POSTED ON Thursday, January 23, 2014| | Edit Post
අරුණි මුතුමලී –  ප්‍රියන්තා සේනානායක මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාවක් (දිනමිණ – 2013 සැප්තැම්බර් 8)

නොදන්නා දෙවියාට වඩා දන්න යකා හොඳයි කියලා කතාවක් තිබෙනවා. ඒත් එහෙම හිතාගෙන සුද්දා කියූ දේ කරන්න ගිහින් වුණේ අප කන බත් පතටත් වස විස එකතු වීමයි. මහපොළොව නොරිද්දවා වගා කරලා පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වුණු අපේ රටට, රටින් හාල්ගෙන්වලා කන්න වුණේ පිට රට සිරිතට දිව දික් කළාට පස්සෙයි.

වකුගඩු රෝග,දියවැඩියාව, හන්දිපත් රුදා වගේ බෝ නොවන රෝගවලටත් මේ කෑම රටාව හේතු වුණා.වකුගඩු රෝග වලට හේතුව දෙවියකු කීවාය කියූ පිරිසක් නිසා පහුගිය කාලේ රටේ ඇතිවුණේ විශාල ආන්දෝලනයක්. ඒත් දෙවියකු, බ්‍රහ්මයකු ,මනුෂ්‍යයකු හෝ වෙනත් අමනුෂ්‍යයකු හෝ වේවා කියන්නේ සාධාරණ කරුණක් නම් කියන කෙනා සෙවීමෙන් ඵලක් වෙයිද ?


සුද්දා කියූ දේ අසා මහ පොළොව නිසරු කර ගත්තා වෙනුවට නොදන්නා දෙවියකු කියන දෙයින් පරිසර හිතකාමී අපේ පැරණි දේශීය වගා ක්‍රම යළි ඉස්මතු කර ගැනීම වරදක් යැයි කිව හැක්කේ කාටද ?‍‍ ඒ නිසා ප්‍රාණ ඝාතයෙන් හා වස විසෙන් තොර හෙළ ගොවිතැන ගැන කියන ප්‍රියන්තා සේනානායක මහත්මියගේ අත්දැකීම් මෙසේ විමසුවා.

“වස විස නැති ගොවිතැන අප අරඹා තිබෙන්නේ. දැනට වසර තුනකට පෙර කොළඹ රාජකීය විද්‍යාලයත් සමග එකතු වෙලා මාලබේ වැව පාරේ අතහැර දැමූ කුඹුරක් අ‍ඳේට ගෙන අක්කර කාලක් විතර අත්හදා බැලීමක් කළා. මේ වෙනකොට කෘෂිකර්ම අමාත්‍යාංශයත් සමඟ එකතුවෙලා හත් වැනි කන්නය රටපුරා වගා කරනවා. වට්ටෝරු ක්‍රමයට ඉහින ක්‍රමයක් තමයි අපි ගොවීන්ට කියා දුන්නේ.”

ජපානයේ කියුෂු විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධියක් ලබා සිටිය ද ප්‍රියන්තා මහත්මිය හෙළ ගොවිතැන සඳහා උනන්දු වී ඇත්තේ ඇයට අත්වුණු විශේෂ අත්දැකීමක් නිසා

.“මම පුංචි කාලේ ඉඳන් භාවනා කරන කෙනෙක්, අකුරැස්සේ ආරණ්‍යයක. මගේ දුවට පපුවේ මහන්සිය හැදිලා හොඳ වෙන්නෙ නැතුව මම හරි පීඩාවක සිටියා. භාවනා කරද්දී මට දැනුණා. කවුරුන් හෝ මගේ ළග ඉන්නවා කියලා. ඒ අවුරුදු 4 ට පෙර මිය ගිය මගේ අම්මා.

මම මේ දේවල් විශ්වාස කළ කෙනෙක් නොවේ. ඒ නිසා මම කීවා හඬ ඇහුණට මදි පෙණු‍නොත් පිළිගන්නවා කියා. පසුව මා ඉදිරියේ පෙනී සිටි අම්මා තමයි මට නාථ දෙවියන්හඳුන්වා දුන්නේ. නාථ දෙවියන් දුවට ලබා දුන් බෙහෙත් කොටා නිලවලට තැබූ විට නිට්ටාවටම සුව වුණා. නාථ දෙවියන් රන්වන් පාටයි. ඉතාම ලස්සනයි. මතු බුදු වන මෛත්‍රී බුදුන් ලෙසයි නාථ දෙවියන් හඳුන්වන්නේ.”

“දෙවියන්ගේ දිවැස හරියට පරිගණකයක් වගේ. ආසනික් පිළිබඳ පර්යේෂණ කළ යුතු ආකාරයපිළිවෙළින් කියා දුන්නේ ඒ ඇත්තන්. ඒ වගේම මට කිව්වා තව වසර තුනකදී පිළිකා රෝගීන්වගේම වසර 15 ක් පමණ වෙද්දී රටේ දරුවන්ගෙන් 70% ක් පමණ දියවැඩියා රෝගීන් වෙයි,කෘෂි රසායනික හා කෘමිනාශක නිසා මහා විනාශයක් බුදු සසුන රැක ගැනීමට තිබෙන එකම රටවන අපේ රටට සිදුවෙයි කියා.”

ඇය එසේ කියද්දී සම්ප්‍රදායික ගොවිතැන හා වී වර්ග පිළිබඳ දෙවියන්ගේ ආකල්පය දැනගැනීමටත් අපට කුකුසක් ඉපදුණා.

“භාවානුයෝගීව ප්‍රාණඝාතයෙන් තොරව අරඹන වගාවෙන් ලැබෙන භෝග සමතුලිතයි. පිෂ්ටය අඩුයි. මිනිස් ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය එයින් සමතුලිත වනවා. ආසනික් නිසා කුරුලු බිත්තරවල කටු තුනී වෙනවා. පදවිය පැතත්තේ බොහෝ මවුවරුන්ගේ පළමු දරු ගැබ ගබ්සා වීමටත් හේතුව මේ ආසනික්. නමුත් දෙවියන් දුන් වට්ටෝරු ක්‍රමයට පස සාරවත් වනවා. හානිකර සතුන් ඉවත් වෙනවා. වල් නාශක අවශ්‍ය වන්නේ නෑ.

ආසනික් වැනි විෂවර්ගවල පරමාණුක න්‍යෂ්ටියේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ක්‍රමය වෙනස් වී සංයෝජනය විකෘතියක් වෙනවා. ඒ වගේම අක්කරයකට රසායනික පෙහොර යොදන්න රුපියල් 15,000 ක් පමණවැය වෙද්දී මේ ක්‍රමයට වැය වන්නේ රුපියල් 300 ක් වගේ මිලක්.

බීජ වී මිලදී ගැනීමඅතිනුත් මෙය ඉතුරුයි. සම්බා කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් නම්, මේ හාල්කිලෝවකින් දහදෙනෙකුට පමණ කන්නත් පුලුවන්. මඩතවාලු කළු හීනටි වගේ සහල් විෂ අයින් කරනවා. සුවඳැල් ස්නායු රෝග, ඇස් ආබාධවලටත් කහවනු සහල් හන්දිපත් රුදා වැනි රෝගවලට ගුණයි.”

දෙවියන්ගේ නියමය පරිදි මාතර ගාල්ල දිස්ත්‍රික්ක සඳහා දුන් පොහොර වට්ටෝරුවට අනුව කුඹුර සකස් කිරීමේ දී ට්‍රැක්ටරය භාවිත කරනවා නම් රොටරි ක්‍රමය නොව නගුල භාවිත කළ යුතුයි. වී කුරුණි 2 සිට 4 දක්වා ලියැද්දකට පිදුරු පොහොර කොටුව අඩි 10 යි 10 වීම ප්‍රමාණවත්.

අඟල් 6 ක පමණ පිදුරු තට්ටුවක් දමා කුප්පමේනියා කොළ අහුරු 6 යි. සූදුරු තේ හැඳි 4 යි. ඩොලමයිට් ග්රෑම් 100 යි. අක්කපාන කොළ 4 යි. අඩි 6ක් පමණ දිග මකුලත අතු 10 ක කොළ සූරා දමා නිදි කුම්බා, කැප්පෙට්ටියා, උලුහාල්, තල් සූකිරි ආදි වර්ග20න් තැනූ බෙහෙත් දියරක් ඉස තවත් දෙවතාවක් අඟල් 6 ක් උස පිදුරු තට්ටු දෙකකට කුප්පමේනියා කොළ හා බෙහෙත යොදා පොහොර සාදා ගත යුතුයි.

ලියැද්ද අක්කර කාලට වැඩි නම් විකර්ණය දිගේ කොන් දෙකෙහි මේ පොහොර කොටු තනා ගැනීමත්, බිත්තර වී පැළ කිරීමට පෙර පෙඟවීම, සතුන් වී ඇහිඳීම අඩු කිරීමට මෙන්ම වැපිරීමෙන් දින 10, 25, 40, 55, 70 සහ 85 පිරෙද්දී යොදන බෙහෙත් එහි සඳහන්.මේ අයුරින් පදවිය, ලුණු ගම්වෙහෙර, ගාල්ල, මාතර, තිස්සමහාරාම, බුත්තල, කුරුණෑගල, කුඹුක්ගැටේ, ගම්පහ සහ කොළඹ ද ගොවීන් දහසක් පමණ වගාවේ යෙදෙන බව ඇය පවසනවා.

සිවුපා සතුන්ගෙන් වගාවන් බේරා ගැනීමට වගා බිමේ නැඟෙනහිර කොණෙන් පළමුව පස් මිටක් නැගෙනහිර බලා වම් අතින් ගෙන අනෙක් කොන් තුනටම පස්සෙන් පස්සට ගොස් පස් රැගෙන නැ‍ඟෙනහිරට මුහුණලා මහනුවර දළදා වහන්සේ අබියස නාථ දෙවියන්ට බාරයි කැපයි කියා “සබ්බපාපස්ස අකරණං” ගාථාව හත් වතාවක් කීමෙන් පසු මෛත්‍රිබෝධිසත්ත්වයාණන්ගේ ශක්තිය මේ පස් මිටට සම්බන්ධ වේවා, කියා ප්‍රාර්ථනා කර පහත සඳහන් ගාථාව 21 ක් වරක් කියා වගාවට ඉසිය යුතුයි.

‘එවංතං අනුභාවස්ස -ශක්ති බෝධීකාරකපාරමී නාමංච
ත්වං ශක්තී සම්බන්ධිතං-මෛත්‍රී බෝධිසත්ත්ව ගුණෝපේතං
නාථ මණ්ඩල ත්වං සදා-
ඒවං ඒස්වාහ:’

පක්ෂීන්ගෙන් වගාව බේරා ගැනීමට මේ අයුරින්ම කටයුතු කර,

‘ස්වනාමන් ශක්ති-
මෛත්‍රී බෝධිසත්ත්ව
පාරමී සම්බන්ධිතං-
ඒවං ඒස්වාහ:’

ගාථාව 21 වරක් කියා කුඹුරට ඉසිය යුතුයි.‍ නාථ දෙවියන් විසින් මේ සියලු ක්‍රමවේදයන් ප්‍රියන්තා මහත්මිය වෙත ලබා දී ඇත්තේ පරංගීන් එන්නට පෙර මෙරට තිබූ හෙළ වෙදකම හා හෙළ කෘෂික්‍රම ලෙස හඳුන්වමින් බවයි ඇය අපට කිව්වා.

Share this:

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews