැනට සිටින අතිරික්ත සතුන් යැයි හඳුනාගනු ලැබූ කුළු හරක්, ලෙක්සි ගවයන්, ඔරික්ස් ගවයන්, ජිරාෆ් ගැහැනු සතුන් දෙදෙනකු හා ජර්මනියෙන් හා රුසියාවෙන් ගෙන්වූ සිංහයන් තිදෙනකු ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් සෆාරි පාක් එකට රැගෙන යෑම උදෙසා සැලසුම් සකස් වෙමින් පවතී. සත්වෝද්‍යාන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ජිරාෆ් වැනි සතුන් රැගෙන යෑම හුරුකිරීම උදෙසා නිර්මාණය කළ විශේෂිත කූඩුවලට ඇතුළු කිරීමද මේ දිනවල සිදුවෙමින් පවතී. එසේ නම් සතුන් රැගෙන යෑම ඉතා කඩිනමින් සිදුවන්නක් බවට ඉඟි පළවෙමින් පවතී.







මෙය 33000.lk හි පලවූ ලිපියකින් උපුටා ගන්නා ලද කොටසක් පමනි -
Read more: http://www.33000.lk/2013/10/ridiyagama-safari-park.html#ixzz2hItDPP00

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews