තුන්වේල බත් කෑ රට පාන් නැතුවම බැරි රටක් බවට පත්වී ඇත. ඇමෙරිකන්කාරයාගේ පාන් පිටි ණයට දෙන්නට ගත්කල සිට අපගේ කොළ, නිල්, රතු සියලු දේශපාලකයන් පාන් වෙනුවෙන් පෙනී සිටියේය. බත් අමතක කෙරුවේය. බත්ගස මරා රටේ කෘෂි ආර්ථිකය මරා ඇමෙරිකන්කාරයාගේ පා ලෙවකා කුස පුරවන්නට අවශ්‍ය වටපිටාව සැකසීමට මෙතෙක්කල් රජ කළ සියලු දේශපාලන පක්ෂ වගකිව යුතුය. ඔවුන්ගේ ආශිර්වාදයෙන් බත්ගස මරා රටේ දේශපාලනය අතට ගත් පාන් හා ඇමෙරිකන් පිටි අදටත් රජුන් හදන දේශපාලනයේ ආර්ථිකය බවට පත්වී ඇත. එය හෙටත් ඒ ආකාරයෙන්ම වන්නේය යන්න සක්සුදක් සේ පැහැදිලිය.

මේ දේශපාලකයන්ගේ ආශිර්වාද මැද ජාතියට පාන්පිටි ගිලින තත්ත්වයක් තුළ අද රටේ බෝ නොවෙන රෝග බොහෝමයකට හේතුකාරකය වන්නේ මෙම ඇමෙරිකන් සුදු පාන්පිටි හා එයින් නිපදවන මෘදු සුදු පාන් ආහාරයට ගැනීම වන්නේය.

ලොවේ බොහෝ ධාන්‍ය ආහාරයට ගැනීමේදී ඒවා පිටි බවට පත්කර විවිධ ආහාර සකසා ගැනීම සෑම සංස්කෘතියකම දායාදයක් වේ. තිරිඟු සඳහාද තිරිඟු වැවෙන රටවලට අදාළව එම සංස්කෘතිය ක්‍රියාත්මක වෙයි.

අතීතයේදී ධාන්‍ය ඇඹරීම ගෘහාශ්‍රිත කටයුත්තක් විය.යුරෝපයේදී පසුව එය ගමේ පොදු කටයුත්තක් බවට පත් විය.ජල පහරක ආධාරයෙන් දුවන ගල් මෝලක පිටි කෙටීම යුරෝපා ඉතිහාසයේ ආඩම්බර සලකුණකි. මෙම සංස්කෘතියත් සමග ඇමෙරිකාව ආක්‍රමණය කළ යුරෝපීයයානුවා ස්වදේශිකයන් සමූල ඝාතනය කර අල්ලා ගත් සුවිශාල භූමි ප්‍රදේශවල මසට හරකුන් මෙන්ම තිරිඟු වගාවද යහමින් පටන් ගත්තේය. පසුකල මෙම විශාල ප්‍රදේශවල වවන ලද තිරිඟු අතිරික්තයක් බවට පත්වූ කල මෙම තිරිඟු පිටරට යැවීමට ඔවුන් උත්සාහ කළේය.එය කළ නොහැකි කල අත්රික්තය මුහුදේද දැම්මේය.

ඇමෙරිකානුවන් මෙම අතිරික්ත තිරිඟු පිටි කැවීම සඳහා දෙවන ලෝක යුද්ධයෙන් පසු අප වැනි රටවල් තෝරාගත් අතර එය සමාජගත කිරීමට අවශ්‍ය ආධාර උපකාර, නීතිය හා තාක්ෂනයද නොඅඩුව ලබා දුන්නේය.එය කොතරම් සාර්ථක වීද යත් පාන් ගෙඩිය රු.3.50ට දීම ඡන්ද පොරොන්දුවක් විය.ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවයේ අයිතිකාරයන් වූ රතු ධජය අතට ගත් අයද මැයි පෙළපාලිවල පාන් මිල අඩු කරනු යනුවෙන් ඇමෙරිකානු පාන්පිටි සඳහා මොර දුන්නේය.

මේ තත්ත්වය තුළ අප වැනි රටවලට පාන් නැතිවම බැරි තත්ත්වයට පත්කර එම රටවල් තුළ පාන්පිටි සඳහා විශාල ඉල්ලුමක් ඇති කළේය. මෙය විශාල අඛණ්ඩ සැපයුමක් බවට පත්වූ අතර ඇමෙරිකානු මහාද්වීපයේ සිට සැපයීමේදී මෙම පාන්පිටි හා තිරිඟු වැඩිකල් තබාගන්නා ක්‍රමවේද අවශ්‍ය විය .තිරිඟු පිටි වලින් සාදන කෑම සඳහාද වැඩිකල් තබා ගැනීමේ ක්‍රමවේද සොයා බැලීය. මේ සඳහා ධාන්‍ය අස්වනු නෙළන අවස්ථාවේ සිට මිනිසා විසින් එය ආහාර වශයෙන් ගන්නා තෙක් ඇති සෑම අවස්ථාවලම මේ සඳහා විවිධ රසායන ද්‍රව්‍ය එක් කිරීමට ඇමෙරිකානු සමාගම් ක්‍රියා කළ අතර ඒ සෑම දෙයකටම නීතිමය ආවරණය ලබා දී එය සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන බවට ඇමෙරිකානු ජනතාවට ඇමෙරිකානු රජය සහතික විය. එහෙත් අදටත් මෙම බොහෝ රසායන ද්‍රව්‍යවල විෂ සහිත බව පරීක්ෂාකොට නැත. ඒ වෙනුවට එම සෑම රසායන ද්‍රව්‍යයකටම එම ද්‍රව්‍ය ආහාරවල තිබිය හැකි අවමයක් සඳහන්කර එය භාවිතාව නීතිගතකොට ඇත. මෙසේ විෂ සහිත බව පර්යේෂණයට ලක් නොකළ රසායන ද්‍රව්‍ය 700කට වැඩි ප්‍රමාණයක් අදටත් භාවිතා කිරීමට ඇමෙරිකාව නීතියෙන් අවසර දී ඇති අතර විෂ රසායන ගැන අවංකවම ක්‍රියා කරන බොහෝ රටවල් මෙම රසායන ද්‍රව්‍ය එම රටවල තහනම් කර ඇත.

පාන් ගෙඩියට විෂ රසායන එක්වීම මුල සිට අග දක්වා සලකා බලන කල කොපමණ රසායන ප්‍රමාණයක් එක්වනවාදැයි ඔබට සිතාගත හැකිය.

1. තිරිඟු බීජ සිටවීමේ සිට අස්වැන්න නෙළීම දක්වා දිලීර නාශක,වල් නාශක හා පලිබෝධ නාශක විශාල වශයෙන් යොදන අතර මේවායේ (Residuel) යම් ප්‍රමාණයක් බීජවල ඉතිරි වන්නේය.

2. එයට අමතරව බීජ නෙළු පසු පුස්කෑම වැළැක්වීම සඳහා දිලීර නාශකද ගුල්ලන් හා ඉපියන් කෑම වැළැක්වීමට පලිබෝධ නාශකද ඉසීම (Fumigation) දුමායනය කිරීම මගින් සිදුකරයි.

3. විශාල ධාන්‍යාගාර (Silo) වලට ධාන්‍ය ගබඩාකර තැබීමට පෙර Siloj ඇතුළත බිත්තියට දිලීර නාශක/පලිබෝධ නාශක ගැලවීම.

4. ධාන්‍ය වඩා කල්තබා ගන්නේ නම් Silo වලට උඩුකුරු තෙරපුම මගින් රසායන ද්‍රව්‍යවලින් දුමායනය කිරීම (Fumigation) යන ක්‍රියාවලි මගින් බීජ ගබඩා කිරීම තුළදීද විශාල වශයෙන් රසායන ද්‍රව්‍ය තිරිඟු වල බහුලව එකතු කරනු ලැබේ.

ධාන්‍යාගාරයෙන් ධාන්‍ය ඇඹරුම්හලට ගෙන යාමෙන් පසු පිටි නිෂ්පාදන ක්‍රියාවලිය තුළද විවිධ රසායන ද්‍රව්‍ය එක්කරනු ලැබේ. එමෙන්ම පැරණි ධාන්‍ය ඇඹරීම මෙන් නොව නවීන තාක්ෂණික උපකරණ මගින් වෙළඳපොල අවශ්‍යතාවය සැපිරීමට ඉතා කාර්යක්ෂම උපකරණ යොදා ගන්නේය. මෙහිදී ඉහළ උෂ්ණත්වය හා සියුම් පිටිකරණය නිසා ස්වාභාවිකව තිරින්ගුවල ඇති පෝෂ්‍ය පදාර්ථයන්ද විනාශ වන්නේය.

උදා:- 
- සියලුම විටමින් E විනාශ වන්නේය.
- කැල්සියම් 50%ක් විනාශ වන්නේය.
- පොස්පරස් 70%ක් විනාශ වන්නේය.
- යකඩ 80%ක් විනාශ වන්නේය.
- මැග්නීසියම් 98%ක් විනාශ වන්නේය.
- විටමින් B පදාර්ථ 80%ක් විනාශ වන්නේය.

මේ හැරුනුකොට අනෙක් පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් විනාශ වන්නේය.

ඇමෙරිකාව දිනකට තිරිඟු පිටි මෙ.ටො. 140,000ක් නිපදවන්නේය. එය සුවිශාල නිෂ්පාදනයකි.එය කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යාමට විවිධ රසායන ද්‍රව්‍ය එක් කිරීම ඇමෙරිකාවට නොවැළැක්විය හැකි කරුණක් වී තිබේ.

තිරිඟු ඇටයේ ප්‍රධාන කොටස් තුනකි.

1. නිවුඩ්ඩ (bran)
2. ප්‍රරෝහය (germ) සහ 
3. තිරිඟු ඇට කොටස (endosperm)

ආටා පිටි යනු මෙම නිවුඩ්ඩ හා ප්‍රරෝහය ද සමග ඇඹරූ තිරිඟු පිටි වේ. එහෙත් වාණිජ වශයෙන් අපේ වෙළඳපොළේ ඇති තිරිඟු පිටි මෙම නිවුඩ්ඩ හා ප්‍රරෝහය ඉවත්කර ඉතිරි කොටසෙන් නිපදවන පිටි වේ. මෙම පිටි හුදෙක් පිෂ්ඨය පමණක් ඇති පිටි වේ. මෙම පිටි වර්ණයෙන් මදක් අවපැහැ වේ. එමෙන්ම එම පිටි වැඩිකල් තබාගත නොහැකිය.එම නිසා පිටි කල්තබා ගැනීම සඳහා විවධ රසායන ද්‍රව්‍ය එකතුකරනු ලැබේ. මෙම තිර්නිගු පිටි කල්තබා ගැනීමේ ක්‍රියාවලිය (Flour Aging Process) ලෙසද මෙම පිටි වඩා ආකර්ශනීය වීම සඳහා තිරිඟු පිටි සුදු කරනු ලැබීම (Flour Bleaching Process) ලෙස හඳුන්වනු ලැබේ. මෙම ක්‍රියාවලිය විශාල වශයෙන් තිරිඟු පිටි නිපදවන සමාගම්වල නිෂ්පාදන ක්‍රියාවලියේ සාමාන්‍ය දෙයකි.

විශාල යකඩ රෝල් මත වැඩි උෂ්ණත්වයකින් හා විශාල බමන වේගයකින් අඹරා සාදන පිටිවල බොහෝ පෝෂ්‍ය කොටස් විනාශ වේ. මෙම පිටිකළ ධාන්‍ය පිටි කල්තබා ගැනීම හා සුදු කිරීමට භාවිතා කරන රසායන ද්‍රව්‍ය නිසා ඉතිරි පෝෂ්‍ය කොටස්ද විනාශයට පත්වේ.

පිටි සුදු කිරීම සඳහා Chlorine oxide භාවිතා කරනු ලැබේ. මෙය Chlorine gas bath නමින් හඳුන්වයි.මෙම ක්ලෝරෝනිකරණයෙන් පිටි සුදු වනවා මෙන්ම කල්ගතකරණයක් (aging agent) ලෙසද ක්‍රියාකරනු ලැබේ. මෙම aging කරණය මගින් පිටිවල ඇති ග්ලුටන්වල ක්‍රියාකාරීත්වය ඉහළ යන අතර එය බේකරි නිෂ්පාදනවල තත්ත්වය උසස් කිරීමටද ඉවහල් වන්නේය. එහෙත් මේ මගින් අපි කන පාන් ගෙඩියට තවත් රසායනික එකතු වන්නේය.

ක්ලොරින්වලට අමතරව බ්‍රෝමයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් නයිට්‍රොසයිල් හා බෙන්සොයිල් පෙරොක්සයිඩ් වැනි උග්‍ර ඔක්සිකාරක ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරන්නේය. මේ සියල්ලෙහි ඉතිරි කොටස් පිටි ආහාර මගින් ශරීරගත වීම තුළ එය ශරීරය තුළ ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි සෛල හා අවයව ක්‍රමයෙන් විනාශ කරන්නේය.එනම් අවයවවල ක්‍රියාකාරීත්වය අඩු වන්නේය.නැතහොත් ඉක්මනට වයසට යන්නේය.

මේ හැරුනුකොට ක්ලෝරීන් ගෑස් මගින් පිෂ්ඨයෙන් ඉතිරිවී ඇති gluten වැනි ප්‍රෝටීන කොටස් මත ක්‍රියාකර Alloxan නැමැති උග්‍ර විෂ රසායනය නිපදවේ. මෙය Bleaching කරණයේ අතුරු ඵලයකි.සිතන්න.. මෙම ඉතිරි වී ඇති කුඩා හෝ පෝෂ්‍ය ගුණය ඇති පාන් ගෙඩියේ Alloxan නැමැති විෂ රසායනයද අඩංගු වී ඇත. Alloxan C4 H2 O4 N2 යනු ප්‍රෝටීන ඔක්සිකරණයෙන් සෑදෙන යුරික් ඇසිඩ් (Uric Acid) විනාශ වී සෑදෙන අතුරු ඵලයකි.

මෙම Alloxan වල හොඳ නොහොඳ බැලීම සඳහා Alloxan විවිධ ප්‍රමාණයෙන් පර්යේෂනාගාරගත මීයන්ට ලබා දීමෙන් ලබාගත් ප්‍රතිඵල ඉතා භයංකරය.

මෙම පර්යේෂණයට ලක්කළ මීයන් සියල්ලම මධුමේහය (Diabetes) රෝගයෙන් පෙළෙන්නන් බවට පත්විය. ශරීරය තුළ සීනි ප්‍රමාණය පාලනය කරන්නේ ශරීරයේ ඇල දිව (Pancreas) මගින් නිපදවන ඉන්සියුලින් මගින් වේ. මෙම ඉන්සියුලින් නිපදවන ඇල දිවෙහි ඇති (Beta Cells) විනාශ කිරීම තුළින් ශරීරයේ Insulin හීනතාවය කරණකොටගෙන සතුන් මධුමේහ (Diabetes) තත්ත්වයට පත් වන්නේය.

එසේ නම් බහුතරය පාන් කන අපේ රටේද කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ජනගහනයෙන් 40%කට වැඩිය Diabetic රෝගීන් වීමට සාධකය සුදු පාන් ගිලීමම නොවන්නේද? සුදු පාන් ගිලීම නතර කිරීම බෝනොවෙන රෝග වැළැක්වීමේ ප්‍රධාන සාධකය වන්නේය. මීට අමතරව අධි රුධිර පීඩනය.වකුගඩු රෝග හා වසංගතයක් බවට පත් වී ඇති බඩේ දැවිල්ල නොහොත් Gastritis සඳහාද ප්‍රධාන වගකියන්නාද වන්නේ සුදු පාන් අනුභවය වේ.මේ සඳහා ඕනාතරම් සාක්ෂි සැපයිය හැකිය.

මීට අමතරව මෙම සුදු කළ පිටිවලින් බේකරි නිෂ්පාදන නිපදවීමේදීද විවිධ රසායන ද්‍රව්‍යයන් පිටි වලට හා බේකරි නිෂ්පාදනවලට එක්කරනු ලැබේ. රසකාරක හා පිපීම සඳහා යොදන විවිධ ද්‍රව්‍යවලට අමතරව බේකරි නිෂ්පාදන නැවුම්ව බොහෝ කලක් තබා ගැනීම සඳහා ද විවිධ රසායන ද්‍රව්‍ය එකතු කරනු ලැබේ.

1. ගෑස්කට්, රබර් මෙට්ට, සපත්තු අඩි සෑදීමට ගන්නා රසායන ද්‍රව්‍යයන් පාන් පිපීම හා කල්තබා ගැනීමට භාවිතා වනවා යයි ඔබ දන්නවාද?

Azodicarbonamide නැමැති රසායනය රබර්, ප්ලාස්ටික් හා පීවීසී වලින් සාදන එබෙන සුළු ද්‍රව්‍ය සෑදීමේදී මෙම ඇදෙන සුළු ගතිය හා එබෙන සුළු ගතිය ඇති කිරීමට එම ද්‍රව්‍ය තුළ ක්ෂුද්‍ර වා කුහර ඇති කිරීම සඳහා ගන්නා රසායනයක් වේ.

එහෙත් මෙම රසායනය 1995 සිට බේකරි නිෂ්පාදන සඳහා ද භාවිතයට ඇමෙරිකානු රජය මගින් ඉඩ දී ඇත. එය සම්මතයක් ලෙස ගෙන බොහෝ රටවල් මෙය භාවිතා කරන අතර කිසිම පාරිභෝගිකයෙක් මෑතක් වනතුරු මේ ගැන කිසිවක් නොදන්නේය. මෙම Azodicarbonamide ප්‍රබල ඔක්සිකාරකයක් වේ. එය පිටිවල ඇති Carotene නම් රසායනය ඔක්සිකරණයට භාජනය වීමෙන් පිටිවල ඇදෙන සුළු ගතිය වැඩිකරයි. එමෙන්ම එය පිටිවල යම් ප්‍රමාණයක් ඉතිරි වී ඇති විනාශ කර පාන් තවදුරටත් සුදු පාන් බවට පත්කරයි.

මෙම රසායනිකය හුස්ම ගැනීමේ අපහසුව ඇතිකරන රසායනිකයක් වේ. එම නිසා නොහොත් අඩුම රෝගය සෑදීමට උපකාරීවන රසායනිකයක් ලෙස එය එක්සත් රාජධානිය විසින් සොයා ගෙන ඇත. එම නිසා මෙය බොහෝ යුරෝපානු රටවලත් එක්සත් රාජධානියේත් ඕස්ට්‍රේලියාවෙත් ආහාර සඳහා භාවිතය තහනම් කළ රසායනිකයක් වේ. එහෙත් බහුජාතික සමාගම්වලට යටවූ ඇමෙරිකානු ආයතනය තවමත් මෙම විස ඇමෙරිකානු ජනතාවට කැවීමට නීති මගින් අවසර දී ඇත. එය මිලියනයකට ඒකක 45 දක්වා තිබිය හැකිබවට දක්වා ඇත. ඇමෙරිකානුවන්ට වහ කවන ඇමෙරිකන් පිටි කොම්පැනි අපටද වහ කවන්නේ නැතැයි සිතිය හැකිද? අපේ අයටද සුදු පාන් යනු ඉස්තරම් පාන් වන්නේය. එය රොඩ්ඩක් බව දන්නේ සමාජයෙන් කීයෙන් කීදෙනාද?

සිංගප්පූරුව තුළ යම් අයෙකු මෙම Azodicarbonamide භාවිතා කළහොත් වරදට දඬුවම වසර පහළොවක සිර දඬුවම් හා ඩොලර් 450,000/- දඩයකි. 

සිංගප්පූරුවේ එහෙම උනාට සිගප්පූරුවෙන් ලංකාවට ඇවිත් අපිට පාන්පිටි ගිල්ලවන ප්‍රීමා සමාගම විසින් නිපදවන පිටිවල මෙම රසායනික වර්ග නොමැති යයි කව්රුන් හෝ සිතයි නම් එය මුලාවකි. මෙම විෂ සහිත රසායනිකය Macdonald හා Kentucky Fried Chicken හල්වල දෙන මෘදු පාන් හා Hot Dogs වල අඩංගු වේ. එමෙන්ම වෙළඳපොළේ ඇති පැකට් සතියක් පමණ තබාගත හැකි ප්‍රීමා වැනි සුදු පාන්වල මෙම රසායනිකය අනිවාර්යයෙන්ම තිබේ. නැතහොත් සාමාන්‍ය පාන් ගෙඩියක් දිනකට වඩා තබාගත නොහැකිය.

එම නිසා පාන් කන්න පෙර දෙවරක් සිතන්න. ලෙඩකු වී ජීවත් වන්නට අවශ්‍ය නම්, ඉක්මනට මැරෙන්න අවශ්‍ය නම් මේ ගැන නොසලකා සුදු පාන් කනවාට අපගේ විරෝධයක් නැත.

සටහන-
වෛද්‍ය සුමිත් වන්නිආරච්චි,
අධ්‍යක්ෂ,
මව්බිම ලංකා පදනම.

© මව්බිම ලංකා පදනම - ගන්න අපේ දේ 2013

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews