POSTED ON Thursday, June 6, 2013| | Edit Post
මහනුවර, වැරැල්ලගමේ පිරිසක් අකුරැස්සේ අවමඟුල් උත්සවයකට සහභාගි වී එන අතරමඟ මග්ගොන ඥාති නිවෙසකට ගොඩවුණේ රාත්‍රි ආහාරය ගැනීමට ඒ අප්‍රේල් මාසේ 20 වැනිදා රාත්‍රි 7.30ට පමණ. මාගල්කන්දේ අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේදී වේගයෙන් පැමිණි දුම්රියක මේ බස් රථය ගැටුණා. රාත්‍රි ආහාරය වෙනුවට බසයේ පැමිණි 30 දෙනකුටම සිදුවුණේ එදා රෑ රෝහල් ගතවෙන්න. අප්‍රේල් 23 වැනිදාත් සවස වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය අසල අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයේදී වෑන් රථයක් දුම්රියේ ගැටී 79 හැවිරිදි මවක් මියගියේ සැමියා හා දියණිය මෙලොව තනිකරමින්.
මෙවැනි සිදුවීම්වලින් තොරව ගෙවී ගිය දවසක් අපේ රටේ සොයාගන්න බැරි තරම්. දිනපතාම මෙලෙස දුම්රියට බිලිවන ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා. "අනාරක්‍ෂිත දුම්රිය මාර්ගය ඉදිරියෙන්" යන පුවරුවලින් මෙම අවාසනාවන්ත සිදුවීම් වළක්වන්න නොහැකි බවත් සියලුම දෙනා දන්නවා. ඒත් මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් සොයාගත් කෙනෙකුන් අප අතරම ඉන්නවා.

දුම්රිය සේවයට සම්බන්ධ වගකිවයුතු, සැලකිය යුතු පිරිසක් අපේ රටේ සිටියත් මේ සාර්ථක විසඳුම සොයාගෙන තිබෙන්නේ වෛද්‍යවරයෙක්. මාතර ඉසදීන් නගරයේ පදිංචි විශ්‍රාමික වෛද්‍යවරයකු වන ඔහු නමින් සරත් විමලසූරිය. ඒත් මේ වෛද්‍යවරයා "මව්බිම"ට හමුවුණේ මාතර - කොළඹ මහා මාර්ගයේ නූපේ මංසන්ධියේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට පදික වේදිකාවේදී.

පැහැදිලි අවධානයක් යොමුවිය යුතු, එහෙත් කිසිදු සැලකිල්ලකට භාජනය නොවුණු තමන්ගේ නව නිර්මාණ සියල්ලත් රැගෙන ඔහු මේ විදියට පදික වේදිකාවට පැමිණ තිබුණා. ඔහු එය නම් කොට තිබුණේත් "ශ්‍රී ලංකාවට එපා වූ නව නිපැයුම් ප්‍රදර්ශනය" නමින්.

වෛද්‍ය සරත් ඒකනායක මහතාගේ මෙම නව නිපැයුම් අතර ප්‍රධානම වුණේ අඩු වියදමකින් නිෂ්පාදනය කළ හැකි සූර්ය බලයෙන් ක්‍රියාකරන දුම්රිය ආරක්‍ෂිත ගේට්ටු පද්ධතිය වුවත් රටේ දැවෙන කාලීන ප්‍රශ්නයක් වන අලි මිනිස් ගැටුමටත් ඔහු සාර්ථක විසඳුමක් සොයාගෙන තිබුණා.
අප්‍රේල් 28 වැනිදා උදෑසන සිටම පදික වේදිකාවේ පැවැත්වුණු මේ නව නිපැයුම් ප්‍රදර්ශනයට මාතර ජනතාව වැල නොකැඩී ආවා. සාමාන්‍ය ජනතාවට අමතරව මාතර දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් පවා පදික වේදිකාවට පැමිණියා.

මේ නව නිපැයුම්වල තිබුණු සුවිශේෂත්වය නිසාම අපි මේ අපූර්ව වෛද්‍යවරයා සොයාගෙන ඔහුගේ නිවෙසට ගොඩවැදුණා. තමන්ගේ නව නිපැයුම් පිළිබඳව වගේම තමන්ට වුණු අසාධාරණය ගැනත් වෛද්‍යවරයා තමන්ගේ හඬ අවදි කළේ මේ විදියට.
"මම විශ්‍රාමික වෛද්‍යවරයෙක් වගේම නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු ලෙසත් සේවය කොට තිබෙනවා. මම ඉපදුණේ අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට යන කාලයේ පටන්ම ඉලෙක්ට්‍රොනික් විෂයට මගේ ලොකු නැඹුරුවක් තිබුණා. උසස් පෙළින් පසුව කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරුණු පසුවත් ඉලෙක්ට්‍රොනික් විෂයට සම්බන්ධ පොතපත කියවන්නත්, ඒ පිළිබඳව විවිධ අත්හදාබැලීම් කරන්නත් මම පෙලැඹුණා"

වෛද්‍යවරයෙක් ලෙස පත්වීම් ලබලා රජයේ රෝහල්වල කටයුතු කරද්දීත් මට වෛද්‍යවරයෙක් විදියට නියම වෙලා තිබුණ වෘත්තීය කටයුතුවලින් ඔබ්බට ගිහින් එම රෝහල්වල තිබුණ ඉලෙක්ට්‍රොනික් උපකරණවල දෝෂ ඇති වුණාම ඒවා අලුත්වැඩියා කරලා තිබෙනවා. මම 2005 වසරේදී මාතර කඹුරුපිටියේ රජයේ රෝහලේ සේවය කරද්දී සුනාමි අනතුරු ඇඟවීමේ උපකරණයක් නිපදවලා ඒක සජීවීව ක්‍රියාත්මක කරලත් පෙන්නුවා. ප්‍රායෝගිකව ඒක සියයට සීයක්ම සාර්ථක වුණා. මේ උපකරණය පිළිබඳ මම රජයේ බලධාරීන්ට දැන්නුවත් කිසිම ඇගැයීමක් ලැබුණේ නැහැ.

ඊට පස්සෙ මම අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් වගේම කාලීන ගැටලුවක් බවට පත්වෙලා තියෙන අලි - මිනිස් ගැටුම පාලනය කරන්න සූර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි වැටක් නිර්මාණය කළා. අක්කර 50ක භූමි ප්‍රමාණයක ඉඩමක් මෙයින් ආවරණය වෙනවා. මේක අලි - මිනිස් ගැටුම උග්‍රව පවතින ප්‍රදේශවල අහිංසක ජනතාවට මනා පිටිවහලක් වෙනවා. මේ විදුලිවැට නිපදවලා රුපියල් හතළිස් පන්දහසක් (රු. 45,000) වගේ මුදලකට රජයට ලබාදෙන්න මම බලාපොරොත්තුවෙන් හිටියා. වනජීවී දෙපාර්තමේන්තුව මේ උපකරණය රටින් ගෙන්වනවා නම් රුපියල් ලක්‍ෂ 3කට ආසන්න මුදලක් වැය කරන්න වෙනවා. මම උත්සාහ කෙරුවා රජයේ වගකිවයුතු බලධාරීන් මාර්ගයෙන් මගේ උපකරණය අලි - මිනිස් ගැටුම තිබෙන ප්‍රදේශවල ජනතාවගේ ආරක්‍ෂාවට යොදවන්න. ඒ නිසා එහෙම නිර්මාණය කරපු එක උපකරණයක් වනජීවී දෙපාර්තමේන්තුවට මම පරිත්‍යාග කළා. එහෙම කරලා මම කිව්වා මාසයක් මේක සවිකරලා මෙහි හොඳ නරක පිළිබඳව වාර්තාවක් දෙන්න කියලා. ඒත් අවසානෙදි හොඳ නරක තියා ඒ උපකරණයවත් මට නැවැත ලැබුණේ නැහැ. ඒ පිළිබඳව නිසි ඇගැයීමක්වත් කරන්න ඒ අය කටයුතු කළේ නැහැ. ඒත් මේකෙ වටිනාකම තේරුම්ගත් අලි - මිනිස් ගැටුමෙන් පීඩා විඳින ප්‍රදේශවල ගොවීන් සියයක් පමණ මම නිපදවපු මේ උපකරණය ගෙනගොස් සවිකරලා මට පින් දුන්නා. ඒ අහිංසක පොඩි මිනිසුන්ට මගෙ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වුණාට අපේ රටේ බලධාරීන්ට මාව තේරුම් ගන්න නොහැකි වීම තමයි කනගාටුවට කරුණ.

ඒත් මම නව නිපැයුම් නිර්මාණය කිරීම නතර කළේ නැහැ. මෑතකදි මම දැකපු ප්‍රධානම ඛේදවාචකයක් තමයි අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් දෛනිකව මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වීම. මාතර නගරයට ආසන්න ප්‍රදේශ කීපයකත් මේ ගැටලුව තිබෙනවා. ඒ නිසා තමයි මම දුම්රිය ගේට්ටුවක් නොමැති අනාරක්‍ෂිත ස්ථානවල සවිකළ හැකි ස්වයංක්‍රියව ක්‍රියා කරන නළාවක් සහිත ගේට්ටුවක් නිර්මාණය කළේ. මේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ සූර්ය බලයෙන්. ඒ නිසා විදුලිය අවශ්‍ය නැහැ. ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන නිසා ගේට්ටුකරුවන් අවශ්‍ය වන්නේත් නැහැ. මේ උපකරණයට දුම්රිය කිලෝ මීටර් එකහමාරක දුරක් තිබියදී හඳුනාගන්න පුළුවන්. ඒ අනුව ස්වයංක්‍රියව එක්වරම දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු දෙක වැසීම ආරම්භ වෙනවා. අනතුරුව නළා හඬ නැංවී අනතුරු ඇඟවීමේ ලාම්පු දැල්වෙනවා. දුම්රියේ අවසාන මැදිරියත් ගේට්ටුව තිබෙන ස්ථානය පසු කිරීමෙන් අනතුරුව නැවැත ගේට්ටුව විවෘත වෙනවා. අනතුරු ඇඟවීමේ සංඥාද එවිට නතර වෙනවා.

මෙය අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයක සවිකොට ප්‍රායෝගිකව අත්හදා බැලීමට අවස්ථාවක් ලබා දෙන්න කියලා ප්‍රවාහන ඇමැතිතුමා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් මම ඉල්ලා සිටියා. ඒත් එවැනි අවසරයක් ලැබුණේ නැහැ.
ඒත් පසුව මම තවත් කීපදෙනකුගේ සහායෙන් මාතර පඹුරණ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් අසල මේ උපකරණය සවිකළා. ඒක සියයට සියයක්ම අති සාර්ථක වුණා. ඒ අත්හදා බැලීම් කරපු ගේට්ටුව ගලවාගෙන යන්න එපා කියලා ඒ මිනිස්සු මට නොවැන්ද විතරයි. ඒත් ගේට්ටුව සවිකරලා එන්න මට විධිමත් අවසරයක් නැති නිසා ඒක ගලවාගෙන ඇවිත් මගේ නිවෙසේ මිදුලේ සවිකරලා තිබෙනවා. ඒත් ඒකෙන් මටවත්, රටටවත්, රටේ ජනතාවටත් ඵලක් නැහැ. මෙවැනි ගේට්ටුවක් ගෙන්වන්න හෝ නිපදවන්න රජයට රුපියල් ලක්‍ෂ 60ක් පමණ වැය වෙනවා. නමුත් මට පුළුවන් රුපියල් ලක්‍ෂ 10කට සපයන්න. මම මේ ගැන ප්‍රවාහන ඇමැතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම දුම්රිය සාමාන්‍යාධිකාරීතුමාවත් හමුවුණා. ඒත් කිසිදු සැලකිල්ලක් ලැබුණේ නැහැ. ඒ සියලුදෙනා ඇහුවේ "අපේ අවසර නැතිව කොහොමද දුම්රිය මාර්ගයේ දුම්රිය යද්දී අත්හදා බැලීම් කරන්නේ කියලා" මම කිව්වා අපි අත්හදා බැලීම් කළේ රේල් පාරේ නෙවෙයි මහ පාරේ සවිකරලා කියලා. ඊට පස්සේ මේ උපකරණය පිළිබඳව විධිමත් ව්‍යාපෘති වාර්තාවක් මම එතුමාට බාර දුන්නා. එතුමා කිව්වා තමන්ගේ ඉන්ජිනේරුවන් සමඟ කතා කරලා දැනුම් දෙන්නම් කියලා. ඒත් අද දක්වාම කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේ නිසා තමයි අවසානයේ මම තීරණය කළේ පදික වේදිකාවට ගිහින්හරි මගේ නව නිපැයුම් පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කරන්න.

ඒ වගේම මම සූර්ය බලයෙන් විදුලිය නිපදවා විදුලිය නොමැති නිවෙස්වලට විදුලිය සැපැයීමට ක්‍රමවේදයක් හා ඇල් ජලය එක්වරම උණු ජලය ලෙස ලබාගත හැකි උපකරණයක් ආදී නව නිපැයුම් ගණනාවක් කරලා ඒවා මගේ නිවෙසේ තියන් ඉන්නේ ලංකාව වගේ රටක ඉපදුණු පවට.

පදික වේදිකාවේ ප්‍රදර්ශනය පවත්වපු අවස්ථාවේ පොලිසිය ඇවිල්ලා මම උද්ඝෝෂණයක් කරනවා කියලා කටඋත්තරයක් ගන්න ආවා. ඒ අයට මම කිව්වා මම කරන්නේ උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් නෙවෙයි මේ රටේ බලධාරීන්ට අවශ්‍ය නැහැ කියන මගේ නව නිපැයුම් ප්‍රදර්ශනයක් කියලා. එතකොට ඒ අය මගේ අදහස් තේරුම් අරගෙන ගියා"

ලෑන්ඩ් මාස්ටරයට පවා අදහස දුන්න අපේ රටේ නව නිපැයුම්කරුවෝ තවත් ඕන තරම් ඇති. ඒ වගේම ඉදිරියටත් මේ රටේ තවත් දුම්රිය අනතුරු ඕන තරම් සිදුවෙයි. අලි මිනිස් ගැටුමත් දිගටම තියේවි. නැවැත සුනාමිත් අපේ රටට ඒවි. ඒත් මේ කතා අහන අපි ශ්‍රී ලංකාවෙ ඉපදුණු එක ගැන ආඩම්බර විය යුතුද දුක් විය යුතුද?


රජිත තාමර
මාතර - එම්.සී. දුෂාන්ත( mawbima.lk )

inovation-1
inovation-2
inovation-3

inovation-4




inovation-8



තොරතුරු සැපයීම - Gayan , Anuka ,Ravin Wickramasinghe

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews