POSTED ON Thursday, October 10, 2013| | Edit Post
“පොළව පලා ගලක් දුටින් එගල පලා රිදී දුටින් රිදී ළිඳේ දියත් දුටින්....”
එසේ කුඩා ළමුන්ගේ තේරවිලි වලටද පාදක වූ, පොල් වතුර කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහාද භාවිතයට ගෙන තිබේ. සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිලිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද මේ මෑතක් වනතුරු සුදු ජාතීන්ගේ අවධානය යොමු වුයේ නැත. අනෙක් අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවලු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල්තෙල්, පොල් මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර හදවත් රෝගවලට තුඩු දෙන ආහාරයක් ලෙසය.

ඔවුන්ගේ දැනුම හා හඬ ඔස්සේ තීන්දු තීරණ ගත් අප විසින්ද පොල්තෙල්, පොල් මදය මෙන්ම පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයක් ලෙස සලකා අවඥාවෙන් බැහැර කරනු ලැබිණ. මෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියැවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000ක් සින්ක් එකට හලන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව පමණක් වුව ප්‍රමාණවත් වනු ඇත.

එබැවින් එකී කාරණාවද මතකයේ තබා ගෙනම, පොල් තැඹිලි කුරුම්බා වතුර පිලිබඳ පෙර අපරදිග විද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණවල තතු විත්ති වලින් හෙළිදරව් කෙරෙනා මාහැඟී ගුණය මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභද විමසා බලමු. පෝෂණයෙන් අති විශිෂ්ට පොල් වතුර ජීවයේ පානයයි. පොල් වතුර මේ ලොව ඇති සුපිරිසිදුම පානයයි. මාස 9ක් පුරා ජෛව පිරිසිදු වීමේ ක්‍රියාවලියට ලක්වී නිපදවන පොල් වතුර, ජීවානුහරිතය.එහි සංයුතිය අපගේ සෛල ප්ලාස්මාවේ රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම සුළු වශයෙන් ඇති ස්වාභාවික සීනි නිසාවෙන්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්වයි. මෙකී විශිෂ්ට අයනික ගුණය නිසාවෙන්, යුද්ධවලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක් ලෙස කෙලින්ම භාවිතයට ගෙන තිබෙන බවත්, දෙවන ලෝක යුද්ධයේදී පමණක් ජීවිත 50,000ක් පමණ බේරා ගෙන තිබෙන බවත් ඉතිහාසය තතු විමසීමේදී දැනගත හැක. එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්, අයඩීන්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් සී, බී හා ඊ ද ඇත. තවද මෙහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්සිකාරක, පයිටොකෙමිල්ස් වර්ග, ශාක හෝමෝන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වේ.

සංයුතිය නිසාවෙන්, හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස විද්‍යාඥයින් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත.මේ පිළිබඳව කර ඇති අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන්, ඔවුන්ගේ රෝග තත්ත්වය සියයට 71කින් අඩු වූ බවයි. පොල් වතුර මිලි ලීටර් 100ක පොටෑසියම් මිලිග්‍රෑම් 300ක් පමණ තිබෙන අතර, එම ප්‍රමාණය කෙසෙල් වලටත් වඩා වැඩි අගයකි. එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක් ලෙස හඳුන්වන්නට විද්‍යාඥයින් පසුබට වන්නේ නැත. පොල් වතුරෙහි අහිතකර කොලෙස්ටරෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළිවී ඇත්තේ අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන හිතකර කොලෙස්ටරෝල් මට්ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි.

අනෙක් අතට රුධිර කැටි ඇති වීම වළක්වාලන ගුණයක් පොල් වතුරෙහි අඩංගු වන බැවින් දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇතිවන අවදානම අඩු කර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත. 

✰ වකුගඩු රැකගන්නට හා මුත්‍රාශයේ ගල් දිය කිරීමට...

වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩුවලට සිදුවන හානි වැළැක්වීම පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව පර්යේෂකයන් පෙන්වා දෙයි. පිලිපීනයේ චයිනීස් මහ රෝහල් මුත්‍රවාහිනි පද්ධතිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉයුජිනෝ මැකලැලෑන් මහතා පෙන්වා දෙන්නේ, සතියකට දෙවතාවක් හෝ තුන්වතාවක් පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කළ මුත්‍රාශයේ ගල් සෑදී ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිටි රෝගීන්ගේ එම ගල්වල විශාලත්වය අඩු වී හෝ කුඩා කොටස්වලට කැඩී තිබුණු බවත්, ඒ නිසාවෙන් ඒවා ශල්‍යකර්මයකින් නොව, සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් සුව කිරීමට හැකි වූ බවත්ය. අනෙක් අතට පොල් වතුර හොඳ මුත්‍රකාරකයක්ද වෙයි. මුත්‍ර හොඳින් පහ වීමටත් මුත්‍ර මාර්ගයේ ඇති වන ආසාදන සුව වීමටත් පොල් වතුර හොඳ ඖෂධයක් ලෙස සැලකේ. 
වසවිස වලින් හා දරුණු විෂබීජ වලින් ආරක්ෂා වීමට.

අප්‍රිකානු හා ඉන්දියානු මෙන්ම, ශ්‍රී ලංකාවේදීද දේශීය වෛද්‍ය කර්මයේදී විෂ ඖෂධවල විෂ ගතිය ඉවත් කිරීමට පොල් වතුර භාවිතා කර තිබේ. එමෙන්ම බටහිර ඖෂධ අධිමාත්‍රාවකින් ශරීරගත වීමකදී ඒවායේ විෂ හරණය කිරීමටත්, මෙරට ජනයා ආහාරයට ගනු ලබන ආහාර වර්ග වල ඇතැයි කියනු ලබන පළිබෝධ නාශක ශේෂ කොටස් මෙන්ම ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදුවන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි , විද්‍යාත්මක තොරතුරු බොහොමයක්ම ඇත.පොල්, කුරුම්බා සහ තැඹිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් සතුව ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස් හා හර්පීස් සයිටොමෙගලෝ වෛරස් වර්ග මෙන්ම දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරස් වර්ගත් විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් සතුවන බව පැවසේ. එමෙන්ම මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරීත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්තිකරණය පද්ධතිය දියුණු කරන නිසාවෙන්, රෝගවලින් අපව ආරක්ෂා කෙරෙන බවත් සොයා ගෙන ඇත.

යෞවනත්වයේ දීර්ඝායුෂ ලැබීමේ උල්පත සයිටොකයිනනීන්.
පොල් වතුරෙහි තිබෙන විටමින් හා ඛනිජලවණ හා අනෙකුත් පෝෂණ ගුණයන්ටත් වඩා වැදගත් විශිෂ්ට ගුණය වන්නේ මෙහි තිබෙන ශාක සයිටොකයිනින් සංයෝගවලින් අපගේ සිරුරට ලැබෙන ගුණය බව නොඅනුමානය.සයිටොකයිනින් යනු පයිටෝහෝර්මෝන නොහොත් ශාක හෝර්මෝනයන් වෙයි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යෑම, වර්ධනය හා විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ. නමුත් මෙම ශාක හෝර්මෝන වලින් මිනිසාට ඇති ඵල ප්‍රයෝජනය කවරේදැයි විද්‍යාඥයෝ මෑතක් වනතුරුම සොයාගෙන නොසිටියහ. කෙසේ වෙතත්, විද්‍යාඥයින් දැන් අවධාරණය කරන්නේ, මෙම සයිටොකයිනින් වලින් පොහොසත් ආහාර සුලබව තබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යෑමේදී මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වන බවයි. පොල් වතුර වනාහි මෙම ශාක හෝර්මොනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි.

✰ පිළිකා පාලනය කිරීමේ ගුණය....

පෙරකී සයිටොකයිනින් මගින් වයසට යෑම පාලනය කිරීමට අමතරව නිරෝගී සෛල විභාජනය යහපත්ව තබා ගනිමින් පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බ්රූස් ෆිෆේ මහතා අවධාරණය කරයි. මීට අමතරව පොල් වතුර පිළිකා ඇතිවීමට හේතුවන නිදහස් මුක්ත කණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත. 
බර අඩු කර ගැනීමට කදිම පානයකි.

1999 වර්ෂයේ ඇමරිකාවේ යාලේ සරසවියේදී කර ඇති අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ, පොල් වතුර සීනි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇති වන කෑදරකම පහ කරන බැවින්, බර අඩු කර ගැනීමට කදිම පානයක් ලෙස යොදා ගැනීමට හැකි බවය. අනෙක් අතට විටමින් සී සුලබ ආහාර ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයකදී හෙළිවී ඇත. පොල් වතුර විටමින් සී වලින්ද අනූනය.

✰ පොල් වතුරෙහි තිබෙන වෙනත් ගුණයන්....

දියවැඩියා රෝගය පාලනයෙහිලා ද පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තිබේ. එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී, මෝටීන් සැටින් මහතා අවධාරණය කරන්නේ, මේ ලොව තිබෙන විශිෂ්ටතම ශක්තිජනක පානය වන්නේ පොල් වතුර බවයි. පොල් වතුරෙහි සින්ක් හා සෙලෙනියම් වැනි ඛනිජලවන වර්ග තිබෙන බැවින් ලිංගික සරුභාවයටත් මදසරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසේ. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන ඇත. මහලු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි. පොල් වතුර එළකිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ට වෙයි.

මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය පොල් වතුරෙහිද තිබෙන නිසා සකස් කළ ළදරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර විටමින් සංයුතියෙන් ගුණදායක බව පැවසේ. වමනය යෑම නතර කිරීමේ ගුණයක් සහ ආමාශයේ දැවිල්ල, ගැස්ට්‍රයිටීස් රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය මල බද්ධය සුව කිරීමේ ගුණයක් පොල් වතුරෙහි තිබෙන බව සොයා ගෙන ඇත. ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකෝමා රෝග තත්ත්වයන් ඇති වීම වළක්වයි. ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක් ලෙස භාවිතා කළ හැකිය.

ශරීරය අධිකව වෙහෙසන අවස්ථාවලදී සහ විජලන තත්ත්වයන්හිදී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැබෙන බව පැවසේ. පැපොල, සරම්ප හා ශරීරයේ පලු දැමීම සහ උෂ්ණ බිබිලි වලින් සුවයක් ලැබීම සඳහා පොල් වතුර බාහිරව ගැල්වීමෙන් සහනයක් ලැබෙන බව පර්යේෂකයන් සොයා ගෙන ඇත. සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ලොව පුරා වෛද්‍යවරු ගර්භණි මව්වරුන්ට පොල් වතුර, තැඹිලි වතුර පානය කරන්නට උපදෙස් දේ.

✰ හෙළ වෙදකමට නැතුවම බැරි පොල් වතුර....

මෙරට හෙළ වෙදකමෙහිලාද පොල්, කුරුම්බා සහ තැඹිලි වතුර භාවිතා කෙරෙන අවස්ථා රාශියක් තිබෙන බව පැහැදිලිව හඳුනාගත හැකිය. ශරීරයේ උෂ්ණය, දාහය සහ දොස් සමනය කිරීම සඳහා භාවිතා කරන “රාජ විරේකය” මුල් ගල් දිය කිරීමට භාවිතා කරන “වැලි හැලියේ කෂාය” “බලා විෂ්ණු තෛලය වැනි ඖෂධ සංයෝග රාශියක් සකස් කිරීමට තැඹිලි සහ පොල් වතුර භාවිතා කරයි. සුලබව යෙදෙන ඖෂධයක් පහත දක්වන්නේ පෙර කී පර්යේෂණවලින් තහවුරු කෙරී පවතින අපේ පැරැන්නන්ගේ ශ්‍රේෂ්ඨ දැනුමට උපහාරයක් වනු පිණිසය. 
ඉරමුසු පිරිසිදු කොට තලා, තැඹිලි ගෙඩියකට දමා ඇස්ස වසා රැයක් තබා, උදේට පානය කිරීමෙන් මුත්‍ර විෂ තත්ත්වයෙන්, මුත්‍ර ආබාධ සමනය කෙරෙන බව පැවසේ. මෙරටට පැමිණෙන විදේශික සංචාරකයන් සිල්ලර කඩවලට ගොස් පොල් ගෙඩි මිලදී ගෙන, එහි සිදුරක් සාදවා ගෙන, පාරවල් අයිනේ ඇන තියාගෙන ස්ට්‍රෝ එකකින් පානය කරනු ඔබත් දැක ඇති.එහෙත් අවාසනාවකට එම වෙළඳසැලේ සිටින තරබාරු වෙළඳ මහත්මිය දිනපතාම පොල් වතුර ටික කුණු කාණුවට දමා වස විස ද තිබිය හැකි ප්ලාස්ටික් බෝතල්වල අසුරා අව්වට වේලි වේලි තිබෙන පැණි බීම බෝතලයක් පානය කරමින් සිටිනු ඇත.

ඉදින් මේ එළඹ ඇත්තේ, පොල් ගස යට ඉපිද, හෘද රෝග වකුගඩු ආබාධ, පිළිකා රෝග වැනි බෝ නොවන රෝග වැලඳී අකාලයේ මිය ගොස්, පොල් ගස් යටම වල දමන්නට කලියෙන්, පොල් වතුරේ ඔසු රහස් මෙන්ම රස රහස්ද අපේ ඇත්තන්ට, කියවා පැහැදිලි කර දිය යුතු කාලයක් බව මෙහි අන්තිමට ලියා තබමි.

© මව්බිම ලංකා පදනම - ගන්න අපේ දේ 2013

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews