නවසීලන්තයේ විදේශ ඇමැතිවරයාත්, තානාපතිවරයාත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග සාකච්ඡා කළ පමණින් කිරිපිටිවල වස විෂ ඉවත් වුණා දැයි ආණ්ඩුව රටට ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා ඊයේ (28) රාජගිරියේ පිහිටි ජාතික වතුකම්කරු සංගම් ශාලාවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පී. හැරිසන් මහතා මෙසේ ද පැවසීය.

ගෙවල්වලින් බෝතලයක් රුපියල් 40 ගණනේ එකතු කරන නිසා කිරි ගොවියාට කිරි බෝතලයක් වෙනුවෙන් ලැබෙන්නේ රුපියල් 50 කට අඩු මුදලක්. නමුත් වතුර බෝතලයක මිල රුපියල් 70 ක් වනවා. රටට ගෙන්වන කිරිපිටිවල වස විෂ තිබෙන බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පසු ගිය කාලයේ බොහෝ විට ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති වුණා. ආණ්ඩුවේ ජනමාධ්‍යවලින් ද ඒ සඳහා දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන්නා. 

නවසීලන්තයෙන් කිරිපිටි ගෙන්වන ෆොන්ටේරා සමාගම වසා දැමීමටත් ආණ්ඩුව තීරණය කළා. එහෙත් යළි ආනයනික කිරිපිටි වර්ගවලට අවසර දෙන බවත් පුවත්පත්වල සඳහන් වනවා. පසුගිය වසරවල ආනයනය කරන ලද කිරිපිටි අත්අංඩගුවට ගත්තේ නම් ඒ කොපමණ ප්‍රමාණයක් දැයි ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ‍ලේකම්වරයා කොළඹ නගරයේ තිබෙන ෆුඩ් සිටියක පිටි පරීක්ෂා කරන ආකාරය අපි දුටුවා. එහෙත් හම්බන්තොට, මොණරාගල, ‍පොළොන්නරුව, අනුරාධපුර ආදී දුරබැහැර ප්‍රදේශවල වෙළෙඳ සල්වල තිබූ වස විෂ සහිත කිරිපිටි එකතු කළා දැයි අපි අසනවා. 

නවසීලන්තයේ විදේශ ඇමැතිවරයාත්, තානාපතිවරයාත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග සාකච්ඡා කළ පමණින් කිරිපිටිවල වස විෂ ඉවත් වුණා දැයි ආණ්ඩුව රටට කිව යුතුයි. මේ රටේ ජනතාව ගොනාට අන්දමින් වස විෂ අඩංගු කිරිපිටි ජනතාවට අලෙවි කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. දේශීය කිරි ගොවියා නගාසිටුවන බව කියමින් පසු ගිය අයවැයෙන් මුදල් වෙන් කළා. එක් පසු වෛද්‍යවරයකුට කිරි ගවයන් 500ක් බලා ගැනීමට දී ඇති බව ප්‍රකාශ කළත් දේශීය කිරි ගොවියා නගාසිටුවන වැඩ පිළිවෙළක් නැහැ. 

පසුගිය දවස්වල කඳුකර ප්‍රදේශවල කිරි ගොවීන් තම කිරි නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිව  කානුවලට හැලුවා. දේශීය කිරි ගොවියා ආරක්ෂා කිරීමට වැඩ පිළිවෙළක් නොමැති වුවත් සාක්කුවට මුදලක් වැටුණු නිසා නැවතත් වස විෂ සහිත කිරි ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා. එම නිසා අත්අඩංගුවට ගත් වස විෂ සහිත කිරි පිටි කොපමණ ද? නිලධාරීන් කවුදැයි කියා සෞඛ්‍ය ඇමැතිවරයා එම තත්ත්වය පිළිබඳ රටට කඩිනමින් ප්‍රකාශයක් කළ යුතුයි. 

සමාගම් සතුටු කිරීමට වස විෂ සහිත කිරි පිටි නිෂ්පාදන අලෙවි කිරීම නිසා අද මේ රටේ දරුවන් දියවැඩියාව ආදී රෝග රාශියකින් පීඩා විඳිනවා. විශේෂයෙන්ම වකුගඩු රෝගීන් කුඩා දරුවාගේ පටන් වැඩි හිටියා දක්වා පීඩා වින්දත් ඔවුන්ට බෙහෙත් ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. අද මේ රටත් ජනතාවත් බහු ජාතික සමාගම්වල ගොදුරක් බවට පත් කොට තිබෙන අතර ඊට සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතුයි. 

උපුටා ගෑනීම -  http://www.rivira.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews