2011 වසරට පෙර නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම විසින් පරීක්ෂා කරන ලද කිරිපිටි සාම්පලවල DCD නැමැති රසායනය තිබුණු බවට එහි රැකියාව කරන අය විසින් ලබාදුන් තොරතුරු මත නවසීලන්ත හරිත පක්ෂය විසින් මුල්වරට මෙය නවසීලන්ත ජනතාවට එළිදරවුකරන ලදී. මෙයට සමගාමීව යුරෝපයේ භාවිතා කරන සමහර කිරි ආහාරවල DCD තිබුණු බවටද වාර්තා විය.

එම කිරි ආහාර නවසීලන්තයෙන් ආනයනය කළ කිරි ආහාර බවටද වාර්තා විය. එතැන් පටන් එය වසං කිරීමට ෆොන්ටෙරා සමාගම හා නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය උත්සාහ කළද එය අභ්‍යන්තර දේශපාලනික ප්‍රශ්නයක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් නවසීලන්ත කිරි නිෂ්පාදන වලට විශාල කළු පැල්ලමක් ඇති කළ හැකි බැවින් මෙම ප්‍රශ්නයේදී වරද පිළිගෙන වරද නිවැරදි කිරීමේ මහත්මා පිළිවෙතට තමන් ක්‍රියාකරන බව පෙන්වීමට ෆොන්ටෙරා සමාගමත්, නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශයත් කටයුතු කරන ලදී. ඒ අනුව මෙම අවුරුද්දේ ජනවාරි මස මුල් භාගයේ ඉන්දියාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අමතා මේ ගැන පැහැදිලි කිරීමක් කළ බවට වාර්තා විය. එමෙන්ම 2013 ජනවාරි විසිහතරවන දින නවසීලන්තයේ  පොහොර සමාගම් විසින් එම රටේ පොහොර  වෙළඳපොලින් DCD ස්වේච්ඡාවෙන් ඉවත්කර ගත් බවට ද ප්‍රවෘත්තියක් ලොව පුරා ප්‍රචාරය කරන ලදී. ඉන්පසු ජනවාරි 25 වනදා Wall Street Journal විසින් ෆොන්ටෙරා කිරි නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත ද යන්න විමසා ප්‍රවෘත්තියක් පළකරන ලදී. 2013 ජනවාරි  26 වන දින ෆොන්ටෙරා සමාගම මගින් මේ පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ කිරිපිටි සාම්පලවල DCD තිබුණු බවත් DCD යනු කිසිම සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති නොවන රසායනිකයක් බවත් ප්‍රකාශ කළේය.  DCD යනු පොහොර වශයෙන් තණකොලවලට යොදන ලද රසායනිකයක් බවත් එය ඉතා ඉක්මණින් පරිසරයෙන් ඉවත්වන බවද ප්‍රකාශ කළේය. එමෙන්ම නවසීලන්ත පොහොර සමාගම් විසින් ස්වේච්ඡාවෙන් මෙම DCD විකිණීම 2012 සැප්තැම්බර් සිට නවතා ඇති හෙයින් ඔවුන් නිෂ්පාදනය කරන කිරිවල DCD නොමැති බව දක්වමින් ඉතා සැලසුම් සහගත ලෙස මෙම ප්‍රශ්නයෙන් සාර්ථක ලෙස ගැලවීමට කරුණු කාරණා පෙළගස්වා ඉදිරිපත් කරන ලදී. අද වන විට තමන්ගේ නැංගුරම ලකුණ කිරි 100% ක් සෞඛ්‍යාරක්ෂිත යයි කියමින් ශ්‍රී ලංකාව තුළ නව වෙළඳ දැන්වීම් ප්‍රමාණයක්ද ප්‍රචාරය කරමින් පවතියි.

මේ තත්ත්වය මෙසේ පවතිද්දී ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුවද තම ජනතාවට බලපාන මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී සම්මත විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පිහිටා ක්‍රියා කිරීම හා තමන්ගේ වගකීම ඉටුකිරීම සිදු නොකොට ඒ වෙනුවට නවසීලන්ත රජයේ හා ෆොන්ටෙරා සමාගමේ තාලයටම හා   ඒ කාලවකවානුවලට සමගාමීව ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි DCD කථාවද සාක්කි නැති මරණයක් බවට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවට අප තදබල ලෙස චෝදනා කරමු.

ඒ මන්දයත්,

1. වසරකට පෙර සිට මේ පිළිබඳව නවසීලන්තය, යුරෝපය තුළ කතිකාවක් තිබුණද ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් සහ පාරිභෝගික අධිකාරිය ඒ ගැන සොයා නොබැලීම.

2. DCD ප්‍රශ්නයට ෆොන්ටෙරා සමාගම මුහුණ දීම සඳහා ඉතා සූක්ෂම සැලසුම් සහගත හා කල් බලන වැඩ පිළිවෙලක් තුළ ඔවුන්ගේ පාරිභෝගිකයා රවටා රඳවා ගැනීමට කටයුතු කිරීම.

3. එම සැලසුම මත වුවද ෆොන්ටෙරා විසින්ම ෆොන්ටෙරා කිරිපිටිවල DCD නැමැති රසායනිකයක් ඇති බව පවසද්දීත් ඒ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම.

4. ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය ද ෆොන්ටෙරා සමාගම දැන්වූ පසු කිරිපිටි සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කළද එහි ප්‍රතිඵල  ජනතාවට ප්‍රකාශ නොකිරීම. පාරිභෝගික අධිකාරිය මගින් පරීක්ෂා කරවන ලද කිරිපිටි සාම්පලවල ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කිරීමෙන් ගම්‍ය වනුයේ එම කිරිපිටි සෞඛ්‍යාරක්ෂිත බවට පාරිභෝගික අධිකාරියට සහතික වීමට නොහැකි බවයි. එනම් එම සාම්පලවල DCD හෝ වෙනත් අහිතකර දෑ ඇති බවයි. නැතිනම් එම සාම්පල සහිත ආනයනික භාණ්ඩවල කිරිපිටි ප්‍රශ්නයක් නැතිව භාවිතා කළ හැකි බව ඔවුන්ට නොබියව පැවසීමට හැකියාව තිබුණි. (මෙම සාම්පලවල DCD ඒකක දශලක්ෂයකට 0.36-15 දක්වා තිබුණ බවට වාර්තා වී ඇත)

5. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම සාම්පලවල ප්‍රතිඵල ප්‍රකාශ නොකොට ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අමතා ඔවුන් විසින් දෙන ලද උත්තරයක් කියමින් DCD යනු ප්‍රශ්නයක් නොවන ද්‍රව්‍යයක් යයි ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ නිකුත් කිරීම.

6. මෙයට සමගාමීව මේ වන විට ෆොන්ටෙරා සමාගම විසින් තමන්ගේ කිරිපිටිවල 2012 නොවැම්බර් සිට DCD නොමැති බවත් තම කිරිපිටි 100% ක් සෞඛ්‍යාරක්ෂිත බවත් ඉතා ඉහළින් ප්‍රචාරය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ද පාරිභෝගික අධිකාරියද ඉඩ දී ඇත.

මේ සියල්ලෙන් ගම්‍ය වනුයේ අපගේ නිලධාරීන් ද DCD ප්‍රශ්නයේදී ෆොන්ටෙරා සමාගමට අවශ්‍ය ආකාරයට දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියාකර ඇති බවයි. ඒ මගින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ව මෝඩයන්ට අන්දවා තවමත් හරිහැටි විෂද නැද්ද යන්න නොදන්නා රසායනිකයක් ෆොන්ටෙරා කිරි හරහා සමස්ත ජනතාවට පරිභෝජනය කරවීමට ෆොන්ටෙරා සමාගමට ඉඩ දී ඇති බවයි.

DCD යනු රසයක් ගඳක් නැති, ජලයේ දියවන, විසිරී වියලනයේදී වාෂ්ප නොවන, ස්ඵටිකරූපී කුඩු වශයෙන් එන රසායනිකයකි. එහි රසායනික වශයෙන් C2H4N4 වශයෙන් හඳුන්වන එක් අණුවක නයිට්‍රජන් අණු 04 ක් ඇති රසායනිකයකි. මින් පෙරද මෙම සමාගමේ අනුබද්ධ සමාගමක් විසින් Melamine නැමැති නයිට්‍රජන් අණු සහිත ගඳක් රසක් නැති කුඩු වශයෙන් ඇති ද්‍රව්‍යයක් මිශ්‍රකර සාදන ලද පිටිකිරි පානයකර චීනයේ ළදරුවන් 60 කට අධික ප්‍රමාණයක් මියගොස් 30,000ක් පමණ දරුණු රෝගාබාධවලට භාජනය විය.

(Whey Protein) කිරි ප්‍රෝටීන යනු ඉතා මිල අධික ද්‍රව්‍යයකි. කිරිවල සාමාන්‍යයෙන් ප්‍රෝටීන3% ක් පමණ ඇත. කිරිවල ඇති අධික මිල සහිත සැබෑ කිරි ප්‍රෝටීන ඉවත්කර එම කිරි ප්‍රෝටීනවල ඇති නයිට්‍රජන් අණු ප්‍රමාණයට සමාන නයිට්‍රජන් අණු ප්‍රමාණයක් සහිත වෙනත් ද්‍රව්‍යයක් යෙදීමට කරන ලද පර්යේෂණ මගින් Melamine රසායනිකය කිරි Adulterated කිරීමට භාවිතා කරමින් මෙම බහුජාතික සමාගම් අධික ලෙස ලාභ උපයන ලදී.

Dicyandiamide (DCD) ද මෙලමයින් මෙන්ම කිරි ප්‍රෝටීන (Whey Protein) ඉවත්කර ඒ වෙනුවට ව්‍යාජ ප්‍රෝටීන් ලෙස භාවිතා කළ හැකි ද්‍රව්‍යයකි. එම නිසා මෙම DCD ද මෙලමයින් මෙන් කිරි Adulterated කිරීමට ගන්නා ද්‍රව්‍යයක් ලෙස ෆොන්ටෙරා විසින් භාවිතා කරන ලද බවට ඇත්තේ බලවත් සැකයකි. එය එලිදරවුවීම වැළැක්වීම සඳහා මෙය පොහොර හරහා ආ ද්‍රව්‍යයක් බව පවසමින් එය යට ගැසීමට කරන ලද කුමන්ත්‍රණයක් ලෙස අප චෝදනා කරන අතර අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම ෆොන්ටෙරා වැඩ සැලසුමට අනුව ක්‍රියාකළ බවට අපගේ හැඟීමයි.

එම නිසා මෙතෙක් පරීක්ෂා කරන ලද සාම්පලවල DCD ප්‍රමාණය ජනතාවට හෙළිකරන මෙන්ද එම සාම්පලවලට අදාළ ආනයනික කාණ්ඩ සහිත සියලු කිරිපිටි හා කිරි ආහාර වෙළඳපොළින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.එසේම පසුගිය මෙලමයින් සිද්ධියේදී මෙන් ඉතා කාර්යක්ෂමව ක්‍රියාකර මෙලමයින් සහිත දේශීය චොක්ලට් වෙළඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයට DCD සහිත කිරි ආහාර ද ඉතා ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කිරීම සියලු බලධාරීන් සතු වගකීමකි.

ෆොන්ටෙරා සමාගමද DCD ඇති බවට පිළිගෙන ඇති බැවින් තවත් සාම්පල පරීක්ෂා කිරීම අනවශ්‍ය වියදමකි. තවත් සාම්පල පරීක්ෂා කිරීම යනු ෆොන්ටෙරා සමාගම DCD ප්‍රශ්නයේදී ක්‍රියාකරන වැඩසටහනට අනුව (Case Agenda) ක්‍රියාකිරීමයි. එවිට අද දවසේ ෆොන්ටෙරා සමාගම DCD නැති බව කරන ප්‍රකාශයට සමගාමීව හෙට දවසේ  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා ගන්නා ලද පිරික්සුම් සාම්පලවල ද DCD නොමැති බවට එන එලිදරවුවද සමගාමී නොවන්නේද?

එම නිසා අප සෞඛ්‍ය ඇමතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පෙර ලබාගත් පර්යේෂණ සාක්ෂිවලට අනුව DCD සහිත සියලු කිරිපිටි හා කිරි ආහාර වෙළඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම ෆොන්ටෙරා සමාගම විසින් කරන 100%ක් ඔවුන්ගේ  කිරිපිටි සෞඛ්‍යාරක්ෂිත යයි ප්‍රචාරය කරන වෙළඳ දැන්වීම්ද තහනම් කරන ලෙසයි.මෙම රසායනිකය භාවිතා කර ව්‍යාජ ලෙස ප්‍රෝටීන් ප්‍රමාණය හුවා දැක්වීමට කෘෂිකර්ම නිෂ්පාදකයන් උත්සක වනුයේ ස්වාභාවික කිරි ප්‍රෝටීන වන Whey Protein ඉතා මිල අධික වීමය. එමෙන්ම එම Whey ප්‍රෝටීන ඉවත් කිරීමෙන් ඇතිවන අඩුව පිරවීමට පිටතින් එක් කරන ද්‍රව්‍ය රසායනිකව සොයා බැලීමට අපහසු වන ආකාරයේ වටපිටාවක් ආහාර පරීක්ෂණ ජාලය තුළ ඇති වී තිබීමත්ය. එයට හේතුව බොහෝ ආහාරවල ප්‍රෝටීන ප්‍රමාණය නිර්දේශ කිරීම සඳහා භාවිතා කරන Kjeldhal Method නම් සාම්ප්‍රදායික සම්මත ක්‍රමවේදයනිසා වේ.

Kjeldhal ක්‍රමවේදයේදී කරනුයේ යම් ද්‍රව්‍යයක ඇති නයිට්‍රජන් ප්‍රමාණය නිර්ණය කර එය සම්මත ප්‍රෝටීනවල ඇති නයිට්‍රජන් අනුපාතය සම්මතයක් ලෙස සලසා එම අනුපාතයෙන් නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කර ප්‍රෝටීන ප්‍රතිශතයක් ලෙස දැක්වීම වේ. මෙය 1950 මුල්භාගයේ සිට අදටත් භාවිතා කරන ක්‍රමවේදයක් වන අතර එය සරල ක්‍රමවේදයක්ද වේ. සත්‍ය වශයෙන්ම වැස්සියෙකුගෙන් දොවා ගත් කිරිගෙන මෙම ක්‍රමයෙන් මැනගතහොත් ආසන්න වශයෙන් නිවැරදි ප්‍රෝටීන ප්‍රමාණය මැනගත හැකිය. එයද පාදක වනුයේ කිරි ප්‍රෝටීනවල ඇති නයිට්‍රජන් පරමාණු ප්‍රමාණයට සාපේක්ෂව වේ. එහෙයින් Kjeldhal ක්‍රමයට ඕනෑම ද්‍රව්‍යයක නයිට්‍රජන් ප්‍රමාණය නිර්ණය කළ හැකිය. එම නිසා මෙම කූට ව්‍යාපාරිකයන් ඔවුන්ගේ කිරිවලට වෙනත් නයිට්‍රජනීය ද්‍රව්‍යයන් මුසුකොට ව්‍යාජ ලෙස ඉහළ ප්‍රෝටීන අගයක් පෙන්වීමට මෙම Kjeldhal ක්‍රමය භාවිතා කොට ඇත. පසුගිය කාලවල කිරි නිෂ්පාදනයෙන් ඉහළ සිටින රටවල් කිරිවල ව්‍යාජ ලෙස ප්‍රෝටීන අගය වැඩියෙන් පෙන්වීම සඳහා විවිධ රසායනික සංයෝගයන් Adulterated වශයෙන් භාවිතා කරන ලදී. මෙම සියලු රසායනිකයන් ඉතා ලාභදායී, රසයකින් හා ගන්ධයකින් තොර ජලයේ දියවන නයිට්‍රජනීය අණු බහුල ද්‍රව්‍යයක් වන අතර මෙම ද්‍රව්‍ය භාවිතා කර කෘතිමව කිරි නිපදවීමද ඉතා විද්‍යාත්මක පදනමක් මත සිදු කරන කූට ව්‍යාපාරයක් බවට පත්වී ඇත.

කිරි ආහාරවලට අමතරව සත්ව ආහාර සඳහාද මෙය බහුලව භාවිතා කරන අතර 2007 වර්ෂයේදී සුරතල් සතුන් සඳහා වූ ආහාරවල (Pet Food) මෙලමයින් හා සිනයුරික් අම්ලය  (Melamine) Cyanuric Acid දැමූWheat Gluten භාවිතයෙන් සාදන ලද Pet Food නිසා යුරෝපයේද චීනයේද ඇමරිකාවේද වකුගඩු රෝගය වැළඳී විශාල වශයෙන් සුරතල් සුනඛයන් මියයාම මෙහි භයානකකම විදහාපාන පළවන නිදසුනයි. ඉන්පසු 2008 දී ෆොන්ටෙරා සමාගමට අනුබද්ධිත Sonlu සමාගම මගින් නිපදවන ළදරු කිරි පිටි වල මෙලමයින් ඇති බවට චීන රජය මගින් සොයාගන්නාවිට මෙලමයින් විෂ වී ළදරුවන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී 30,000කට වැඩි ළමුන් සංඛ්‍යාවක් වකුගඩු රෝගීන් බවට පත්විය. මේ සමාගම මෙලමයින් යොදා ගැනීමට Kjeldhal ක්‍රමවේදයේ අඩුපාඩුව උපයෝගී කර ගත්තේය. එය බහුල වශයෙන් මහා පරිමාණ කිරි නිෂ්පාදකයන් විසින් කරන අතර එය අද වන විට ලෝක පරිමාණ ප්‍රශ්නයක් බවට පත්වී ඇත.

අප ඉහතින් කියූ ලෙස කූට කිරි නිෂ්පාදකයන් මෙම කිරිවල කිසිසේත්ම අඩංගු නොවිය යුතු ද්‍රව්‍ය මුසුකොට ව්‍යාජ කිරි නිපදවීමට ඉහළ රසායනික විද්‍යා දැනුම හා උපකරණ භාවිතා කිරීම  නොරහසකි. මෙලමයින් හා ඩයිසයින්ඩයමයිඩ් හැරුණු කල පහත සඳහන් රසායනික ද්‍රව්‍යද ව්‍යාජ ප්‍රෝටීන ලෙස භාවිතා කරන රසායනික ද්‍රවය වේ.

✰ Melamine                                 Cyanuric Acid Ammelide

✰ Ammeline                                Cyromazine

✰ Dicyandiamide                        Urea Biurate

✰ Triura

යේදී කිරිපිටිවල Melamine වලින් ඇතිකළ ව්‍යසනයෙන් පසුව ලෝකය මේ ගැන අවධියෙන් සිටි නිසාදෝ 2012 වර්ෂයේ නවසීලන්ත කිරිපිටි වල DCD නැමැති රසායනිකය ඇති බව ඔප්පු වීමෙන් පසු එය සත්‍යයක් බවට බාර ගැනීමට ෆොන්ටෙරා සමාගමට සිදු විය. විශාල වෙළඳපොළ බලපෑමක් හා තම සමාගම් කොටස් වල අගය පහත බැසීම පාලනය සඳහා මෙම අවාසිසහගත තත්ත්වය වාසිසහගත තත්ත්වයක් බවට පෙරළා ගැනීමට ෆොන්ටෙරා සමාගම මෙන්ම නවසීලන්ත රජය ද ඉතා සැලසුම් සහගතව ඉදිරිපත් විය. ෆොන්ටෙරා කිරිවල DCD තිබුණ බව පිළිගත් අතරම එය ඉදිරියේදී ඇති නොවන ප්‍රශ්නයක් බව ලෝකයට කීමට ඔවුන් ඉතා දක්ෂ ලෙස ක්‍රියා කළේය. එමෙන්ම ඒ සඳහා නවසීලන්ත රජයේ විදේශ ඇමතිවරයා ඒ වෙනුවෙන් ලංකාවටද ආවේය. එහිදී ඔහු රජයේ ඉහළ මැති ඇමතිවරුන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සිට දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වැනි නිලධාරීන්ද දක්වා පෞද්ගලිකව මුණගැසී කරුණු ඉදිරිපත් කරමින් නවසීලන්ත කිරිපිටි කර්මාන්තය රැක ගැනීමට ඉදිරිපත් විය. ඒ නවසීලන්ත දේශපාලනඥයන්ගේ දේශහිතෛශීත්වයයි.

මෙම සිද්ධියේදී අපගේ කිරි නිෂ්පාදනය අයිති අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මේ ගැන නොදන්නවා සේ මර නින්දේ පසු විය. සෞඛ්‍ය අමාත්‍යාංශයද නවසීලන්ත විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශකයෙක් බවට පත්වී මෙම ප්‍රශ්නයෙන් මගහැරියේය.

ඊට අමතරව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයෙකු සති අන්ත පත්‍ර වලට කියා තිබුණේ DCD ප්‍රශ්නයක් නැති බවත් මින් ඉදිරියට ඒ ගැන කතා කරන අයවලුන්ට දඬුවම් ලබාදෙන බවත්ය. කෙසේ වෙතත් මින් ඉදිරියට රට තුලට එන කිරිපිටිවල DCD කොහෙත්ම නොතිබිය යුතුය යන්න ගත් තීරණයට සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ වගකිව යුත්තන්ට ස්තුති කිරීමටද මෙය අවස්ථාවක් කර ගන්නෙමු.

එමෙන්ම පාරිභෝගික අධිකාරිය විසින් පිරික්සූ කිරිපිටිවල DCD අඩංගු යයි වාර්තා විය. එය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර උපදෙස් පතු බවට ද වාර්තා විය. එහෙත් එම DCD අඩංගු කිරිපිටි තොග කුමක්ද ඒවාට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න ජනතාව නොදනී. එම නිසා එම DCD රසායනිකය අඩංගු කිරිපිටි අදාළ ආනයනික තොග විකිණීම අත්හිටුවා ඒවා ප්‍රතිනැව්ගත කිරීමට ක්‍රියාකරන මෙන්ද රට තුළ යම් ප්‍රමාණයක් වෙළඳපොලට එක්වී ඇත්නම් ඒවා නැවත කැඳවන ලෙස ෆොන්ටෙරා සමාගමට නියෝග කරන ලෙසද ජනතාවගේ සෞඛ්‍යයේ නාමයෙන් අප සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් හා එතුමාගේ ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා හරිත පක්ෂයේ සභාපති,

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා විසිනි.

දේශීයත්වය අගය කරන්න…
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු…!
ගන්න අපේ දේ…




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews