POSTED ON Monday, October 28, 2013| | Edit Post
රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගි බෝග කන්දරාවකින් දෝත පුරවද්දී ලෝකයේ ”නාසා” ආයතනයේ ”කපුගේ තරුව” නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක් ස්ථාපනය කොට පැමිණි මේ අපේ ”කපුගේ තරුවට” හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් හෝ පුදනු ලැබීද? මුළු මහත් ලෝකයේ එම වයසේ සුපිරි මොළකාරයන් 1,500ක් දෙනා පරදවා මව්බිමට පැමිණි ඔහු ඇමෙරිකාවේදී ලැබුණ ඩොලර් 3500 ක මුදල් සහ ඉන්දියාවෙන් ලැබුණ ඩොලර් 500 ක මුදල සමග උපන් බිමෙන් ලැබුණ ලක්ෂ දෙක තුනක මුදල බැංකුවක දමා ඒ මුදලට ලැබෙන පොළිය ලබාගෙන අනුරාධපුරයේ පුංචි කාමරයක් කුලියට ගෙන උපකාරක පන්තිවලට යමින් හෙතෙම වැඩිදුර අධ්‍යාපනය ලබයි. හිස් මුදුනින් තබා පිළිගතයුතු මෙබඳු ජාතියේ සුපිරි දරුවෙකුගේ අධ්‍යාපනය ශක්තිමත් කරගන්නට මීට වඩා සමීප හා උත්තම රැුකවරණයක් සමග අත්උදව් දෙන්නට බැරිද?
මේ සුපිරි දරුවා පිටිසර දුප්පත් පවුලක නොවූයේ නම් සහ ඉහළ පැලැන්තියේ දරුවෙකු වූයේ නම් අද ඔහු සුපිරි රියක නැගී රජ මාවතක ගොස් ලෝකය තව තවත් විශ්මයට පත් කෙරෙන අපූර්ව නිමාණශිල්පියෙකු වනු ඒකාන්තය.
අම්මා, තාත්තා සහ දඟකාර නංගී ඔවුන්ගේ නිවසේදී

කපුගේ දරුවාගේ පියා ගලෙන්බිඳුණුවැව, දිවුල්වැව පිටිසර ගොවි ගම්මානයේ පදිංචි කපුරුබණ්ඩා මහතාය. අම්මා ශි‍්‍රයානි කුසුම් කුමාරසිංහ මහත්මියයි. කපුගේ දරුවාගේ නංගී දැනට දිවුල්වැව විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන ”ලක්ෂ්මී තක්ෂිලා චිත‍්‍රානන්ද කපුගේ” දියණියයි. තමන්ගේ නංගී තමන්ටත් වඩා හපනියක් බව කපුගේ දරුවා කියයි. කෙසේ වුවද ”ගලෙන්බිඳුණුවැව” ප‍්‍රදේශය රජරට උගතුන් බිහිකරන ඉසව්වකි. දැනට එංගලන්තයේ රෝහලක සේවය කරන අක්ෂි විශේෂඥ වෛද්‍ය හේරත් දිසානායක මහතාද, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතාද ගලෙන්බිඳුණුවැව ගම්වැසියෝය. ආරයට යන්නාක් මෙන් ගලෙන්බිඳුණුවැව කපුගේ දරුවාද දැන් ඉදිරියට පිය නගමින් සිටී.

කපුගේ දරුවා අපොස සාමාන්‍ය පෙළ සමත්වන තුරු අධ්‍යාපනය ලැබුවේ දිවුල්වැව ගමේ පුංචි පාසලේය. ඔහු හයවැනි වසරේ ඉගෙනුම ලබද්දී ”නියර රහින යන්ත‍්‍රයක්” නිපදවීමේ සිතුවිල්ල ඔහුට පහළ විය. දිවුල්වැව ගමේ ”සෙව්වන්දි” නමින් පුංචි ගරාජයක් විය. කපුගේ මෙම ගරාජයට ගොස් පරණ යකඩ කෑලි මූට්ටුකරමින් නියර රහින යන්ත‍්‍රයක මූලික සැකිල්ල සිය බුද්ධි ශක්තියෙන්ම නිර්මාණය කරගත්තේය.

කාලයත් සමග කපුගේ වැඩෙන්නාක් මෙන් මේ යන්ත‍්‍ර සැකිල්ලද ටිකෙන් ටික ඔහුගේ මොළයෙන් වැඩෙන්නට විය. යන්ත‍්‍රයේ ඉදිරි නිර්මාණයන් පිළිබඳ හිතට ගලා එන බුද්ධිමය සිතුවිලි x ඒ වහාම හදාගන්නට ඔහුට මුදල් හිඟ විය. දරුවාගේ බුද්ධිමය ගමන තේරුම් ගත් මව්පියෝ පදිංචිව සිටි ඉඩමෙන් අඩක් විකුණා ඔහුට මුදල් ලබා දුන්හ. යන්ත‍්‍රයේ ඊළඟ අදියරට යනවිට යළිත් ඔහුට මුදල් නැති විය. එවිට ඔහු ”බුක් මාර්ක්” අලෙවි කොට රුපියල් තුන් ලක්ෂයක මුදලක් උපයාගෙන යළිත් යන්ත‍්‍රය වැඩිදියුණු කළේය. මේ අතර හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගෙන් රුපියල්  තිස්දහසක්ද, පළාත් සභා මන්තී‍්‍ර හේරත් බණ්ඩා මහතාගෙන් රුපියල් පහළොස් දහසක්ද ඔහුට ලැබිණ. මීට අමතරව ගුරුවරුන්ගෙන්, පාසලින්, ඥාතීන්ගෙන්, හිතවතුන්ගෙන්, ගමේ අයගෙන් කපුගේට මුදල් ආධාර ලැබිණ. මේ සියලූ උදව් උපකාර මැද ”නියර රහින යන්ත‍්‍රය” සම්පූර්ණ කරගෙන කණිෂ්ඨ අංශයේ නව නිපැයුම් තරගාවලියට මෙම යන්ත‍්‍රය ඉදිරිපත් කෙරිණ. විවාදයකින් තොරව කපුගේ යන්ත‍්‍රය දිවයිනේ ප‍්‍රථම ස්ථානයට තේරිණ. කපුගේ දරුවාගේ කුසලතාවය දීප්තිමත් වීමත් සමග ඔහුට මේ මාවත දිගේ ඉදිරියට යන්නට බොහෝ අයගෙන් රුකුල් ලැබිණ.

මව්පියන් ගේදොර උගස්කොට දරුවාට අවශ්‍ය මුදල් පුළුවන් තරමින් රැුස්කර දුන්හ. මේ අතරතුර උසස් පෙළ අධ්‍යාපනය සඳහා කපුගේ දරුවා මිහින්තලේ මහා විද්‍යාලයට පැමිණියේය. මිහින්තලේදී ඔහුට හමුවූ ගුරුවරුන්, ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් කපුගේගේ විද්‍යාත්මක බුද්ධිය  ඔපවත් කරගැනීමට විවිධ පැතිවලින් මග පෙන්වනු ලැබීය. මේ සියලූ දිරිගැන්වීම් මැද කපුගේ දරුවා අංගසම්පූර්ණ නියර රහින යන්ත‍්‍රයක් නිර්මාණය කළේය. එය ලෝකයේ ප‍්‍රථම නියර රහින යන්ත‍්‍රය විය. මේ වන විට මේ යන්ත‍්‍රය නිපදවීම සඳහා කපුගේට රුපියල් දශලක්ෂයක තරම් වියදමක් දරන්නට සිදුවිය. අනන්ත අගහිඟකම් මැද දුක් කරදර පසුබෑම් මැද නිර්මාණය කරගත් නියර රහින යන්ත‍්‍රය ගොයම් කපන යන්ත‍්‍රයකට සවිකොට ඔහු විසින්ම අක්කරයක කුඹුරු ප‍්‍රමාණයේ සියලූම නියර  පැය තුනක කාලයක් තුළ ශුද්ධකර අවසන් කළේය. ඔහුගේ මෙම නව නිර්මාණය ”පුබුදු සරුකෙත” නමින් හඳුන්වන ලදී.

නියර රහින යන්ත‍්‍රයට අමතරව කපුගේ විසින් නියර බඳින යන්ත‍්‍රයක්ද, පොල් කැඞීමට පොල්ගස් නගින යන්ත‍්‍රයක්ද, ව්‍යායාම කරද්දීම රෙදි සේදී යන යන්ත‍්‍රයක්ද නිපදවා ඇත.

බුද්ධියට මළකඩ කන්නට නොදී බුද්ධිය සමග පොර බදමින් ඔහු දිගින් දිගටම කරගෙන ගිය මෙම නිර්මාණකරණයට බොහෝ ශිල්පීන්ගේ හා ආයතනවල මග පෙන්වීම් හා උපකාර ලැබුණ බව කපුගේ නිහතමානීව සිහිපත් කරයි. මිහින්තලේ මහා විද්‍යාලය සහ ගුරු මණ්ඩලය උතුරුමැද ඉංජිනේරු ආයතනයේ ශ්‍රීමා බණ්ඩාර, මහේෂ් දිසානායක, ලලනී විජේසේකර, ප‍්‍රදීප් ජයසූරිය, කොළඹ ඉංජිනේරු ආයතනයේ ජයවිලාල් මීගොඩ, එච්.ඇම්. ගුණසේකර යන මේ විද්වතුන් හැම දෙනාම ගුරුවරුන් සහ පියවරුන් ලෙස තමන්ට උපකාර කළ බව කපුගේ කෘතවේදීව සිහිපත් කරයි.

මා විසින් නිෂ්පාදිත නියර රහින යන්ත‍්‍රය කණිෂ්ඨ අංශයේ දිවයිනේ හොඳම නිර්මාණය ලෙස තෝරා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් 2013 මැයි මස 12 සිට 17 දින දක්වා ඇමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ ෆීනික්ස් නගරයේ පැවැති ලෝක නව නිපයුම් තරගාවලියට ඉදිරිපත් කරන ලද අතර විදුලිය හා යාන්ති‍්‍රක ඉංජිනේරු අංශයේ ලෝකයේ ඉස්තරම්ම නිෂ්පාදනය හැටියට ”පුබුදු රන්කෙත” තේරුණි. එය රටවල් 76ක් සහ තරගකරුවන් 1,500 ක් පසුබා ලෝකයේ හොඳම නව නිර්මාණකරුවා හැටියට තමන් තෝරාගත් බව ප‍්‍රකාශයට පත් විය. ඒ සමගම නාසා ආයතනය මගින් ”කපුගේ තරුව” හැටියට අහසේ  එක්තරුවක් නම් කෙරිණි. ලෝක තරගයට සැබෑ යන්ත‍්‍රය වෙනුවට එහි ආකෘතියක් රැුගෙන ගිය බව කපුගේ සඳහන් කරයි. අමෙරිකා ගමනේ වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගිනි.මෙම තරගයට යාමේදී උතුරුමැද ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා විසින් රුපියල් පනස් දහසක් ලබාදී ඇති අතර ජයග‍්‍රහණය ලබා ආපසු පැමිණි පසු තවත් රුපියල් පනස් දහසක් තමාට ලබා දුන් බව කපුගේ සඳහන් කරයි. මේ අතර අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රුපියල් ලක්ෂයක්ද අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතා විසින් රුපියල් ලක්ෂයක්ද ජනාධිපතිතුමන් විසින් පරිගණකයක්ද තමන්ට තෑගි කළ බව කපුගේ දරුවා වැඩිදුරටත් විස්තර කළේය.
කපුගේ විසින් නිපදවන ලද නියර රහින යන්ත‍්‍රය

නියර රහින යන්ත‍්‍රයේ මුල් සැකිල්ල

තමන් තාක්ෂණ විෂයයෙන් ලෝකය ජයගෙන පැමිණීමේ හේතුව මුල්කොට ලංකාවේ පාසල් 247ක තාක්ෂණවේදය පුහුණු කිරීමේ විෂය ධාරාව ආරම්භ කරන ලද අතර එම විෂය ධාරාවේ මුල්ම පාසල ලෙස තමන් ඉගෙන ගන්නා මිහින්තලේ මහා විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තෝරාගන්නා ලද බවද කපුගේ දරුවා සඳහන් කරයි. තමාගේ ලෝක ජයග‍්‍රහණයේ නාමයෙන් අපේ රටේ අධ්‍යාපන විෂය ධාරාවට තාක්ෂණවේදය එකතුවීම ගැන තමන් බෙහෙවින් සතුටුවන බවත් එම ගෞරවය පිටිසර බද ගමක දුප්පත් පවුලක උපන් තමන්ට හිමිවීම මුළු රජරටටම නම්බුවක් බවත්  ඔහු කියයි.

අපේ මව්බිම නැටුමට ගැයුමට වඩා මොළයට තැනක් දෙන රටක් බවට පත්වනු දැකීම තමන්ගේ ප‍්‍රාර්ථනය බව කපුගේ සඳහන් කරයි. අපොස උසස් පෙළ සමත් වීමෙන් පසු තාක්ෂණ වේදයේ ඉහළටම යාම පිණිස ඇමරිකාවේ නාසා ආයතනයට සම්බන්ධවීම තමන්ගේ එකම අධිෂ්්ඨානය බව කපුගේ සඳහන් කරයි. ඒ සඳහා තවමත් තමන්ට අත දෙන ආයතනයක් හෝ තැනැත්තෙකු පෙනෙන තෙක් මානයක නැති බව සඳහන් කරන ”කපුගේ” ලෝක ශූරයා තමන්ට අත දෙන්නට කෙනෙකු එනතුරු දෑස දල්වා බලා සිටී.

අතීතයේදී රජරට කපුගේ ගෙන් සංගීත ලෝකය ආලෝකවත් විය. එමෙන්ම වර්තමානයේ රජරටට පහළවී සිටින පුංචි කපුගේ ගෙන් විද්‍යා ලෝකයේ පෙරළියක් සිදුවනු ඒකාන්තය. ”අපටත් ඔලූවක් ඇති දරුවෙකු උපන්නා” යැයි අපි උද්දාමයට පත්වෙමු.


උපුටා ගැනීම- http://www.lankadeepa.lk/


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews