POSTED ON Tuesday, October 15, 2013| | Edit Post
පස් හැවිරිදි පිරිමි දරුවකුගේ හිසමතට ‍පොල් ගෙඩියක් වැටීම හේතුවෙන් එම දරුවාගේ හිස් කබල අටපළකට බිඳී දරුවාගේ ජීවිතය දැඩි අවදානමක තිබියදී එම දරුවාගේ හිසට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබූ විස්මිත සැත්කමක් හේතුවෙන් එම දරුවාට ජීවත් වීමට වාසනාව උදා වී තිබේ.

මෙකී දරුවා තවත් දරුවන් පිරිසක් සමග සෙල්ලම් කරමින් සිටියදී වඳුරකු විසින් කඩා දැමූ ‍පොල් ගෙඩියක් දරුවාගේ හිස මතට වැටීම හේතුවෙන් මෙම අනතුරට පත් වී තිබේ. මෙසේ අනතුරට ලක් වූයේ දෙනිපිටිය කජුවත්තේ පදිංචි එම්. අසාද් (05) නමැති දරුවායි.

මෙම විස්මිත සැත්කම සිදුකරනු ලැබුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසිනි. ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මෙම විස්මිත සැත්කම පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

“මේ දරුවා රෝහලට ඇතුළත් කරන විට සිටියේ සිහිසුන්ව. පිටතින් බැලූ විට දක්නට ලැබුණේ මොළයට හා හිසට වූ තුවාල. සමට තුවාල වෙලා, මොළයේ කැබලි එළියට විත් තිබුණා. පළමුව දරුවාට හුස්ම ගැනීමට කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නා. ළමයා ස්ථාවර තත්ත්වයට පත් වූ පසු ස්කෑන් පරීක්ෂාවකට භාජනය කළා.
‍පොල් ගෙඩිය හිසට වැටීම නිසා හිස්කබල ඇතුළට කිඳා බැස තිබුණා. මොළයේ අස්ථි කොටස් උඩට මතු වී තිබුණා. මෙය කඩිනමින් කළ යුතු සැත්කමක් වුණා. පැය කිහිපයක් පරක්කු වුණා නම් දරුවාගේ ජීවිතය නැතිවෙන්න තිබුණා. මේ වගේ සැත්කම්වලින් සියයට දහයක් තමයි ජීවත් කරන්න පුළුවන්. ජීවිත අවදානම වැඩියි.
හදිසි ප්‍රතිකාර ඒකකයේ දී කායික වෛද්‍යවරයා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය දරුවා සැත්කම කිරීමට සූදානම් කළා. මේ දරුවාගේ හිස් කබල විවෘත කළ පසු දැන ගන්නට ලැබුණා ‍පොල් ගෙඩිය වැටීම නිසා අස්ථි කැබලි කිහිපයක් බිඳී තිබෙන බව.

මේ දරුවාගේ හිස අටපලකට බිඳී තිබුණා. මොළයේ අස්ථි කොටස් නැවත එකතු කොට දරුවාගේ හිස්කබල නැවත ප්‍රතිනිර්මාණය කළා. ඇත්තටම මෙය ඉතා සියුම් සැත්කමක්. මේ සැත්කම කිරීමට පැය හතරක් විතර ගියා. රෝහ‍ලේ කනිෂ්ට කාර්ය මණ්ඩලයේ සේවකයාගේ සිට හෙද හෙදියන්, වෛද්‍යවරුන් එක කණ්ඩායමක් විදියට වැඩ කිරීම නිසා තමයි මෑත කාලයේ මෙවැනි විස්මිත සැත්කම් කීපයක්ම කිරීමට හැකි වුණේ.

පිහියක් ඇනීම නිසා ඇසේ වම් පස කුහරයෙන් මොළයට හානි වී තිබූ දැරියත් දැන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මේ දැරියගේ ඇස් ගෝලයේ උඩ තුවාල වෙලා තිබුණා. ඊයේ (14 දා) දැරිය අක්ෂි සායනයට ද යොමු කළා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැරියගේ ඇස් පෙනීම පිළිබඳ ගැටලුවක් නැහැ.

ඇත්තටම දරුවන් හදිසි අනතුරුවලට ලක්වන්නේ දෙමවුපියන්ගේ නොසැලකිල්ල නිසා. දෙමවුපියන් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. වැඩියෙන්ම අනතුරුවලට ලක්වන්නේ යතුරුපැදි පාපැදිවලින් වැටිලා. සමහර ළමයින්ව හිස් වැසුම් දමන්නේ නැතිව යතුරුපැදිවල නංවාගෙන යනවා. මේ නිසා අනතුරු වූ විට වැඩියෙන්ම හානියට ලක් වන්නේ හිස. ඒ නිසා මේ ගැනත් මවුපියන් වැඩියෙන් සැලකිලිමත් විය යුතු” යැයි දීපාල් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

ලලිත් කංකානම්ගේ - ගිංතොට/
සමන් කුමාර- බූස්ස


උපුටා ගෑනීම -  http://www.rivira.lk/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews