POSTED ON Friday, October 25, 2013| | Edit Post
ආර්ථික අපහසුතා නිසා ලෝක වූෂූ තරඟාවලියට සහභාගී වීමට අවස්ථාවක් සොයමින් සිටි තමන්ට "මව්බිම ලංකා පදනම" එම අවස්ථාව උදා කරදුන් බවත්, තමන්ගේ හැකියාවන් රටටම පෙන්වා දුන් "අද" පුවත්පතේ ලිපිය තමන්ට මෙම අවස්ථාව හිමිවීමට මහෝපකාරී වූ බවත්, ජාතික වූෂූ ශූර එන්.අයි.ඩී. අබේරත්න පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ මේ මස 17 වැනිදා අද පුවත්පතේ පළවූ "පුහුණුවීම් ඉවත දමා ලෝක වූෂූ ශූරතාව වෙනුවෙන් අනුග්‍රාහයෙකු සොයන ජාතික වූෂූ ශූරයා" යන හිසින් යුතු ලිපියට අනුව මව්බිම ලංකා පදනම විසින් ඔහුට මේ මස 31 වැනිදා ආරම්භ වන ලෝක වූෂූ ශුරතාවලියට සහභාගී වීමට අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ඊයේ (24) කොල්ලුපිටියේ පැවති "මව්බිම ලංකා පදනම" කාර්යාලයේදී ලබාදුන් අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අබේරත්න මහතා, "මැලේසියාවේ පැවැත්වෙන ලෝක වූෂූ ශුරතාවලියට සහභාගී වීමට අවස්ථාවක් නොමැති බව සඳහන් කරමින් "අද"පුවත්පතේ පළවූ ලිපිය දැක "මව්බිම ලංකා පදනමේ" ලේකම් කපිල ගමගේ මහතා මට කතා කළා. එතුමා පැවසුවා "කිසිදු ගැටළුවකින් තොරව පුහුණුවීම් පටන් ගන්න, තරඟාවලියට ඉදිරිපත්වීමට අවශ්‍යය මුදල් ප්‍රමාණය ලබාදීමට අප සූදානම්" කියලා . ඒ වගේම මෙම තරඟාවලියෙන් අනතුරුව මගේ දක්ෂතා බලා මාසිකවත්, මගේ පුහුණුවීම් සඳහා අවශ්‍යය අනුග්‍රහය ලබා දෙන්නම් කීවා. මට ලැබුණු මුදල ලොකු හයියක් වුණා. මම අද වෙනකම් ලෝක ශුරතාවලියට ඉදිරිපත් වෙනවාද, නැද්ද කියලා දෙගිඩියාවෙන් හිටියේ. පසුගිය මාසේ හංගේරියාවේ පැවැති ලෝක මල්ලව පොර ශුරතාවලියට සහභාගී වෙලා දැනටත් මම ණය වෙලයි ඉන්නේ. එම ණයවත් ගෙවා ගැනීමට නොහැකිව ඉන්නකොට තමයි "අද" පුවත්පතේ ලිපිය හරහා මෙම අවස්ථාව ලැබුණේ. මෙම අවස්ථාව උදාවීම මගේ පැත්තෙන් මම ලැබූ ජයග්‍රහණයක්. අතහැරෙන්නට ගිය දෙයක් යළි ලබාදුන් "මව්බිම ලංකා පදනමට" මම ස්තුතිවන්ත වෙනවා යැයි පැවසීය.

"අපේ මිනිස්සු ලැජ්ජ වෙන්න ඕන, අපේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට මෙවැනි තත්වයක් උදාවීම ගැන. දක්ෂතා ඇති ක්‍රීඩකයන් වෙනුවෙන් වෙනමම පදනමක් බිහි කිරීමේ කාලය දැන් පැමිණ තිබෙනවා. දක්ෂතා වලින් පරිපූර්ණ ක්‍රීඩකයන්ට ආර්ථික අපහසුතා පැන නැගීමෙන් සිදුවෙන්නේ රටට අභිමානයක් ගෙන ඒමට සිටින දරුවන්ගේ පෞර්ෂත්වය හීන වෙන එක. එය ලැජ්ජා විය යුතු තත්වයක්. පුවත්පත්වලට අනුග්‍රාහකයෙක් ලබාදෙන්න කිය කිය දරුවන්ව හිඟන්නන් කරලා. අපි අපේ ක්‍රීඩකයන්ට ඉදිරියට ඒමට අත්වැල දිය යුතුයි. අධ්‍යාපනය නොමිලේ ලබාදෙනවා නම්, විශ්ව විද්‍යාල ගුරුවරුන්ට විදේශ ගතවෙලා ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදෙනවා නම් ඇයි අපේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දක්ෂතා ඉහළ දමා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ" යයි "මව්බිම ලංකා පදනමේ" සභාපති ආරියසීල වික්‍රමනායක මහතා විමසීය.

මෙම අවස්ථාවට මව්බිම ලංකා පදනමේ ලේකම් කපිල ගමගේ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන කුලතුංග රාජපක්ෂ, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන්ද සහභාගී වූහ.

© මව්බිම ලංකා පදනම - ගන්න අපේ දේ 2013

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews