POSTED ON Friday, October 4, 2013| | Edit Post
ඩිජිටල්කරණය වූ ලෝකය තුල ප්‍රමුඛ විෂය ක්ෂේත්‍රයක් වන තොරතුරු තාක්ෂණය, නිරන්තරයෙන් නවීන තාක්ෂනයන් හා ගැටෙමින් නවීකරණය වෙමින් තිබෙනවා. එබැවින් තොරතුරු තාක්ෂණය විෂය ක්ෂේත්‍රය  තුල පවතින තාක්ෂණයන්හි අවබෝධය මෙන්ම, දිනෙන් දින යාවත්කාලින වන තාක්ෂනයන් පිලිබඳ ප්‍රයෝගික දැනුමකිනුත් තොරව මේ විෂය ක්ෂේත්‍රය තුල රඳවා පැවැත්මක් ගොඩනගා ගැනීමට බැහැ.


නමුත් ඊට පිවිසීමේ දී ප්‍රධාන වශයෙන් තාක්ෂණික සම්පත් සහ භාෂා දැනුම අත්‍යවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාව තුල තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීමට බාධකයන්ව පවතින්නේද එම කරුණු සම්පුර්ණ කිරීමට ඇති නොහැකියාවනුයි. රජය හා පෞද්ගලික අංශ වල මැදිහත් වීම මත භෞතික සම්පත් හැකි පමණ ලබාදීමට කටයුතු කරමින් තාක්ෂණික සම්පත් බාධකය මගහැරලීමට පියවර ගැනීම සතුටට කාරණයක්. නමුත් ඒ සමගම භාෂා දැනුම ගැටලුවට පිළියම් යෙදීම යුගයේ කාලින අවශ්‍යතාවයක් බවට ඉස්මතු වෙමින් තිබෙනවා. වර්තමානයේ තොරතුරු තාක්ෂණය හා ගැටෙන්නේ පාසල් සිසු සිසුවියන්. මෙම විෂය ක්ෂේත්‍රය තුල දැනුම විසිරි පවතින්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වගේම ප්‍රමුඛතාවය ලැබෙන්නෙත් ඉංග්‍රීසි භාෂාවට. නමුත් පාසැල තුල තොරතුරු තාක්ෂණය හදාරන්නේ මව් භාෂාවන් වන සිංහල හෝ දෙමල භාෂා වලින් වීම නවීකරණය වන දැනුම උකහා ගැනීමේදී බරපතල ගැටළුවක් බවට පත් වෙලා.

මෙම ගැටළුව මනා ලෙස අවබෝධ කරගත් මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ INTECS (Information Technology Society)තොරතුරු තාක්ෂණ සමාජය විසින් මිට පිලියමක් ලෙසිනුයි Fit2School blog සටහන් ව්‍යාපෘතිය ආරම්භ කරන්නට කටයුතු කලේ. තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ලෙස ගෝලීය තොරතුරු තාක්ෂණ ලෝකය හා නිරන්තරයෙන් ගැටෙන අපි ඒ හරහා ලබා ගන්නා විෂය හා ප්‍රයෝගික දැනුම පාසල් ශිෂ්‍ය ප්‍රජාවට තිලින කරන්නට තනා තිබෙන වේදිකාවයි Fit2School නමින් ක්‍රියාත්මක වන්නේ. 

උසස් පෙළ විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණ විෂය ඇතුලත් කිරීමත් සමග සිංහල හා දෙමල භාෂා වලින් සරලව ලියවුනු ලිපි සඳහා ඉහල ඉල්ලුමක් ඇති වුණා. මේ බව අවබෝධ කරගත් INTECS විසින් A/L විෂය නිර්දේශය ආවරණය කරන  පුළුල් ලිපි පෙළක් ඉලක්ක ගත කරමින්  Fit2School ආරම්භ කලා . A/L විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරමින් ඊට අදාළ ලිපි පෙළ සිංහල හා දෙමල භාෂා ද්විත්වයෙන්ම ලියවෙන්නේ තොරතුරු තාක්ෂණ පිටයේ සිසුසිසුවියන් අතින්. ඒ සමගම Java ,.Net,PHP ඇතුළු පරිගණක භාෂා පිළිබඳව පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැනුම්වත් කරන්නටත් පියවර ගනිමින් සිටිනවා.  පොත පත දැනුමට අමතරව  නවීන තාක්ෂණ ප්‍රවණතා පිළිබඳවත් නැවුම් ලිපි ගෙන එන්නටත් fit 2 school කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිඹිබු කරමින්  ආරම්භක 2013 පෙබරවාරි මාසය සිට මේ දක්වා 30000කට  අධික පිරිසක් මේ තුලට පිවිසි තිබෙනවා. . ඒ නිසාම ඉදිරියේදී පර්යේෂණ හා තාක්ෂණ පිලිබඳ ලිපි එක් කරමින් Fit2School තවත් පුළුල් කරන්නට අප සුදානම්. තොරතුරු තාක්ෂණ පීඨයේ මුල් වසර කණ්ඩායම් වල සහෝදර සහෝදරියන් විසින් ආරම්භ කරන ලද මේ සුවිශේෂී ප්‍රයත්නය වර්තමාන ශිෂ්‍ය කණ්ඩායම් වල උද්යෝගිමත් දායකත්වයෙන් ඉදිරියට ගෙන යමින් තිබෙන සාර්ථක blog සටහනක් බවට පත් වී තිබෙනවා. 


තොරතුරු තාක්ෂණ පීඨය , මොරටුව විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කරන ලද්දේ 2001 වසරේදී. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල පිහිටුවන ලද පළමු තොරතුරු තාක්ෂණ පීඨය වන මෙය මේ වන විට දශකයක දිගුගමන් මගක පැමිණ තිබෙනවා. මේ තුලින් පිටවූ සිසුසිසුවියන් මේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුල  ප්‍රමුඛස්ථානයක් ගනිමින් කටයුතු කරනවා.පොතපත දැනුමින් පමණක් යුතු සම්ප්‍රදායික උපාධිධාරීන් බිහි කිරීමේ කලාවෙන් ඔබ්බට යමින්,සමාජයට යහපතක් කෙරෙන ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා පීඨයේ පාලනාධිකාරියෙන් ලැබෙන්නේ නොමඳ සහයක්. INTECS (Information Technology Society)තොරතුරු තාක්ෂණ සමාජය එවන් ක්‍රියාකාරී එක් ශිෂ්‍ය එකමුතුවක්.Fit2School ව්‍යාපෘතියට අමතරව, අධ්‍යන කටයුතු වලට පරිබාහිර ප්‍රයෝගික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණ, වැඩමුළු , තොරතුරු තාක්ෂණ ව්‍යාපාරික ක්ෂේත්‍රය හා එක්ව ක්‍රියාවට නංවන්නෙත් INTECSහරහා. එමෙන්ම තොරතුරු තාක්ෂණ පීඨය සහ ව්‍යාපාරික ලෝකය අතර සම්බන්ධතා ගොඩ නගමින් උපාධිධාරීන් තොරතුරු තාක්ෂණ ලෝකයට හදුන්වා දීමේ ක්‍රියාවලිය වසර කීපයක් තුල සිටම සාර්ථකව ගෙනයන්නේ INTECS විසින්. 

මෙවන් පසුබිමක් තුල ඇරඹුණු fit2School , විශ්ව දැනුමට පිවිසෙන්නට ඇති භාෂා බාධකයන් සාර්ථකව බිඳහෙලමින්,  අතිශය තරගකාරී තොරතුරු තාක්ෂණ ලෝකය තුල ඉදිරියට යන්නට ශ්‍රී ලාංකීය ශිෂ්‍ය පරපුරට මං පෙත් විවර කරමින් සාර්ථක ගමනක නියැලෙමින් සිටින්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සාඩම්බර නිර්මාණයක් ලෙසින්.
 - තොරතුරු තාක්ෂණ සමාජය INTECS

Website: http://www.fit2school.com/
Facebook Fan Page:https://www.facebook.com/FIT2School/





Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews