POSTED ON Wednesday, August 28, 2013| | Edit Post
2008 වසරේදී පාඩු ලබයි...

2010 දී  රුපියල් මිලියන 49ක ලාභයක්....2012 වසරේ දී රුපියල් මිලියන 65ක ලාභයක්... ඉලක්කය 2016 වසර වන විට රුපියල් මිලියන 200ක් ..

ශී‍්‍ර ලාංකේය අත්කම් නිර්මාණ සඳහා ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් නාමයක් සනිටුහන් කළ තෑගි සහ සමරු භාණ්ඩ අලෙවිය පිළිබඳ දිගු ඉතිහාසයක් සහිත ‘‘ලක්සල’’ නව මං සලකුණක් එක් කරමින් කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ දී සිය නවතම ප‍්‍රදර්ශනාගාරය Laksala Museum Gallery Cafe ලෙස විවෘත කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රතිපත්ති මාලාවට අනුව කි‍්‍රයාත්මක දිවි නැගුම ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ස්ථාපිත කරන ලද එම නව අලෙවි ප‍්‍රදර්ශනාගාරය එම වැඩසටහනේ නිර්මාතෘ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කරන ලදී. එම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය හා උද්භීද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ජයරත්න හේරත් යන මහත්වරුන්ද සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගි විය. 

අක්කර එකහමාරක භූමි ප‍්‍රමාණයක ඉදි කරන ලද එම නව අලෙවි ප‍්‍රදර්ශනාගාරය බාහිර ස්වරූපයෙන් ජාතික කෞතකාගාරයේ පෙනුමට අනුරූපව සැලසුම් කර ඇත. එම ව්‍යපෘතිය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර පළමු අදියර යටතේ සිදු කරනු ලබන ඉදි කිරීම් වෙනුවෙන් ඉන් රුපියල් මිලියන 185ක මුදලක් වැය කර තිබේ. ඉතිරි ප‍්‍රතිපාදන එහි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වැය කිරීමට අපෙක්ෂිතයි. 

අලෙවි ඒකක 30,000ක්, දීප ව්‍යාප්ත දැවැන්ත සැපයුම් ජාලයක් සහිත ලක්සල ප‍්‍රදර්ශනාගාරය ශී‍්‍ර ලාංකේය අභිමානය හා උරුමය විදහා දැක්වෙන දැව, පිත්තල, සම්, සෙරමික් භාණ්ඩ මෙන්ම බතික් හා අත්යන්ත‍්‍ර රෙදි නිෂ්පාදන වලින් සමන්විත වන අතර මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම මෙරට සංස්කෘතිය විහිදුණු නිෂ්පාදන වලින්ද යුක්තව පවතී. මෙම අලෙවි ප‍්‍රදර්ශනාගාරය මුළුමනින්ම වායුසමීකරණය කර ඇති අතර අවන්හල්, විවේකිව කාලය ගත කළ හැකි කලාපයක් හා අනෙකුත් සියලූ පහසුකම් වලින් ද සමන්විතයි. 

මෙම සුවිශේෂි කඩඉම පිළිබඳ අදහස් දක්වමින් ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතා සඳහන් කළේ ‘‘ තෑගි සහ සමරු භාණ්ඩ නිෂ්පාදන සඳහා පවතින ප‍්‍රමුඛයා බවට පත් වෙමින් ශී‍්‍ර ලාංකේය ජනතාව අතර මෙන්ම විදෙස් සංචාරකයින්ගේ සිත් දිනා ගැනීම අපගේ ප‍්‍රධානතම ඉලක්කයයි. විදෙස් සංචාරකයින් ස`දහා අපගේ සේවාවන් තවදුරටත් ක‍්‍රමවත් ලෙස ලබාදීම සඳහා ඇති කැපවීම පෙන්වුම් කිරීමේ එක් අවස්ථාවක් ලෙස මෙම නව අලෙවි ප‍්‍රදර්ශනාගාරය පෙන්වා දිය හැකියි. අපගේ වෑයම තුළින් ජාතික ආර්ථිකයට පමණක් නොව ග‍්‍රාමීයව වෙසෙන අපගේ සැපයුම් ජාලයට අනුබද්ධ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද අවස්ථාව ලැබී තිබෙනවා.’’ යනුවෙනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ලක්සල 2008 වසර වන විට පාඩු ලබන රාජ්‍ය ආයතන අතරට එක්ව තිබූ බවය. කෙසේ වෙතත් 2010 වසරේ දී ලක්සල කළමනාකාරිත්වයෙහි වෙනසත් සමගින් නව කණ්ඩායමක් යටතට පත් වූ අතර පළමු වසරේ දී රුපියල් මිලියන 49ක ලාභයක් ද 2012 වසරේ දී රුපියල් මිලියන 65ක ලාභයක් ද ඉපැයීමට සමත්විය. 2016 වසර වන විට එම ලාභය රුපියල් මිලියන 200ක් දක්වා වර්ධනය කර ගැනීම ලක්සල අපෙක්ෂාව වී ඇති බව ද අනිල් කොස්වත්ත මහතා පෙන්වා දුන්නේය. 

මහින්ද චින්තන සංවර්ධන ප‍්‍රතිපත්ති මාලාවට අනුව ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා දායක වන පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් කි‍්‍රයාත්මක කර තිබේ. එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා පාර්ශව රැසක දායකත්වය හිමිවන අතර ඊට සම්බන්ධ කොටස්කරුවන් වන අත්කම් නිර්මාණශිල්පීන්, නිර්මාණකරුවන්, කලාකරුවන්, සැලසුම්කරුවන් හා අමුද්‍රව්‍ය සපයන්නන් වැනි පාර්ශව වෙත එහි ප‍්‍රතිලාභ අත්කර දිය යුතුව පවතී. ලක්සල දිවි නැගුම වැඩසටහන යටතේ පුළුල් ලෙස මැදිහත් වෙමින් විදෙස් සංචාරකයින් හා ග‍්‍රාමීය කර්මාන්තකරුවන් එකිනෙක යා කරනු ලබන පාලමක් බවට පත් වෙමින් ඒ ස`දහා අවශ්‍ය දායකත්වය සපයනු ලබයි. 

දේශිය නිපැයුම් සඳහා විදේශිකයින් අතර වඩාත් කීර්තිමත් නාමයක් සනිටුහන් කරමින් තෑගි හා සමරු භාණ්ඩ නිෂ්පාදකයින් ලෙස තවදුරටත් ඉදිරියට ගමන් කිරීම ලක්සල අභිප‍්‍රාය වී තිබේ. එය ශක්තිමත්ව ඉදිරියට රැගෙන යාම සඳහා සංචාරකයින් බහුලව ගැවසෙන ලක්සල ගාල්ල මා ගාල්ල ප‍්‍රදේශයේ නව අලෙවි ප‍්‍රදර්ශනාගාරයක් ඉදි කිරීමටත්, මහනුවර පවතින ප‍්‍රදර්ශනාගාරය වැඩිදියුණු කිරීමටත් සැලසුම් කරමින් සිටියි. 

ලක්සල පිළිබඳව 

1964 වසරේ දී එවකට අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මග පෙන්වීම යටතේ ලක්සල ස්ථාපිත කරන ලදී. දිවයිනේ තෑගි සහ සමරු භාණ්ඩ අතර ප‍්‍රමුඛයා බවට පත් වීම එහි දැක්ම විය. ශී‍්‍ර ලංකාවට අවේණික මෙන්ම උරුමය විදහා දක්වන අත්කම් නිර්මාණ සංචාරකයින් වෙත යොමු කරවීමේ මැදිහත්කරු ලෙස කි‍්‍රයාත්මක වර්තමානයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන ආයතනයක් බවට පත්ව තිබේ. එහි ප‍්‍රධාන ශාඛාව කොළඹ තුන්මුල්ල ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පිහිටා ඇති අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, දක්ෂිණ අධිවේගි මාර්ගය, පින්නවල හා ජාඇල කේ සෝන් ඇතුළු තවත් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් කේන්ද්‍රස්ථාන රැසක විහිදුණු අලෙවි ප‍්‍රදර්ශනාගාර 18කින් සමන්විත ශාඛා ජාලයකින් යුක්ත වේ. 2012 වසර වන විට 193ගෙන් සමන්විත ලක්සල සමග සැපයුම්කරුවන් 6000කගෙන් පමණ සමන්විත සැපයුම් ජාලයක් සහිතයි. 


 

උපුටා ගෑනීම -  http://sinhala.adaderana.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews